ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව තරග කරන පළමු තරගය ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ පැවැත්වෙයි. මේ තරගය ජයගැනීම කොතරම් දුරට මේ තරගාවලියේ දී වැදගත් වෙන්නේ දැයි කෙනෙකු ඇසුවහොත් එය වැදගත් වෙන්නේ ජයග්‍රාහී රිද්මයක් පවත්වා ගෙන යෑමට පමණක් බැව් ලියා තැබිය හැකිය. එසේ කියන්නේ මේ තරගය පරාජය වූවා කියා තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමක් නොමැති හෙයිනි. කෙසේ වුවද මේ තරගය පරාජය වන්නේ නම් ඉතිරි තරග දෙකම ‘බරට දිනන්නට සිදුවෙයි. එයද එතරම් ලෙහෙසි කරුණක් නොවේ. මේ නිසා ලැබෙන පළමු අවස්ථාවේ දී ජයග්‍රහණයක් ලබාගැනීමට උනන්දු විය යුතුය.
සිම්බාව්වේ සමග පැවති දෙවැනි තරගයේ දී අදහාගත නොහැකි අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය ශ්‍රී ලංකාව තෙවැනි තරගයේ දී ලකුණු 190 ක් හඹා ගොස් ජයගත්තේය. මෙය පුදුමයක් විය හැකි වුව ද එය එසේම විය. එම තරගයේ දී කමිල් මිෂාර ලකුණු අතරට පැමිණි සැණින් අලුත් තරුවක් බිහිවුණේ යැයි ඔල්වරසන් දෙන පිරිස වැඩි වී සිටිති. එහෙත් මෙවැනි තරුණයෙකු වඩාත් කල්පනාවෙන් ඉදිරියට ගෙන යෑම ක්‍රීඩා ලෝලීන්ගේ ද වගකීමයි. එසේ නොවී අපට අහිමි වූ සම්පත් ප්‍රමාණය බොහෝය. පාසල් ක්‍රීඩා පිටියේ සිටම ජාතික කණ්ඩායමේ රේඩාරයේ සිටි අයෙකු ලෙස මිෂාර බොහෝ දෙනා හඳුනයි. ඒ නිසාම වයස 21 වෙද්දී ඔහුට බංග්ලාදේශයේ සංචාරය කළ ටෙස්ට් සංචිතය ලැබුණි. එහෙත් මිෂාර තමන් ගේ පළමු තරගාවලියේ දීම අමතක කළ යුතු දඬුවමකට මුහුණ දුන්නේය. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය වසර 3 කට පසුපසට ගියේය. දැන් මේ අතීතයේ සියලු කතා අමතක කර තමන්ට ලැබුණු අවස්ථාවෙන් ඉදිරියට යෑම මේ ක්‍රීඩකයා ගේ වගකීමයි. එසේ නොවී ලැබෙන ජනප්‍රියත්වය නිසා විනය අමතක වුවහොත් ප්‍රශ්නයකි.
බංග්ලාදේශය සමග පැවැත්වෙන ආසියානු කුසලාන පළමු තරගයේ දී අප අමතක නොකළ යුත්තේ අවසන් අයි.සී.සී. තරගාවලියේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරාජය වූ බවයි. ඇමෙරිකාවේ දී ලද ඒ පරාජයේ වාඩුව අබුඩාබි හිදී ගත යුතුමය. 2022 ආසියානු කුසලානයේ දී බංග්ලාදේශය ලබා දුන් ලකුණු 183 ක ඉලක්කය පසුකර යෑමට ශ්‍රී ලංකාව සමත් විය. එදා කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක තරගය තමන්ගේ පැත්තට හරවාගැනීමට සමත් වූහ. කෙසේ වුවද අවසන් වතාවට බංග්ලාදේශය සමග පැවැති තරග දෙකේ දීම දැවැන්ත පරාජයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඔවුන් මේ පරාජය ලැබුවේ තමන්ගේ ම රටේ දීය. එය බංග්ලාදේශයේ විශ්වාසය වැඩි කිරීමට හේතුවක් වනු ඇත.මේ නිසා මෙම තරගය තියුණු වනු ඇත. අනෙක් අතින් විස්සයි20 තරගාවලියක දී ශ්‍රී ලංකාව පරාජය කළ සියලු ක්‍රීඩකයන් ආසියානු කුසලානයට ද පැමිණ ඇති නිසා මේ තරගය ශ්‍රී ලංකාවට ලෙහෙසි නැත.
මේ තරගයේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ක්‍රීඩා කළ සංයුතියෙන්ම ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ නොහැක. බොහෝ විට මහීෂ් තීක්ෂණ අසිත ප්‍රනාන්දු වෙනුවට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. වනිඳු හසරංග නැවත පැමිණෙයි. ඒ හැරෙන්නට වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අඩුය.
ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය සඳුදා හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. පළමු තරගයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව හොංකොං කණ්ඩායම දරුණු පරාජයක් ලැබීය. මේ නිසා එවැනි පරාජයක් හොංකොං කණ්ඩායමට අත්කර දීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි. ඒ ශූද්ධ ලකුණු වේගය ඉහළනංවා ගැනීම සඳහාය. මෙවැනි තරග වලදී උපරිමයෙන් ප්‍රයෝජන ගැනීම හොඳ කණ්ඩායමක ලක්ෂණයයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරුම තරගය විය හැක්කේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයයි. එසේ කියන්නේ ඇෆ්ගනිස්ථානය විස්සයි20 කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණ ඇති ආකාරය නිසාය. අනෙක් අතින් ඩුබායි හි පැවති අවසන් ආසියානු කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්විය. එසේම ඇෆ්ගනිස්ථානය සමග ශ්‍රී ලංකාවේ දී පැවති අවසන් විස්සයි20 තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මේ නිසා මේ තරගය අතිශය තියුණු එකක් වනු ඇත.
ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කරමින් හොංකොං කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කළේය. එහිදී ආරම්භක පිතිකරු අතල් සහ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලා ඔමර්සායි සුවිශේෂ දස්කම් දැක්වූහ. අස්මතුල්ලා ඇෆ්ගන් කණ්ඩායමේ වර්තමාන තරුවයි. එසේම ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දි අතල් අතිශය තීරණාත්මක ක්‍රීඩකයෙකු වන බව අපේ විශ්වාසයයි. එසේම ශ්‍රී ලංකාව හමුවේ සාර්ථක ඉබ්‍රයිම් සද්රාන්, මොහොමඩ් නබි වැනි පිතිකරුවන්ද රශීඩ් ඛාන්, ෆසල්හක් ෆාරුකී, නූර් අහමඩ් වැනි පන්දු යවන්නන් සමගද වරින්වර පිත්තෙන් හෝ පන්දුවෙන් විශ්වාස කළ නොහැකි දේ කරන ගුල්බඩීන් නයිබ් සහ මොහොමඩ් නබි ද එක් වූ විට ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියේ අති ප්‍රබල කණ්ඩායමකි. ඔවුන් පරාජය කිරීම බංග්ලාදේශය හෝ සිම්බාබ්වේ පරාජය කිරීම තරම් ලෙහෙස කටයුත්තක් නොවේ. මේ තරගයේ දී කමිදු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ කමිල් මිෂාර යන වමත් පිතිකරුවන්ට වැඩි බරක් පැටවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එසේ කියන්නේ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් දකුණත් පිතිකරුවන් ඉදිරියේ ඉතා හොඳ පන්දු යවන්නන් වීමයි. අනෙක් අතින් වනිඳු හසරංග තමන් ගේ හොඳ දස්කම මේ තරගය සඳහා ඉතිරි කර ගත යුතු බව අපේ හැඟීමයි. විශේෂයෙන්ම ඔමර්සායි සහ ගුල්බඩින් නයිබ් ගැන හසරංග වග බලාගත යුතුව තිබේ. සද්රාන්, ගුර්බාස් ගැන බලා ගැනීම දුශ්මන්ත චමීරට පැවරේ. මේ පන්දු යවන්නන් දෙදෙනා මේ කඩුළු හතරට වග කිව්වොත් තරගය ශ්‍රී ලංකාව පැත්තට නැමීම ඉතාම පහසුය. එය එසේ වේදැයි අපි බලා සිටිමු.
කාංචන දසනායක