අපේ ගෙදරදොර අවට ජෛව විවිධත්වයද සුරකිමින් සරුසාර ගෙවත්තක් පවත්වාගෙන යා හැකි ආකාරය ගැන එළිදරව්කර දෙන අමුතු මාදිලියේ පර්‌යේෂණයක් සාර්ථකව සිදුකිරීමට තරුණ පර්‌යේෂක පිරිසක් සමත්ව තිබේ. 2008 වසර සිට මේ දක්වා අඛණ්ඩව වසර 17කට ආසන්න කාලයක් ඉතා කැපවීමෙන් යුතුව සුපරීක්ෂාකාරීව සහ ස්වාභාවික ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් පවත්වාගන ගිය මේ පර්‌යේෂණයේ සරු ප්‍රතිඵල පසුගියදා “ලෝරිස්” ජෛව විද්‍යා සහ පාරිසරික සඟරාවේද පළකර තිබුණි.
ඔවුන් මෙම අධ්‍යයනයෙන් ශ්‍රී ලංකාවේ ගෙවතු ජෛව සංස්කෘතික ක්ෂුද්‍ර ලෝකයක් ලෙස සලකමින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒවායේ විශේෂ සංයුතිය, අනුවර්තන කළමනාකරණ පිළිවෙත් සහ අවකාශීය සංවිධානය ආසියාවේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි කලාපයක පාරිසරික ඔරොත්තු දීමේ හැකියාවට සාමූහිකව සහාය වෙන ආකාරය පෙන්නුම් කරන්නට සමත්ව තිබේ. දකුණු ආසියානු දෘෂ්ටිකෝණයක් අනුගමනය කරමින්, පරිසර පද්ධති, ඒවා හුදෙක් පිරිහුණු භූ දර්ශන ලෙස දැකීමට වඩා, මානව යුගයේ ඵලදායී ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා මානව කළමනාකරණය කරන ලද තිරසාර සංවර්ධනයේ ගතික සංරචක ලෙස ඒකාබද්ධ කිරීම අවශ්‍ය බව ඔවුන් මේ මගින් තර්ක කර සනාථ කර ඇත.
ඒ අනුව ස්වාභාවික ක්‍රමවේද අනුව වනාන්තරීකරණය සිදුකළ ගෙවත්තක ඇති වන සරුසාර ජෛව විවිධත්වය පිළිබඳ ඔවුන් මෙලෙස ප්‍රායෝගික ආදර්ශයක් බිහිකිරීමට සමත්ව ඇත.
තරුණ පරිසරවේදී එකතුවක් වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමට අයත් දුෂාන්ත කණ්ඩම්බි, තිළිණ සූරසිංහ සහ සුරංජන් කරුණාරත්න මේ අමුතු ගෙවතු ආදර්ශය පිළිබඳව මුල් වී කටයුතු කළ පිරිසය.
සිය අමුතු නමුත් පලදායී ආදර්ශවත් පර්‌යේෂණය ගැන “ඉරිදා ලංකාදීපය” වෙත කරුණු දැක්වීමට අප හා එක් වූයේ ලංකාවේ හූනන් ගැන පර්‌යේෂණයන්හි යෙදී නව විශේෂ ගණනාවක්ම නම් කර දෙන්නට සමත් වූ සමීර සුරංජන් කරුණාරත්නය.
ඔහුට අනුව මෙම පර්‌යේෂණයේ ජෛව විවිධත්ව ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික සහ මානව බලපෑම් හඳුනාගැනීම සඳහා තමන්ටම අයත් භූමි භාගයක් යොදාගැනීමට ඔවුන් කටයුතු කර තිබේ. මේ සඳහා කලක් වගාකර අත්හැර දැමූ, වැඩි කොටසක් ස්වාභාවික පාරිසරික තත්ත්වයන් සුරැකිව පැවති භූමියක් රඹුක්පිටිය ප්‍රදේශයෙන් තෝරාගන ඇත.
නාවලපිටිය නගරයේ සිට ගිනිගත්හේන දෙසට කිලෝ මීටර් 4 ක් පමණ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී රඹුක්පිටිය ප්‍රදේශය හමුවෙයි. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් පස්බාගේ කෝරලේ පිහිටි රඹුක්පිටිය ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ගම්මානයකි. මනස්කාන්ත පරිසරයක පිහිටි මෙම ගම්මානයට වයඹ දෙසින් ඇත්තේ දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද වන කබරගල කන්දයි. එහි ස්වාභාවික වනාන්තරය හා ෆයිනස් වගාවක් ද දැකිය හැක. මෙම තෙත් කලාපීය වනාන්තර පද්ධතිය දේශීය සහ ආවේණික ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවින්, මත්ස්‍යයන්, සමනලුන්, බත්කූරන්, ගොළුබෙල්ලන් ඇතුළු සත්ව ගහනයෙන් පොහොසත් ජෛවවිවිධත්වයෙන් පරිපූර්ණ ප්‍රදේශයකි. එමෙන්ම ජල පහරින් හා ස්වාභාවික ජල උල්පත්වලින් පෝෂිත වූ ප්‍රදේශයකි. එම කරුණු හේතුකොට ගෙන රඹුක්පිටිය ගමටද සශ්‍රීක බවක් නිතැතින්ම ලැබී තිබිණි.
සමීර සුරංජන් කරුණාරත්න
ඒ අනුව 2008 වසරේදී උඩ රඹුක්පිටිය ප්‍රදේශයේ නිවසක් සහිත පර්චස් 36ක සින්නක්කර ඉඩමක් ස්ථිර පදිංචිය සඳහා මිලට ගෙන, ඔවුන් එහි පැමිණ වාසය කරන අතරතුර එම ප්‍රදේශයේ ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයන කටයුතුවල යෙදී තිබුණි. එහිදී ඔවුන්ට පෙනී ගිය සුවිශේෂ කරුණක් වූයේ මෙරට වනජීවී අධ්‍යයනයන්ට ලක් කර ඇති රජයේ රක්ෂිත, වනෝද්‍යාන සහ රක්ෂිතවලින් පරිබාහිර භූමි ප්‍රදේශවලට සාපේක්ෂව මෙම ගෙවත්ත සහ අවට පරිසරයේ පවතින විශාල ගහන ඝනත්වයකින් යුක්ත වූ අධික විශේෂ විවිධත්වයකින්ද යුත් සරුසාර ජෛව විවිධත්වයයි.
වර්ෂ 2008 ට පෙර මෙම ගෙවත්තත් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර තෙත් කලාපයේ පිහිටි, කොස්, දූරියන්, කෙසෙල්, කෝපි වැනි භෝග කිහිපයකට සීමාව පැවති යටි රෝපණයකින් තොර වූ සාමාන්‍ය ගෙවත්තක් විය. රඹුක්පිටිය ප්‍රදේශයේ පවතින ජීවීන්ගේ විවිධත්වය දෙස අවධානය යොමු කර ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් කල් ගෙවද්දී ග්‍රාමීය මානව ජනාවාස අතර පිහිටියද මෙහි පවතින ජෛව විවිධත්වයේ සාරවත් භාවය විනාශයට පත්වීමට ඇති අවදානම ගැන සලකා මෙම ගෙවත්ත එම සතුන් වෙනුවෙන් ආරක්ෂිතව දිවි ගෙවීමට හැකි භූමියක් ලෙස වෙන් කිරීමට තීරණය කෙරිණ.
ඒ අනුව, සුළඟ, ජලය හා සතුන් මඟින් ස්වාභාවිකව ප්‍රචාරණය වෙන සියලු ශාකවලට නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරීම, පැවති විශාල ගස්වල අතු කපා නොදමමින් සෙවණ සහිත බව නොවෙනස්ව රැකගැනීම, කුඩා ජීවීන්ගේ පෝෂණ ශාක වල් පැළෑටි ලෙස සලකා ඉවත් නොකිරීම, යටි රෝපණයට නිදහසේ වර්ධනයට සහ පැතිරීමට ඉඩ හැරීම, දිරායන කොළ රොඩු ඉවත් නොකිරීමෙන්, බිම් වැස්මෙහි ජෛවීය පොහොසත් බව සහ සාරවත් බව නැංවීම, භූමිය මත මානව ක්‍රියාකාරකම් සහ සංචරණ අවම කිරීම, සංචරණ අවශ්‍යතා සඳහා එක මාර්ගයක් පමණක් භාවිත කිරීම, භූමිය මධ්‍යයේ අධ්‍යයන කටයුතු සහ වෙනත් සංරක්ෂණ කටයුතුවල පහසුව සඳහා කුඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීම, ව්‍යසනකාරී විය හැකි ආක්‍රමණික ශාක (බූ බෝවිටියා, යෝධ නිදිකුම්බා, ගල් ගොරකා) පමණක් වසරකට වතාවක් පමණ ගලවා ඉවත් කිරීම සහ කෙසෙල් පඳුරු ප්‍රමාණය ක්‍රමයෙන් ඉවත් කිරීම, අධික වියළි කාලවලදී ජලය පොම්ප කර ඉසිමින් භූමියේ තෙත් බව ආරක්ෂා කරගැනීම, කුඩා ජීවීන්ගේ ක්ෂුද්‍ර වාසස්ථාන ආසන්නයේ පරිසරයට භාධා නොපැමිණවීම, මෙන්ම දිවා කාලයේ සතුන් සැඟවී සිටින ස්ථාන වල ආරක්ෂාව සහ සුව පහසුව වැඩි කිරීම, කුඩා ජීවීන්ගේ ජීවන චක්‍රයන්ට, පරිසර විද්‍යාත්මක ක්‍රියාවලීන්ට හා සතුන්ගේ චර්යාවන්ට බාධා නොකිරීම. කොස් දූරියන් ආදී විශාල ශාක වල ඵල භුක්ති විඳීමට පැමිණෙන සතුන් එළවීමෙන් වැළකීම. ස්වාභාවිකව තැන්වැසි බව ස්ථාපනය කරගෙන සිටින සහ අවශ්‍යතා සඳහා එන යන සතුන්ට බාධා සිදු නොවන පරිදි මානව ක්‍රියාකාරකම් අවම අගයක පවත්වා ගැනීම, මායිමේ පවතින දොළ පහරේ සතුන්ගේ පැවැත්ම පහසුව සඳහා දොළ සෙවණ වැස්මක් සහිත ලෙස පවත්වාගැනීම, මත්ස්‍ය වාසස්ථාන පවතින කෙටල පඳුරු සහිත ඇළ ඉවුරු දෙපස සංරක්ෂණය කිරීම, ඡායාරූප ගැනීම සඳහා හෝ මෙම භූමියෙහි සිටින සතුන් ඇල්ලීමෙන් වැළකීම, පොලිතීන් හෝ වියළි ශාක පත්‍ර ගිනි තැබීම් සිදු නොකිරීම, රසායනික ද්‍රව්‍ය අඩංගු කසළ ගෙවතු භූමියට බැහැර නොකිරීම, ස්වාභාවිකව ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ ආකාරවලට අමතරව ගැබ්බර සතුන්ගේ ආරක්ෂාව සඳහා සතුන් ගෘහස්ථව ඇති දැඩි කිරීමේ සහ අභිජනනය කිරීමේ දැනුම අවස්ථානුරූපව භාවිත කිරීම, ප්‍රදේශයේ සර්පයන් වැනි නිවෙස්වලට පැමිණෙන සතුන් මුදාගෙන සුදුසු පරිසරවලට නිදහස් කිරීම සහ ගැබ්බර සතුන්ට මෙම ස්ථානයේ ආරක්ෂාව සැලසීම, වන වැස්ම වර්ධනය වූ ගෙවතු පරිසර පද්ධතිය වැසි දිය පහර වලින් සිදුවන පාංශු ඛාදනයෙන් සහ දැඩි හිරු රශ්මියෙන් හායනය නොවන පරිදි පවත්වාගැනීම ආදී බහුවිධ ආරක්ෂණ කාර්යයන් පසුගිය වසර ගණනාව පුරා ක්‍රමානුකූලව අඛණ්ඩව සිදු කරන ලද අතර විශේෂයෙන්ම මෙහි සිටින සතුන්ට කිසි සේත්ම බාධා වෙන අයුරින් කටයුතු නොකිරීම තම කාර්යය වූ බව සමීර සුරංජන් අප හා පැවැසීය.
ඒ අනුව නාවලපිටිය, රඹුක්පිටිය, දංගොල්ල ප්‍රදේශයේ ග්‍රාමීය නිවාස ආශ්‍රිත ගෙවතුවල පවතින අතිශය පොහොසත් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ස්වාභාවික ප්‍රචාරණ ක්‍රමවේද අනුව වසර 2011 සිට විවිධ තුරු වදුලින් ගහන වෙන්නට ඉඩ සලසන ලද මෙම ගෙවතු භූමිය ආශ්‍රිතව මේ වෙනවිට ජෛව විවිධත්වයෙන් පිරිපුන් සශ්‍රීක පරිසර පද්ධතියක් නිර්මාණය වී පවතී.
වසර ගණනාවක් පුරා සිදුකළ ගවේෂණ අනුව මෙම ගෙවතු භූමිය ආශ්‍රයෙන් හමුවී ඇති සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් අතරින් සත්ත්ව විශේෂ අතළොස්සක ඡායාරූප පෙළක් පෝස්ටරයක් මඟින් ප්‍රදර්ශනය කර ඇත.
දිගුකාලීන සමීක්ෂණ අනුව පෙරදී ගෙවත්තෙහි හමු නොවූ උභයජීවීන්ද ඇතුළත්ව මේ වන විට උභයජීවී විශේෂ 24ක්, සර්ප විශේෂ 25ක්, කටුසු විශේෂ 5ක්, හූනන් විශේෂ 5ක්, සිකනල් විශේෂ 6ක් සහ ඉබ්බන් 1 විශේෂයක් මේ වෙන විට මෙම කුඩා ගෙවත්තෙන් හමුවී හඳුනාගෙන ඇත. ඊට අමතරව සමනළ විශේෂ 41ක්, බත්කූරන් විශේෂ 28ක්, ක්ෂීරපායී විශේෂ 18ක් සහ ගෙවත්තේ උතුරු මායිමෙන් ගලා බසින හිද්දගල් ඔයෙහි මත්ස්‍ය විශේෂ 15ක් ද දැනට හඳුනාගෙන ඇත. පක්ෂීන්, ගොළුබෙල්ලන්, සලබයන්, මකුළුවන්, මිරිදිය කකුළුවන් සහ ගෝනුස්සන්, පත්තෑයන්, කුරුමිණියන් ආදී වෙනත් කෘමි විශේෂ පිළිබඳව සම්පූර්ණ සංගණනයක් සිදුකර නැත.
මෙම ආදර්ශවත් ගෙවත්තෙන් හමුවී හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂවලින් හතරෙන් තුනකටත් වඩා විශේෂ ප්‍රමාණයක් මෙරටට සහ මෙරට තෙත් කලාපයටම පමණක් ආවේණික වූ ජීවීන්ය. ඒ අතරට වඳවීයාමේ අන්තරායක සහ දැඩි අන්තරායක තත්ත්වයේ පසුවෙන ජීවී විශේෂ ලෙස ජාතික රතු දත්ත නාමාවලියේ ලැයිස්තු ගත කර ඇති සතුන් සැලකිය යුතු ප්‍රමාණයක්ද අන්තර්ගතය. ඇතැම් විශේෂ මෙම භූමියෙන් පමණක් හමුවී ඇත්තේ වරක් දෙවරක් පමණි. විසිතුරු රතු ගෙම්බා සහ බඩ සුදු මොට හොඹු මැඩියා එයට උදාහරණ වෙන අතර එම විශේෂ දෙක මෙම ප්‍රදේශයේ වෙනත් ස්ථානවලදී ද හමුවී නැත.
නමුත් සුවිශේෂ කාරණය වෙන්නේ සංකීර්ණ ජීවන රටා සහිත මෙම සියලු ජීවීන් වසරේ සෑම කාලයකදීම මෙහිදී දැක ගැනීමට නොහැකි වීමයි. ඇතැම් සතුන් දේශගුණික වෙනස්කම් සහ සංචාරක චර්යා හේතුවෙන් වසරේ ඇතැම් කාලවලදී පමණක් දක්නට ලැබෙන අතර තවත් පිරිසක් සුලභව ඕනෑම දිනක දැකගැනීමේ හැකියාව ඇති, මෙහි ස්ථිර නවාතැන්කරුවෝ වෙති. ඇතැම් සත්ත්ව විශේෂ දැකිය හැකි වෙන්නේ වසර ගණනාවකට වතාවක් පමණි.
මෙම අද්විතීය පාරිසරික වටිනාකමක් එකතු කරන්නට හැකියාව ලබුණු ගෙවතු භූමියෙහි උභයජීවීන් හා උරගයන්ගේ විශේෂ විවිධත්වය ඉතා ඉහළ අගයක් ගනී. වැඩි සතුන් ප්‍රමාණයක් දැකබලා ගැනීමටත් ඔවුන්ගේ ස්වාභාවික ක්‍රියාශීලී චර්යා නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූපගත, වීඩියෝගත කිරීමටත් රාත්‍රී කාලය තරම් ඔබින දිනයේ වෙලාවක් තවත් නැත. දිවා කාලයේදී දිවාචර සතුන් වර්ග කිහිපයක් දැකගත හැකි වෙන නමුත් මෙම පර්චස් 22ක පමණ කුඩා ගෙවතු භූමියෙහි රාත්‍රී කාලයේදී දැකගැනීමට හැකිවෙන සත්ත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. පරිසර විද්‍යාත්මක, චර්යාවිද්‍යාත්මක පර්‌යේෂණ කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් ද මෙම ස්ථානයේ පවතින අතර වනජීවී ක්ෂුද්‍ර ඡායාරූපකරණ ශිල්පීන්ට අවකාශද පවතී. මෙම ස්ථානය මුලදී සාමාන්‍ය ග්‍රාමීය ගෙවත්තක් ලෙස තිබී පසුව වන සතුන් සංරක්ෂණය වෙනුවෙන් වෙන් කර නිමවන ලද පෞද්ගලික දේපළක් වන බැවින් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයකින් ආදායම් උපයන ස්ථානයක් නොවේ. ග්‍රාමීයව වෙසෙන අනතුරට පත්වෙන සහ පැවැත්ම අවදානමට ලක්වී ඇති, විශේෂයෙන්ම කුඩා සත්ත්ව විශේෂවල ආරක්ෂාව සඳහා සද්භාවයෙන් වනජීවී සංරක්ෂණය පිළිබඳ දැනුම ප්‍රායෝගිකව භාවිත කර ඉටු කළ උදාර සමාජමය වගකීමක් ලෙස මෙය හඳුන්වාදිය හැක. තවද මෙතැන ප්‍රදේශයේ අනතුරට පත්වූ වනජීවීන් දහස් ගණනක් සුව කිරීමටත් මුදාගැනීමටත් දුලබ සර්ප විශේෂ ආදී සතුන් බොහොමයකගේ පැටවුන් බිහි කර ඒ ඒ ජීවියාගේ ස්වාභාවික ව්‍යාප්ති ප්‍රදේශවලටම මුදාහැරීම් ගණනාවකට මූලික වූ අභය ස්ථානයක් බවටත් පත්ව තිබේ. ඇත්තෙන්ම මේ ඕනෑම කෙනෙකුට සිය පාසල් දරුවන් සමග පවුල් පිටින් පැමිණ නරඹා ආදර්ශයට ගත හැකි අපූරු සුන්දර සොබා උයනකි.
මේ සියල්ල සලකා බැලීමේදී ඔවුන්ගේ පර්‌යේෂණයෙන් ප්‍රකටවන ආදර්ශය වන්නේ සොබාවික පරිසරයට බාධා නොකර එය හා සමග සමගියෙන් ජීවත් වීමයි.
සුගත් පී. කුලතුංග ආරච්චි