අලුත් තාලෙට දිනන අපේ පාපන්දු


කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී පොසොන් පෝය උදා වූ අඟහරුවාදා (10) පැවැති ආසියානු කුසලාන (2027) සූදුසුකම් (තෙවැනි) වටයේ තරගයේ දී ශ්‍රී ලංකාව විසින් චීන - තායිපේ ගෝල 3 - 1 කින් පරාජය කරමින් අති විශිෂ්ට ජයක් වාර්තා කරන ලදී. එහිදී විනාඩි 10 ක් තුළ දී ශ්‍රී ලංකාව වේගවත් ප්‍රහාරයකින් ගෝල තුනක් රැස්කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙණුනි.

මෙම ජයග්‍රහණයත් සමග ලකුණු තුනක් ලැබූ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේශ ලබා ගැනීමේ තෙවැනි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඩී. කාණ්ඩයේ අඩියේම සිට තෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය. එහි පෙරමුණේ පසු වන්නේ පසුගිය මාර්තු 25 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට (1 - 0) පත් කළ තායිලන්තයයි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට 166 වැනි ස්ථානයේ පසු වන චීන - තායිපේ ඊයේ පරාජයට පත් කරන විට ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව පසු වූයේ 200 වැනි වැනි ස්ථානයේයි.

පසුගිය ජූනි 5 වැනිදා බැංකොක් නුවර දී පැවැති දෙරට අතර සුහද ජාත්‍යන්තර තරගයේ දී ශ්‍රී ලංකාව විසින් බෲනායි පරාජයට පත් කළේ ගෝල 1 - 0 කටය. බෲනායි ඒ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 185 වැනි ස්ථානයේ පසුවිය.

ඒ අතර අඟහරුවාදා තරගයේ තවත් කැපී පෙණුනු සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරිට තහනමක් පැනවී තිබීම නිසා ඒ වෙනුවට වැඩ බලන පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වීමයි.

ඒ වෙනුවට තරගයේ වැඩ බැලීම සඳහා කුවේට් ජාතික නසාර් අල් හුසේන් කැඳවා තිබුණි. ඊයේ තරගයේ පළමු භාගය නිලකුණු තත්වයක් මැද නිමාවී තිබිය දී ශ්‍රී ලංකාව ගෝල තුනක්ම වාර්තා කරමින් මෙම ජය වාර්තා කිරීම කැපී පෙණුනි.

ඒ අනුව 49 වැනි, 53 වැනි හා 59 වැනි යන විනාඩිවල දී ගෝල තුනක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එතැන් සිට තරගයේ පාලනය සියතට ගත්තේය. අද්වාන් රාජමොහාන්, ඩිලෝන් සෙනන් සිල්වා හා රසීක් අහමඩ් වසීම් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ගෝල වාර්තා කළහ. ඔවුන් සියලු දෙනාම විදේශයන්හි කල් ගෙවන ද්විත්ව පුරවැසිලාභීන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. 

මෙම වසරේ දී ශ්‍රී ලංකාව පිට පිටම ජය ගත් දෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරගය මෙයයි. පසුගිය ජූනි 25 වැනිදා බැංකොක් නුවර දී පැවැති සුහද ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකාව බෲනායි පරාජයට පත් කළේ ගෝල 1 - 0 කටය. මෙම වසරේ දී ශ්‍රී ලංකාව ජයගත් තෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරග ජයත් අඟහරුවා දා ඒ අනුව වාර්තා විය.

වසර 2003 සිට ඊයේ වන තෙක් ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ජාත්‍යන්තර පාපන්දු තරග පහක් පවත්වා තිබේ. එහිදී තරග හතරකම ජය වාර්තා කළ ශ්‍රී ලංකාව සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ.

ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටය යටතේ මෙම දෙරට යළිත් වසර 2026 මාර්තු 31 වැනිදා කහෝසියුන්ග් නුවර දී මුණ ගැසීමට නියමිතය. එම තරග වටයේ ශ්‍රී ලංකාව ආසන්නයේම සහභාගි වන මීළඟ තරගය යෙදී තිබෙන්නේ ලබන ඔක්තෝබර් 9 වැනිදාය.

තුර්ක්මෙනිස්ථානයට එරෙහිව එම තරගයත් කොළඹ දී පැවැත් වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ  මෑත කාලයේ දී අත්කර ගනිමින්  තිබෙන ධනාත්මක ප්‍රතිඵල ඔස්සේ ඔවුන් වසර නවයකට පසුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානයකට ළඟාවීමට නියමිතය. ඒ අනුව දැනට සිටින 200 වැනි ස්ථානයෙන් මිදෙමින් ඔවුන් 196 වැනි ස්ථානයට පත්වීමට නියමිතය. මීළඟ අලුත්ම නිල ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් ලබන ජූලි 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

වසර 2016 දී ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව195 වැනි ස්ථානයේ පසු විය. වසර 2017 සිට මේ දක්වා 200 වැනි ස්ථානයෙන් පහළ ස්ථානයකට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව නැත. වසර 2022 දී ශ්‍රී ලංකාවට 207 දක්වා පහළට යන තරම් බැරෑරුම් තත්වයක් උද්ගත්වී තිබුණි.

වසර 2024 සිට 2025 මේ දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග 10 කින් හතරක් ජයගෙන තුනක් සම කිරීමට සමත්ව තිබේ. පරාජයට පත් තරග ගණන තුනකි. මෙය ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර පාපන්දු පිටියේ ලද ඉහළම ප්‍රගතියක් ලෙස ගැනිය හැක්කේ පසුගිය දශක දෙකක පමණ කාලයක මෙරට ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසය පිරික්ෂණ විටය.

එක්තරා අවස්ථාවක දී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ (එවකට සම්මේලනය) ප්‍රධානියෙකු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී පැවැසුවේ ‘‘මට ඒ අයට (ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට) දෙන්න බැරි වුණේ මගේ කකුල් දෙක විතරයි”‍ කියාය. ඔහු එසේ කීවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රවර්ධනයට එකළ නොකළ දෙයක් නැති තරම් කියා පෙන්වීමටය.

එකළ මෙරට පාපන්දු ක්‍රීඩාවේ සර්ව බලධාරියා ලෙස හැඳින්වුණු මොහු  ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ ද කල් ගෙවූ අයෙකි.

කළක් ක්ෂේත්‍රයේ සිය පස මිතුරන් බවට පත්ව සිටි පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන රංජිත් රුද්‍රිගු හා හිටපු සභාපති අපේක්ෂකයෙකු වන වෛද්‍ය මනීල් ප්‍රනාන්දු යන දෙදෙන නිලවරණයේ දී එකම පාර්ශ්වයකට එක්කර ගැනීමට සමත් වූ වත්මන් සභාපති ජස්වර් උමාර් පාපන්දු ආයතනයේ පරිපාලනය සමබර කර ගනිමින් ඇරඹූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් ගමන ජාතික කණ්ඩායමේ ප්‍රවර්ධනයත් සමග මේ වනවිට වඩාත් සාර්ථක වෙමින් තිබෙන බවක් පෙන්නුම් කරයි.

පසුගිය සති අන්තයේ දී පැවැති ආසියානු කුසලාන (2027) නිර්දේශිත තරග වටයට සහභාගි වූ ඉන්දියාව ඇතුළුව දකුණු ආසියාවේ සෙසු සියලු රටවල් ප්‍රතිවාදීන්ට පරාජය වුණු අවස්ථාවක ශ්‍රී ලංකාව පසුගිය පොසොන් පොහෝ දින ලබාගත් ජයග්‍රහණය ඇතුළුව ඉතා ආසන්නයේ දී වාර්තා කළ ජාත්‍යන්තර ජයග්‍රාහණයන්හි වැදගත්කම වන්නේ එසේ ශ්‍රී ලංකාවට පරාජය වූ ප්‍රතිවාදින් ශ්‍රී ලංකාවට වඩා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව වඩාත් ඉහළින් පසු වූවන් වන බැවිනි.

නාමල් පතිරගේ