අම්මා නැතිව ජීවත් වෙන විදිහක් මම දන්නේ නෑ ලොකු දුවේ


අම්මාගේත් දිනක් වයසැති නැගණියගේත් සත් දවසේ දානය දුන්නේ අදය. ඊයේ රැයේ බණට වැඩි හාමුදුරුවන් ජීවිතයේ අනියත බව ගැන සරල බසින් දේශනා කළේ වී නමුදු දිනේෂිගේ ශෝකබරිත සිතේ ඒ එකදු බණ පදයක්වත් රැඳුණේ නැත. ඇය දිගින්දිගටම හූල්ලමින් කල්පනා කළේ අම්මා නැති ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳවය.   

අවමඟු‍ලක් අවසන් වී, නිවසට පැමිණි අවසන් අමුත්තාත් නික්ම ගියාට පසුව පරිසරය පුරා පැතිරෙන්නේ දරා ගන්නට නොහැකි හුදෙකලාවකි. එහෙත් දෙනෝදාහක් සෙනඟ ගැවසෙමින් සිටිද්දීත් ඒ හුදෙකලාව ඇයට දැනෙමින් තිබිණි. නෑදෑයන් අනුකම්පාව දැක්වූයේ මූනිච්චාවටය. වෙනම එකතු වූ කල ඔවුහු දිනේෂිගේ අපලයෙන් සිදු වූ අගතිය පිළිබඳව පමණක් නොව ඉදිරියේදී ඇයට මුහුණ දෙන්නට සිදු ​ෙවන දුක්ගැහැට පිළිබඳවත් අතිශයෝක්තියෙන් කතා කළහ. අහම්බෙන් ඒවා සවන් වැකුණ විට හෝ මින් පසු නංගිටත් මල්ලිලාටත් අම්මා විය යුත්තේ ඇය බැව් කිසිවෙකු කියන අවස්ථාවලදී ඇගේ සිත තුළ වූ ගැඹුරු තුවාලය පෑරිණි.   


කෑ ගසා හැඬිය යුතු වුවත් දිනේෂි සිටියේ හැඬුම ආයාසයෙන් මැඩගෙනය. අම්මාගේ ආත්මයට යහපතක් උදා නොවනු ඇතැයි බිය නිසාත්, නංගි හා මල්ලිලා සනසා ගත යුතු නිසාත්, තාත්තාගේ ඉල්ලීම නිසාත් හිත තද කර ගන්නට උත්සාහ කළ බැවින් ඇගේ උගුර යකඩ ගුලියක් හිර වූ කලෙක මෙන් රිදුම් දෙමින් තිබිණි. පපුව නිරන්තරයෙන්ම දැවුණේය. එහෙත් අම්මාගේ දේහය නිවසින් පිටතට ගෙන යන මොහොතේ ඇයගේ වේදනාව ඉවුරු කඩාගෙන ගලන ගඟක් මෙන් පිටතට ගලා ආවේය. ඇය විලාප දෙමින් හඬා වැටුණේ රැස්ව සිටි සියලු‍ම දෙනාත් හඬවමිනි. සෙවනැල්ල මෙන් අසළම ගැවසුණ රේණුකා සිහිසුන්ව ඇද වැටුණ ඇය වහා වත්තම් කර ගත්තාය.   


සිතේ කැළඹිලි ස්වභාවය ඔසප් චක්‍රයටත් බල පාන බැව් අලු‍ත මල්වර යුවතිය දැන සිටියේ නැත. එහෙත් රේණුකා දැන සිටියාය. අධික රුධිර වහනය ගැන ඇය මැසිවිලි කියද්දී වරින්වර ඇඳුම් මාරු කරන්නට රේණුකා ඇය පෙළඹවූවාය. වේදනානාශක පෙතිවලට වඩා ඇය විශ්වාසය තැබුවේ සූදුරු කබලේ බැද කොටා, කෝපි මෙන් සාදන දියරය කෙරෙහිය. යුවතියගේ බඩේ අමාරු, කොන්දේ අමාරු අඩු වෙන්නට ඇය මේ දියරය බලෙන්ම පෙව්වාය. එහෙත් හරිහමන් කෑමක්බීමක් නොමැතිව දුර්වලව සිටි යුවතිය සිහිසුන්ව ඇද වැටුණාට පසුව ඇය සිහි ගන්වා ගැනීම පහසු නොවිණි. අම්මාගේ වළට පස් මිටක් දැමීමට සොහොන් බිමට යන්නටවත් ඇයට වරම් නොලැබුණේ එහෙයිනි.   


“පුතේ.. අපි දැන් ගෙදර යන්න ඕනැ.. හරක් ටික බාර දීලා ආවේ පේමසිරි මාමටනෙ.. ඔය යකා හරියට කන්නවත් දුන්න ද දන්නෙ නෑ.. මේ ටිකේම ගේත් වහලා දාලනෙ..”   
ආච්චි දිනේෂි ගේ හිස පිරිමදිමින් කීවේ සවසය. ඒ වන විට දානය වෙනුවෙන් පැමිණි සියල්ලන්ම නික්ම ගොස් තිබිණි. ඉතිරි වී සිටියේ ආච්චිත්, නැන්දාත් පමණකි. ඔවුන් ද ගියාට පසු මේ පාළුව දරා ගන්නේ කෙසේදැයි ඇයට වටහා ගත නොහැකි වූයේය.   


“පොඩි නැන්දට ඉන්න බැරි ද..?”   
ඇය අසරණ හඬින් විමසුවේ ආච්චි තනියෙන් ගෙදර ඉන්නේ නැති බැව් දැනදැනමය. පසු ගිය දිනවල දිනේෂි නොවැටී සිටියේ නැන්දාගේ වාරුව නිසාය.   
“ආච්චි තනියෙමනෙ පුතේ.. අනිත් එක කෑම හැදිල්ලත් ආයෙ පටන් ගන්න එපායැ.. මම තව දවසකින් දෙකකින් එන්නම්කො..”   


නැන්දා කාරුණික හඬින් කී විට දිනේෂි හූල්ලමින් හිස සැලු‍වාය. කාටවත් තමා වෙනුවෙන් කැප වෙන්නට කාලයක් නැති බවත්, දැන් ඉතින් සියල්ල තනිව දරා ගන්නට හුරු විය යුතු බවත් ඇය වටහා ගනිමින් සිටියාය. මේ වගකීම් සියල්ලට තනිව උර දිය හැකි වෙනු ඇද්දැයි සැකය විසින් ඇය බියටත්, ශෝකයටත් පත් කරනු ලැබිණි.   


“ආච්චිටයි නැන්දටයි වැඩ තියෙනවනෙ පුතේ.. අපි පුළුපුළුවන් විදියට හැම දේම කර ගනිමු.. දැන් අපි තනියෙන් ජීවත් වෙන්න හුරු වෙන්න ඕනැනෙ..”   
තාත්තා කීවේ ඇගේ සිතුවිලි හැඳින ගත් කලෙක මෙනි. මේ දවස් කිහිපයට ඔහු බොහෝ සෙයින් වයසට ගොස් ඇත්තේ නොවේදැයි ඇය කල්පනා කළාය. අම්මා රැගෙන ගියේ නංගී පමණක් නොව, ඔවුන්ගේ සතුට, සැනසුම, සැහැල්ලු‍ව සියල්ලමය. මෙතෙක් කල් ඔවුන් වෙනුවෙන් සියලු‍ තීරණ ගනු ලැබුවේ අම්මාය. ඔවුන් කන්නට කැමති කෑම වර්ග, ඇඳිය යුතු ඇඳුම, යා යුතු නොයා යුතු ගමන්බිමන් සියල්ල ඇය දැන සිටියාය. අම්මා ගේ භූමිකාව රඟ පාන්නට නම් දිනේෂි ද ඒ සියල්ල ඉගෙන ගත යුතු වූයේය. එහෙත් එය පහසු කටයුත්තක් නොවන බැව් ඇය වටහා ගනිමින් සිටියාය.   


දානයෙන් ඉතිරි වුණ ව්‍යංජන තිබූ නිසා දිනේෂි රාත්‍රි ආහාරය සඳහා ඉව්වේ බත් ටිකක් පමණකි. පොඩි මල්ලීත් නංගීත් ඇය අතින් කවා ගත්හ. එහෙත් ලොකු මල්ලීටත්, තාත්තාටත් කෑමේ වුවමනාවක් නොවිණි. දිනේෂි තුළ ද කෑම රුචියක් තිබුණේ නැත. මල්ලිලා දෙදෙනා නින්දට ගියාට පසුව සිය ඇඳේ නංගී නිදි කරවූ ඇය ඉස්තෝප්පුවට ගියේ තාත්තා තවමත් ගෙතුළට නොආ බැවිනි. එහි සියලු‍ම විදුලි පහන් දල්වා තිබුණත් පරිසරයේ කිසිදු එළියක් නැතැයි ඇයට දැනෙන්නට වූයේය. සැබැවින්ම නිවස ආලෝකමත් වූයේ අම්මාගේ ආදරයෙන්ම පමණක් නොවේද..?   
“අම්මා නැතුව ජීවත් වෙන විදිහක් මම දන්නෙ නෑ ලොකු දුවේ..”

   
හාන්සි පුටුවේ දිගෑදී පපුව පිරිමැද ගනිමින් සිටි තාත්තා කෙඳිරියක හඬින් කීවේය. ඔහුගේ ඇස්වල පිරුණ කඳුළු විදුලි එළියට දිස් වුණේ දිය පිරි පොකුණු දෙකක් ලෙසිනි. ඇය තිගැස්සී ඔහු දෙස බැලු‍වාය. ඔහුට එවදන් ඉබේම කියැවෙන්නට ඇතැයි ඇයට සිතිණි. ඇගේ සිත දැවී අළු වී ගියේය. තාත්තා සිටීනම් ගෙදර විනෝද සාගරයක් වූ දවස් නැවත කවදාවත් නොඑළඹෙන බැව් සහතිකය.   
“තාත්තා ගිහින් නිදා ගන්නකො ටිකක්..”   
දිනේෂි අනුකම්පාවෙන් කීවත් ඔහු සිටි ඉරියව්ව වෙනස් කළේ නැත.   


සුසුමක් හෙළුෑ ඇය හෙමිහිට මිදුලට බැස ලී බංකුවට බර දුන්නාය. අවට පරිසරයේ පැතිර තිබුණේ අඳුර පමණක් නොව කෑලි කැපිය හැකි තරම් ඝනකමැති පාළුවකි. ඇති වී නැති වෙන දහසකුත් එකක් සිතුවිලි පාලනය කර ගන්නට දැඩි උත්සාහයක් දරමින් ඇය අඳුර අතරින් සේයාවක් මෙන් දිස් වෙන පිච්ච පඳුර දෙස බලා සිටියාය. පසු ගිය දින කිහිපයේ බොහෝ දෙනෙකුගේ පාවලින් මැඩුණු මිදුලේ මල් පාත්ති විනාශ වී ගොස් තිබිණි. නිරුපද්‍රිතව තිබුණේ පිච්ච වැල පමණකි. අම්මා විසින් සිටුවන ලද එය මල් පුරවාගෙන සිටියේ ඇගේ සුන්දර ජීවී සිනාව සිහිපත් කරවමිනි. බැලු‍බැලූ අත ඇත්තේ අම්මාගේ සිහිවටනය. හමන සුළඟේ පවා ඇදී ආවේ පිච්ච මල් සුවඳ නොව අම්මාටම ආවේණික සුවඳය. දිනේෂි ආසාවෙන් ඒ සුවඳ ආඝ්‍රාණය කළාය.   
“ලොකු දුවේ..” යනුවෙන් අම්මා ආදරණීය හඬින් අමතනු දිනේෂිට ඇසුණේ ඒ සමඟමය.   


ඇය නෙතුපිය නොසලා පිච්ච වැල දෙසම බලා සිටියාය. හිටිහැටියේම එය සෙලවී ඉහළට ගොස් ඉන් ගැහැනියකගේ හැඩයක් නිර්මාණය වෙන්නට විය. දෙවියනේ.. ඒ අම්මා නොවේද..? ඔව්.. ඇයට වැරදීමක් වී නැත. සුදු සාරියකින් සැරසී අඳුර මැද ඒ සිටගෙන සිටියේ අම්මාමය.   
“අම්මා...” ගිරිය යටින් කෑ ගසාගෙන දිනේෂි එදෙසට දිව ගියාය.   


෴ ලබන සතියට ෴