මෙවර අයි.පී.එල්. තරගාවලිය නිමාවට පත්වූයේ අලුත් අයි..පී.එල්. ශූරයෙකු බිහිකරමිනි. මෙවර රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ශූරයන් වෙද්දී වසර 11 කට පසුව අවසන් තරගයකට පැමිණි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අනුශූරයන් විය. තරගාවලිය පුරා සාර්ථකව ක්‍රීඩා කළ මේ කණ්ඩායම් දෙක විස්සයි 20 තරගාවලියක දී කණ්ඩායමේ මට්ටම නොකඩවා රඳවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් අයි.පී.එල්. තරගාවලියකට පසුව එම තරගාවලියේ දී ඇති වූ නව ප්‍රවණතා ජාත්‍යන්තර පිටියට කාන්දුවීම සාමාන්‍යයෙන් සිදුවූ දෙයකි. එහෙත් මෙවර එවැන්නක් සිදු නොවනු ඇත. එයට එක් හේතුවක් වන්නේ දැන් විස්සයි 20 තරග ඇති පදමට පරිණාමය වී ඇති නිසාය. කෙසේ වුවද මෙවර දැක ගත හැකි වූ සුවිශේෂ සිදුවීමක් වූයේ කණ්ඩායමක අංක 4 සහ 5 පිතිකරුවන්ගේ වැදගත්කමයි. මෙවර තරගාවලියේ දී අප දුටු ප්‍රධාන ලක්ෂණයක් නම් ඉණිමක 7 වැනි ඕවරය සහ 15 වැනි ඕවරය අතර පෙර තිබූ උදාසීන තත්ත්වය නිමා වීමයි. ඒ අනුව අංක 04 සහ 05 යන ස්ථාන අතිශය වැදගත්කමක් ගත්තේය. සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, ෂාරුක් ඛාන්, රජත් පතිදාර් වැනි ක්‍රීඩකයින් මෙහිදී කැපී පෙනුණි. මේ හැකියාව නොපෙන්වූ කණ්ඩායම් තරගාවලියේ අවසන් හතර දෙනාට පැමිණීමට නොහැකිවනු දැක ගත හැකි විය. මෙය ජාත්‍යන්තර කණ්ඩායම් මෙන්ම ඕනෑම රටක දේශීය කණ්ඩායම් අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර මෙහිදී අයි.පී.එල්. තරගාවලියේ දුටු ඇතැම් අලුත් තත්ත්වයන් යොදාගැනීමට කණ්ඩායම්වලට හැකියාවක් තිබේ.
මේ දිනවල ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර මෙහිදී අයි.පී.එල්. තරගාවලියේ දුටු ඇතැම් අලුත් තත්ත්වයන් යොදාගැනීමට කණ්ඩායම්වලට හැකියාවක් තිබේ.
කෙසේ වුවද විස්සයි 20 තරගවලදී ආරම්භක පිතිකරුවන්ගේ වැදගත්කම නැවත නැවත තහවුරු කෙරුණු අයි.පී.එල්. තරගාවලියක් ලෙස මෙවර තරගාවලිය නම් කළ හැකිය. සායි සුදර්ශන් සහ ෂුබ්මන් ගිල් යුගලය අති සාර්ථක වූ අතර, පබ්සිම්රන් සහ ප්‍රියන්ෂ් යුගලයද අවස්ථා කිහිපයකදී සාර්ථක විය. රෝහිත් ෂර්මා අර්ධ ශතකයක් ලැබූ සෑම තරගයක්ම මුම්බායි කණ්ඩායම ජයගත්තේය. මිචෙල් මාෂ් තරග කිහිපයකදීම හොඳම ආරම්භය ලබා දුන්නේය. ෆිල් සෝල්ට් හා විරාත් කෝලි අතිසාර්ථක යුගලයක් විය. සූර්යවංශී සහ ජයිස්වාල් යුගලය සාර්ථක වුවද ඔවුන්ගේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යෑමට රාජස්ථාන් මැදපෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ.
ජයග්‍රාහි රෝයල් චැලෙන්ජර්ස් පිල සතුට සමරමින්
මෙවර තරගාවලිය ඉන්දියාවෙන් පිටත ක්‍රීඩකයන්ට රතු එළි දැල්වූ තරගාවලියක් යැයි පැහැදිලිය. විශේෂයෙන්ම ඉන්දියාවේ තරුණ ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටියේ තරුවලට වඩා ඉදිරියට පැමිණෙන බව පැහැදිලි විය. මෙවර තරගාවලියේ වැඩිම පහර දීමේ වේගයක් ඇති ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටින වැඩි දෙනා ඉන්දීය තරුණයන්ය. සූර්යවංශී, ආයුෂ්, ප්‍රියාන්ෂ්, අභිෂේක් ෂර්මා සහ නමන් ධීර් මෙහිදී කැපී පෙනෙයි. මෙයින් පෙනෙන්නේ ඉන්දියාව අයි.පී.එල් සඳහා ඉතා හොඳ ක්‍රීඩකයන් සොයා ගනිමින් සිටින බවයි. එසේම ඒ හරහා විදෙස් ක්‍රීඩකයන්ට ඇති ඉල්ලුම ද අඩුවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව මෙවර පැහැදිලිව පෙන්නුම් කෙරුණි. මෙය අයි.පී.එල්. සල්ලි උල්පතක් කරගෙන සිටින විදෙස් ක්‍රීඩකයන්ට බරපතළ පහරක් විය හැකිය.
වසර 18 කට පසුව රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ශූරයන් වීම විරාත් කෝලිගේ ක්‍රිකට් දිවියට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවශ්‍ය සියලු වටිනා කුසලාන එක්කර දීමක් විය. මේ නිසාම අයි.පී.එල්. තරග අවසානය ඉන්දියානු චිත්‍රපටයක් මෙන් හැඟීම්බර වනු දැක ගත හැකිවිය. බැංගලෝරයේ බොහෝ දෙනෙකු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විශ්වාස කළේ නැත. කිසිදාක ශූරතාවක් දිනා නොගන්නා තමන්ගේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් බව සිතූ බැංගලෝර වැසියෝ බොහෝ වූහ. කෙසේ හෝ මෙවර ශූරතාව දිනා ගැනීමත් සමග බැංගලෝර වැසියන් උද්දාමයට පත්විය. එයට අයි.පී.එල් අවසන් රාත්‍රියේ දැකගත හැකි වූ හැඟීම්බර දර්ශනද හේතු විය. ප්‍රතිඵලය පසුදා නිකුත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නැවත බැංගලෝරය වෙත පැමිණි විටය. තදබදය නිසා මියගිය පිරිස 11 ක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙය කිසියම් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා පැමිණි අවස්ථාවක හෝ සිදු නොවූවකි. තිස් පන්දහසක් පමණ සිටිය හැකි චින්න ස්වාමි ක්‍රීඩාංගණයට ලක්ෂ දෙකකට අධික පිරිසක් ඇතුළු වීමට උත්සාහ කිරීම මේ මරණ සිදුවීමට හේතුව විය. එහෙත් බැංගලෝර වැසියන්ට කොතරම් මේ ජයග්‍රහණය වැදගත් වී ඇත්ද යන්න මේ මරණවලින්ම පැහැදිලිවෙයි. අනෙක් අතට ප්‍රධාන ධාරාවේ මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය ද මෙවැනි තරග ජයග්‍රහණයක් උත්කෘෂ්ටයට නංවන ආකාරයද මෙවැනි සිදුවීම්වලට හේතු වී තිබේ.
විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවලදී තමන්ගේ ආදායම් වැඩි කර ගැනීමට සමාජ මාධ්‍ය ගිණුම් හිමියන් පළකරන අදහස්, වීඩියෝ, ඡායාරූප ආදිය හරහා ඇතිවන පෙලඹවීම සතුටු විය යුතු අවස්ථා ශෝකය බවට පත්කරන සිදුවීම් වෙයි. ඒ අනුව මේ සිදුවීම මෙවර අයි.පී.එල් තරගාවලියේ හොඳම පාඩම බව සිහිපත් කළ හැකිය.
අයි.පී.එල්. තරගාවලිය නිමාවීමත් සමගම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ඇරඹෙයි. ජූනි 11 වැනිදා එනම් එළැඹෙන සිකුරාදා මෙම තරගය ඇරඹෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේය.
අයි.පී.එල්. තරගාවලිය නිමාවීමත් සමගම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ඇරඹෙයි. ජූනි 11 වැනිදා එනම් එළැඹෙන සිකුරාදා මෙම තරගය ඇරඹෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේය. වර්තමාන ශූරයන් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාව මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරයි. මේ අනුව ලෝක ටෙස්ට් ශූරතාව නොකඩවා දෙවරක් දිනාගත් පළමු කණ්ඩායම වීමට ඔස්ට්‍රේලියාවට අවස්ථාවක් උදාවී තිබේ. මේ තරගයේ දී ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව බැලූ බැල්මට පෙනේ. අනෙක් අතින් ස්ටීවන් ස්මිත් යළිත් අංක 04 ස්ථානයේ ක්‍රීඩා කරන බවද ඔස්ට්‍රේලියානු නායකයා තහවුරු කර තිබේ. එය ස්මිත්ගේ හොඳම ස්ථානයයි. එසේම කමින්ස්, හේසල්වූඩ් සහ ස්ටාක් යන සංයෝගය ලෝඩ්ස් පිටියට ඉතාම හොඳින් ගැළපෙද්දී ස්කොට් බෝලන්ඩ් ගැනද කතා බහ ඇති වෙයි. එසේම ට්‍රැවිස් හෙඩ් අංක 05 දක්වා පල්ලම් බසිද්දී සෑම් කොන්ටාස් යළිත් ආරම්භක පිතිකරු වීමට වැඩි ඉඩක් ඇති බව පැවසෙයි.
ලෝක ටෙස් ශූරතාවය දිනාගැනීමට සැරසෙන බවුමා සහ කමින්ස්
මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා දඬුවම් ලැබූ කගීසෝ රබාඩා යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක්වීම ඔවුන්ට විශාල ශක්තියක් වනු ඇත. එසේම කොන්ටාස් ක්‍රීඩා කරන්නේ නම් ඔහු හා රබාඩා අතර සටන ඉතාම හොඳ එකක් වනු ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරගවලදී විශාල වර්ධනයක් පෙන්වමින් ආ ගමනේ කූඨප්‍රාප්තිය මෙය විය හැකිය. අයි.සී.සී. කුසලානයක් බලාපොරොත්තුවෙන් සිටින ඔවුන්ගේ සිහිනය මේ අවස්ථාවේ දී හෝ ඉටු වේදැයි දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැමති රසිකයෝ බලා සිටිති.
ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයෙන් පසු එංගලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් සමය ආරම්භ වෙයි. එංගලන්තය සහ කොදෙව් දූපත් සමග පැවැත්වෙන තරගාවලියෙන් පසුව ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දෙස ලෝකයම බලා සිටියි. ඒ අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග පූර්ණ තරගාවලියකට සූදානම් වෙයි. මේ තරගාවලිය ගැන වඩාත් ගැඹුරින් අපට ලබන සතියේ කතා කළ හැකිය. එහෙත් තවදුරටත් ක්‍රිකට් යනු තමන්ගේ රටේ කණ්ඩායමේ තරග පමණක් නොවන නිසා අපි ඔබට යෝජනා කරන්නේ විදෙස් කණ්ඩායම් ක්‍රීඩා කරන තරග දෙසටද අවධානය යොමු කරන ලෙසයි. තෙරපී මියයන රසිකයෙකු නොවී, ක්‍රීඩකයන්ට ගල්ගසන ක්‍රිකට් රසිකයෙකු නොවී ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳිය හැක්කේ එවිටය.
කාංචන දසනායක