අමාවකට තනි රකින සඳ එක්ක රාත්‍රියට ලස්සනම ගාලු කොටුව


දකුණු පළාතේ අග නගරය ලෙස සැලකෙන ගාලු නගරයේ විරාජමානව වැජඹෙන ගාලු කොටු පවුර දැවැන්ත නිර්මාණයකි. මෙය කෙතරම් විශාල දැයි කිවහොත් මෙහි ඇතුළත සම්පූර්ණ නගරයක්ම පිහිටා ඇත. මෙහි ආගමික ස්ථාන, පාසල්, වෙළෙඳසල්, ආපනශාලා, අධිකරණ, කෞතුකාගාර ආදී පුළුල් පරාසයක පැතිරිණු සේවා ස්ථාන හා විවිධාකාර ගොඩනැගිලි පිහිටා ඇති අතර මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වීම හේතුවෙන් මෙහි පැරණි ගොඩනැගිලි හා උරුමයන් ඒ ආකාරයෙන්ම හෝ එහි උරුමයට බාධා නොවන ලෙස වැඩිදියුණු කර ඇත. ලෝක උරුම ගාල්ල කොටුව අක්කර 84 ක වපසරියක් සහිත භූමියකි.

එකී අක්කර 84 වටා යුධ අට්ටාල 14 කින් යුතු කොටු බැම්මක් ඉදි වී ඇති අතර, කිලෝමීටර 2.5 ක් දිගින් එම කොටු බැම්ම සමන්විත වන අතර‌, ගාලු කොටුව ඇතුළත ජාලාකාර රටාවකට නිර්මාණය වූ වීදි පද්ධතියක් ඇති අතර, ආසන්න වශයෙන් එකී වීදිවල සමස්ත දිග කිලෝමීටර 15 ක් පමණ වෙයි. රැජින වීදිය, ලේන්බාන් වීදිය, පල්ලිය වීදිය, රෑම්පාට් වීදිය, ප්‍රදීපාගාර වීදිය, පෙඩ්ලර් වීදිය, පරවා වීදිය, චැන්ඩෝ වීදිය, සුධර්මාලය වීදිය, මැද වීදිය, නව පටු මග එක/දෙක, කුඩා මෝදර බායි වීදිය, සුධර්මාලය වීදිය, සහ වෙනත් ඇලී වීදි සහිතව ගාලු කොටුවේ නගරය නිර්මාණය වී ඇත. මෙම සියලුම වීදි පිහිටා ඇත්තේ ජාලාකාරව නිසා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කෙටි මාර්ග භාවිත කරමින් පා ගමනින් තමන්ගේ ගමනාන්තයන්ට ළඟාවිය හැකි වීම මෙම පෞරාණික නගර නිර්මාණ සැලසුමේ විශේෂ ලක්ෂණයකි.

පෘතුගීසින් විසින් ඉදිකරනු ලබන බලකොටුවක් වන ගාලු කොටුවේ පැරණි දොරටුව ඉදිකර ඇත්තේ, පෙරදිග ඉන්දීය ලන්දේසි වෙළඳ සමාගම විසින් ස්වකීය ගබඩා ගොඩනැගිල්ල හරහාය. ඒ වර්ෂ 1669 දීය. 19 වන සියවසේ මුල් අවදියේ මෙම දොරටුව ප්‍රසාරණය කොට බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සංවර්ධනය කර ඇති මෙය වසර  400 ක අතීතයකට හිමිකම් කියනු ඇත. 

මෙහි විශේෂත්වය වන්නේ මෙය වෙනත් ප්‍රදේශවල ආරුක්කු මෙන් ගලින් තැනූ ආරුක්කුවක් නොවීමයි. මෙම දොරටුව සකස් කර ඇත්තේ ලංකාවේ පැරණිම දිගම ගොඩනැගිල්ල වන පෙරදිග ඉන්දීය ලන්දේසි සමාගමේ  ගබඩා ගොඩනැගිල්ල හරහාය. කොටුවට ඇතුළුවන දොරටුවට ඉහළින් දක්නට ලැබෙන්නේ බාල්ක සහිත දැව සොල්දරයකි.

එම සොල්දරය සහිත ගොඩනැගිල්ල වර්තමානයේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් භාවිත කරයි. වර්තමානයේ ගාලු කොටුවට ඇතුළුවීම සඳහා භාවිත කරන පැරණි දොරටුවේ දෙපස බ්‍රිතාන්‍ය ලාංඡනයත් පෙරදිග ඉන්දීය ලන්දේසි වෙෙළඳ සමාගමේ ලාංඡනයත් ඉදිකර ඇති අතර, පෙරදිග ඉන්දීය ලන්දේසි වෙෙළඳ සමාගමේ ලාංඡනය ගලින් සකස් කර ඇති අතර බ්‍රිතාන්‍ය ලාංඡනය සකස් කර ඇත්තේ හුණු බදාම වලිනි.

ගාලු කොටුව පිහිටා ඇත්තේ තුඩුවකයි. එම හේතුව නිසා එය භූගෝලීය ලෙස හා මිලිටරිමය වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන අතර, ගොඩබිමින් එක් පසෙකින් පමණක් සම්බන්ධ වී ඇති මෙහි පිහිටීම ආරක්ෂක මර්මස්ථානයක් ලෙස ඉතා වැදගත් වන්නට ඇත.
සමහර මූලාශ්‍රවල ලොරෙන්සෝ ද අල්මේදා කොළඹ වරායට පැමිණුන බව සැලකෙන අතර, සමහර මූලාශ්‍රවල එය ගාලු වරාය ලෙස සඳහන් වේ. ගාලු කොටුවේ ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව බළකොටුවේ බිත්ති කිලෝමීටර ගණනාවක් පුරා විහිදෙන අතර, ඇතැම් වීදි යටත් විජිත නම් වලින්ම හැඳින්වේ. මෙහි ගොඩනැගිලි අතර ලන්දේසි හා ඉංග්‍රීසි ලක්ෂණ දැකිය හැකි ය. ගාලු කොටුවේ ගිනිකොන දිග සීමාවේ පිහිටා ඇති පහන් ටැඹ සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානය වේ.

එමෙන්ම ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආසන්නයේම පිහිටා ඇති ඔරලෝසු කණුව 1822 ගණන්වල නිමවා ඇත්තකි.

ගාලු කොටුව ඉරු බැස යන දර්ශනය නැරඹීමට සුන්දර ස්ථානයක් වන අතර ඒ වෙනුවෙන් සැන්දෑ කාලයේදී පැමිණෙන සංචාරකයන් සිය ගණනින් දැකිය හැකිය. 

ගාලු කොටුවේ පැරණි වීදි වල ඇති අවන්හල් වල ආහාර රස විඳීමටද බොහෝ සංචාරකයන් ප්‍රිය කරන අතර,  ගාලු කොටුවේ පැරණි වීදි වල ආපන ශාලා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර, එය සංචාරකයන්ගේ ආකර්ෂණයට යොමු වී ඇත. 

රාත්‍රියට ගාලු කොටුවේ වීදි වෙනම සුරපුරයකි. සවස 6 න් පසුව එන ඕනෑම කෙනෙකුට හිත ගත නිවන ස්ථාන බොහෝය. ගාලු කොටුව ඓතිහාසික සිහිවටනයක්  වුවත්, මේ මොහොත දහස් ගණනක් දෙනා ජීවත් වන සජීවී මුහුදුබඩ නගරක් ලෙස හැඳින්විය හැකිය. මෙහි සුන්දරත්වය හා විවිධත්වය රස විඳින ගමන් එහි අතීත උරුමය රැකගැනීම අපගේ වගකීමකි. ශිෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇති ලෝකයේම අවධානය දිනාගත් සහ රටේ අභිමානයක් වන ගාලු කොටුව එක් පැත්තකින් නිමක් නැති සාගරය සමග ගාල්ල ලන්දේසි කොටුව අඳුරු, ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. 

ඡායාරූප:
සංජය ගිම්හාන, උපුල් නෙළුම්දෙණිය