මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයෙන් පළමුවෙන්ම ඉවතට විසිවුණු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය. ඒ පසුගිය අඟහරුවාදා පාකිස්ථානය හමුවේ පරාජයට පත්වෙමිනි. අබුඩාබි හි පැවති තරගයේ දී තමන්ගේ පැත්තට තරගයේ වාසිය හරවා ගැනීමට අවස්ථාව තිබියදී - එය නිසි ලෙස කළමනාකරණය නොකළ නිසා ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
ඊට පෙර බංග්ලාදේශය හමුවේ ජයගත හැකිව තිබූ තරගය ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මේ පරාජයන් දෙකේදීම පන්දු යැවීමේදී ග්‍රහණය රඳවා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි. අනෙක් අතින් මේ තරගාවලිය පුරාම කාසියේ වාසිය බලපෑම් කළ අතර පළමුව පන්දුවට පහරදීම අවාසියක් විය. මේ ආවාසිය බංග්ලාදේශයට එරෙහිව මෙන්ම පාකිස්ථානයට එරෙහිව ද ශ්‍රී ලංකාවට පාඩුවක් විය.
පසුගිය සතියේ අප සඳහන් කෙළේ ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවය. එය මේ සටහන ලියන බ්‍රහස්පතින්දාටත් වලංගුය. ඕමානය සහ බංග්ලාදේශය සමග ඉන්දියාව ක්‍රීඩා කළ ආකාරය දෙස බලන විට හොඳ ඉනිම් දෙකකට සහ හොඳ පන්දුවාර 8 කට දැනට ඔවුන් සිටින රිද්මය අනුව ඉන්දියාව මෙල්ල කළ හැකි බව පැහැදිලි වෙයි. එයින් අදහස් වෙන්නේ ඉන්දියාව දුර්වල යැයි කියා නොවේ. එසේම පසුගිය සතියේ දී අප කියූවේ එළැඹෙන සතියේ දී දසුන් ශානක සහ චරිත් අසලංකට වැඩ බහුල සතියක් වනු ඇති බවයි. ඒ පිතිකරුවන් ලෙස ඔවුන් ගෙන් වැඩි යමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නිසාය. බංග්ලාදේශයට එරෙහිව ශානක සුවිශේෂ ඉනිමක් දියත් කළේය. එහෙත් පාකිස්ථානයට එරෙහිව එය කළ නොහැකි විය. අසලංක තරග දෙකේ දීම තීරණාත්මක කෙටි ඉණිම් දෙකක් ක්‍රීඩා කළේය. එහෙත් අසලංක ගෙන් අවශ්‍ය වන්නේ විස්සයි-20 දිගු ඉණිම් ය. මේ නිසා ඉන්දියාවට එරෙහිව හෝ මේ දෙදෙනාම ක්‍රියාත්මක වී ඇතැයි අපි බලාපොරොත්තුවෙමු.
තවත් කරුණක් වන්නේ මීට පෙරදී ද අප සාකච්ඡා කළ අංක 6,7, 8 යන ස්ථානයි. මේ ස්ථාන තවමත් ශක්තිමත් නැත. මේ ස්ථාන තුනට ඕනෑම වේලාවක හයේ පහරක් ගැසිය හැකි ක්‍රීඩකයන් අවශ්‍යය. පාකිස්ථානයට එරෙහිව ලකුණු අසූවට කඩුළු හයක් වැටී සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි චාමික කරුණාරත්න පන්දු 21 කට ලකුණු 17 ක් රැස් කළේය. මෙය අංක 8 ක්‍රීඩකයෙකු ගෙන් නොව, අංක 10 ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි තත්ත්වයයි. පන්දු ඕවර 8 ක් තිබියදී දැවී යන්නට අවශ්‍ය නැති බව පැහැදිලි කරුණකි. අක්සාර් පටේල් බංග්ලාදේශය හමුවේ ද මීට සමාන ආකාරයෙන් අසාර්ථක වූ බව දැක ගත හැකි විය. එහෙත් අංක 8 පිතිකරුවෙකු පන්දු 10කදී එක ලකුණක් ලබා සිටීම වෙනම කරුණකි.
ඒ අනුව විස්සයි-20 කණ්ඩායම් තවමත් සම්පූර්ණ නැති බව පැහැදිලිය. අනෙක් අතින් දසුන් ශානක ඉහළ අංකයකට කැඳවීම දැන්නම් අත්‍යාවශ්‍ය වේ. දසුන් අංක 04 ක්‍රීඩා කළ යුතුම බව අපේ අදහසයි. අත දිග හැර හයේ පහරක් ගැසිය හැකි ක්‍රීඩකයෙකු අංක 04 ක්‍රීඩා කිරීම කොතරම් වාසියක් දැයි - දසුන්ට අංක 04 ලබා දීමෙන් පසුව පැහැදිලි වනු ඇත. ඔහු අංක පහට පැමිණි බංග්ලාදේශ තරගය එක් උදාහරණයකි. අනෙක් ක්‍රීඩකයා වනිඳු හසරංග යි. ඔහුගේ පිතිකරණ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිය යුතු යමක් අහිමි වෙයි. වනිඳු අංක 07 ක්‍රීඩා කරන්නේ නම් ඔහුට අවශ්‍ය කරන මානසික ඒකාග්‍රතාව ලබා දීම කණ්ඩායමේ මනෝ උපදේශකයන්ගේ කාර්යයකි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ දී මොහොමඩ් නවාස් පිටියට පිවිසෙන්නේ පාකිස්ථාන කණ්ඩායම ලකුණු අසූවකට කඩුලු 05 ක් වැටී තිබියදී ය. නවාස් තරගය නිවැරදිව කියවාගෙන තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නේ අනෙක් පස සිටින නවක ක්‍රීඩකයාට ද විශ්වාසය ගෙනෙමිනි. වනිඳුපිටියට පිවිසියේ ලකුණු 58 ට කඩුලු 5 ක් දැවී ගිය විටය. අනෙක් පස සිටියේ විශ්වාසය තැබිය හැකි කමිඳු මෙන්ඩිස් ය. එහෙත් ලකුණු 22 ක සම්බන්ධයකින් පසු වනිඳු කෙළින් එන පන්දුවට හරවා පහරක් ගසන්නට ගොස් දැවී යයි. වනිඳු වැනි දක්ෂ පිතිකරුවෙකුට ඔහුගේ පන්දුවට පහරදීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නට උගන්වන්නේ නැත්තේ ඇයි යන්න ප්‍රශ්නයකි. එසේ නැත්නම් මෙවැනි ක්‍රීඩකයෙකු ආරම්භක පිතිකරුවෙකු ලෙස එවා අධිවේගී ලකුණු 25ක් එකතු කර ගත යුතුය. නැවත මතක් කරන්නේ මේ අපතේ යන්නේ කණ්ඩායම වෙනුවෙන් මීට වඩා එකතු විය හැකි ලකුණු ප්‍රමාණයක් බවය.
2022 ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට හැකිවීම සිදුවූ අවාසියක් බව අප මීට පෙර අවස්ථාවක කීවෙමු. නිසි කලට කලින් ජයග්‍රහණ අත්කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට මතක හිටින විස්සයි-20 ජයග්‍රහණ නැත. ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් ඇත්තේ ශ්‍රී ලංකාව තුළය. සිම්බාබ්වේ සංචාරයේ දී ද ශ්‍රී ලංකාව යම් අසීරුවකින් ක්‍රීඩා කළේය. මේ ආකාරයට මීළඟ ලෝක කුසලානයට යන්නට බැරි බව පැහැදිලිය. පන්දුවට රිදෙන්නට පහර දිය හැකි ක්‍රීඩකයන් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ තණතිලි දේශීය විස්සයි-20 තරගවල දී දස්කම් දැක්වූ පමණින් ඔවුන් කණ්ඩායමට ගැනීම භයානකය. මේ නිසා හරිහමන් පිතිකරුවන් අවශ්‍යය. දැනට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සිටියි. මේ හැරෙන්නට විශ්වාස තැබිය හැකි පිතිකරුවෙකු නැත. විශේෂයෙන්ම විදේශයන්හි දී මේ දස්කම කරන පිතිකරුවන් අවශ්‍යය.
කමිල් මිෂාර කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුවීමට නියමිතව තිබූ දෙයකි. ඔහුව හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිවාදීන් වඩාත් සාර්ථක සැලසුම් සකස් කළහ. දැන් ශ්‍රී ලංකාව කළ යුත්තේ තවත් එක් හොඳ පිතිකරුවෙකු සොයා ගැනීමයි. ඒ පිතිකරුවා වේග පන්දු යැවිය හැකි අයෙකු විය යුතුය. එසේම අංක 03 ස්ථානයට ද ඉක්මනින් පිතිකරුවෙකු සූදානම් කර තැබීම අවශ්‍යය. ඒ කුසල් පෙරේරා ඉවත් කිරීමට නොව ඔහුගෙන් පසුව එම ස්ථානය විශ්වාසදායකව පිරවීමටය. එය නොකළහොත් එම ස්ථානය ද අර්බුදයකට යනු ඇත.
මේ සියල්ල අතරේ ශ්‍රී ලංකා පිතිකරුවන් අවශ්‍ය වේගයෙන් පන්දුවට පහර නොදෙන බව පැහැදිලි වෙයි. ශ්‍රී ලංකා විස්සයි-20 පිතිකරුවන් කිසිවෙකු පහර දීමේ වේගය 140 ට ආසන්න වී හෝ නැත. පැතුම්, කමිඳු සහ අසලංක සිටින්නේ 124, 128 ,127 මට්ටමේ ය. වේගයෙන්ම පහර දෙන බව පෙනෙන තරග අවසන් කිරීමට එවන දසුන් ශානක සිටින්නේ 123 ක මට්ටමේය. කුසල් මෙන්ඩිස් 131, කුසල් පෙරේරා 132, වනිඳු 130 මට්ටමේ සිටියි. මේ පිතිකරුවන් අතර වැඩිම සාමාන්‍යයක් ඇත්තේ පැතුම් නිස්සංකටය. එය ලකුණු 30 කට ආසන්න අගයකි. මේ සාමාන්‍යයට අනුව පැතුම් පන්දු 24 කට ලකුණු 30 ක් ලබා ගනී. මේ කණ්ඩායමේ හොඳම සාමාන්‍යයක් ඇති පිතිකරුවා දක්වන දායකත්වයයි. හොඳම පහර දීමේ වේගය ඇති කුසල් පෙරේරා පන්දු 20 කට ආසන්න ප්‍රමාණයක දී ලකුණු 27 ක් ලබා ගනී. ඉන්දීය කණ්ඩායමේ අභිෂේක් ෂර්මාගේ පහර දීමේ වේගය 197 කි. සාමාන්‍ය 35.4 කි. එතැන් සිට පහළට එද්දී ප්‍රධාන පිතිකරුවන්ගෙන් පහර දීමේ වේගය 140 ට වඩා අඩු අගයක් ඇත්තේ ෂිවම් ඩුබේට පමණි. එය 138 කි. ප්‍රධාන අංක හත අතර 30 ට වඩා අඩු සාමාන්‍ය අගයක් ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාට පමණි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය ගැන දළ අදහසක් ඔබට ලබා ගත හැකි වනු ඇත. මෙවැනි තත්ත්වයක දී සෑම තරගයකම සෑම පිතිකරුවෙකුවෙකුම තමන්ගේ සාමාන්‍යය කරා හෝ ළඟාවීම අත්‍යාවශ්‍යය. එය සෑම තරගයකම සිදු නොවන ක්‍රිකට් ගැන දන්නා සියලු දෙනා දනී. මේ නිසා ක්‍රියාත්මක වන පිතිකරුවන් දෙදෙනා හෝ තිදෙනා විශාල බලපෑමක් කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය මෙයයි.
එහෙයින් අවාසනාව, සැලසුම් වැරදීම වැනි කරුණු නොකියා ශ්‍රී ලංකාව අලුත් විස්සයි-20 ක්‍රමයට හුරු විය යුතුය. දැනට සිටින ක්‍රීඩකයන් අලුත් ක්‍රමයට හුරු නොවෙන්නේ නම් පන්දුවට රිදෙන්න පහර දෙන නවකයන් සොයා ගත යුතුය. එය අසීරු කටයුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ කැපවීමයි. එල්.පී.එල්. වැනි තරගාවලියක් ක්‍රීඩකයන් සොයා ගැනීම පිණිසම පාවිච්චි කිරීමයි. තමන්ගේ හිතවතුන්ට කීයක් හරි හොයා ගැනීමට එම තරගාවලිය පාවිච්චි නොකළ යුතුය. එසේම මෙතැනින් නොනැවතී තවත් එක් දේශීය ෆ්‍රැන්චයිස් තරගාවලියක් අවශ්‍යය. ඒ හරහා විස්සයි-20 ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ක්‍රීඩකයන් නිර්මාණය කළ යුතුය.
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි කණ්ඩායම් සමග තරග කිරීමට නම් පන්දුවට රිදෙන්න පහරදීමේ හැකියාව අත්‍යාවශ්‍යය. පන්දු යැවීමේ දී නිවැරදිව පීඩනය යෙදීම අවශ්‍යය. නැත්නම් හැමදාමත් සිම්බාබ්වේ, හොංකොං, ඕමාන් පරදවමින් ඒ ගැන උදම් අනන්නටත් බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩායම්වලට පැරදී සුසුම් හෙළන්නටත් ඉන්දියාව, එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව සමග පවත්වන තරග නොබලා සිටින්නටත් ක්‍රිකට් රසිකයන්ට සිදුවනු ඇත.
කාංචන දසනායක