අම්මලාගේ දුක් ගන්නා රොබෝ අම්මෙක්


මෙවැනි දේ කලින් අසන්න, කියවන්න ලැබුණේ විද්‍යා ප්‍රබන්ධ කතාවලිනි. දකින්න ලැබුණේ චිත්‍රපටවලිනි.

ඒත් මෙය දැන් ජීවමාන, සජීවී - එහෙත් සැබවින්ම සජීවී නොවන සැබෑවකි. 

චීන විද්‍යාඥයන් පිරිසක් නම මසක් ගැබක් දරා ගෙන සිටිමින් බිලිඳෙකු ජනිත කරන මව් රොබෝවරියක නිර්මාණය කර ඇත.  මේ රොබෝවරිය, එසේත් නැතිනම් රොබෝ අම්මා සතුව කෘත්‍රිම ගර්භාෂයක් ඇත. කලලය වර්ධනය වී, සැබෑ දරුවකු බිහි කිරීමේ හැකියාව මෙම රොබෝ අම්මාට ඇත.

අද රොබෝ තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටින්නේ චීනයයි. චීනය පසුගිය දා, කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු මානවරූපී (මනුෂ්‍යයන්ගේ මෙන් පෙනුමැති) රොබෝවරුන් සහභාගී කර ගනිමින්, රොබෝ ඔලිම්පික් උළෙලක් ද පැවැත්විණ.

මෙය රොබෝ තාක්ෂණය තවත් ඉදිරියට ගෙන යෑමක් බව, ගැබ් දරන රොබෝවරිය නිර්මාණයට දායක වී සිටින චීනයේ ගුවංඩොං පළාතේ පිහිටි ගුවංෂෝ කයිවා තාක්ෂණික සමාගම පවසයි. ගැබ් දරන රොබෝ සම්බන්ධ මෙම පුවත මේ වනවිට ලොව කාගේත් කතාබහට ලක් වී අවසන්ය. එය ආන්දෝලනයක් ද ඇති කර අවසන්ය. මෙම රොබෝවරිය නිර්මාණයේ දී ඊට නායකත්වය දී ඇත්තේ සිංගප්පූරුවේ නැන්යැන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ඩොෂැං කිෆෙන්ග් බව ද පැවසෙයි.

ප්‍රසූත වේදනාව දැරිය නොහැකි හෝ කිසියම් හෝ කායික අශනුක්තතා ඇති කාන්තාවකට මෙම රොබෝවරිය භාවිතයට ගනිමින් ඇගේ දරුවා ප්‍රසූත කළ හැක. නළ දරු ක්‍රමයේ දී සිදුවන ආකාරයට මෙහිදී ගැබ්ගැනීම සිදුවනු ඇතැයි අදාළ තාක්ෂණික සමාගම ඔවුන්ගේ මෙම නව රොබෝවරිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. රොබෝවරිය සම්බන්ධ පර් යේෂණ කටයුතු සියයට සියයක් සාර්ථක බවත්, ගැබිනි බව සම්පූර්ණයෙන්ම දායාදකිරීමට මෙම ගැබ් දරණ රොබෝවරියට හැකි වනු ඇති බවත්, එම සමාගම වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

කලලය රොබෝගේ ගර්භාෂයේ තැන්පත් කරන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාඥයන් මෙතෙක් නිශ්චිත ලෙස කිසිවක් පැහැදිලි කර නැත. කලලය කෘත්‍රිම රොබෝ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් අනතුරුව, ඊට අවශ්‍ය පෝෂණය නළ මාර්ගයෙන් බාහිරව ලබා දීම සිදුවෙයි. කලලය වර්ධනය වන ආකාරය නැරඹීමට මවට හෝ පියාට හැකියාව ලැබෙයි. තනි පියකුට හෝ තනි මවකට හෝ දරුවකු ලබාගැනීමට අවශ්‍ය නම් ඊට ද මෙම නව තාක්ෂණය භාවිතයට ගැනීමට හැකිය. මෙවැනි ගැබ් දරන රොබෝවකු ගේ මිල යුආන් 100,000 (ඇමරිකානු ඩොලර් 14,000ක්) පමණ වනු ඇති අතර, එළැඹෙන 2026 වසරේ සිට මෙවැනි රොබෝවරුන් වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි විද්‍යාඥ ඩොෂැං කිෆෙන්ග් පැහැදිලි කරයි. කෙසේ නමුත් මේ තාක්ෂණය සම්බන්ධයෙන් නීතිමය හා ආචාරධාර්මික ගැටලු‍ ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ලොකු කතාබහක් නිර්මාණය වී අවසන්ය.

දරුවකු මවකගේ ගර්භාෂයේ වැඩෙද්දී දරුවා සහ මව අතර ඇතිවන ඒ ආදරණීය සම්බන්ධය - රොබෝවකු ගෙන් ලැබෙන්නේ නැත. එවිට කෘත්‍රිමව උපදින දරුවා ගේ මානසික තත්ත්වය කුමන ආකාරයක් ගනීවි දැයි දන්නේ නැත. එමෙන්ම මේ අයුරින් රොබෝවකු යොදාගෙන දරුවකු බිහිකරගැනීම සම්බන්ධ සදාචාරාත්මක කරුණු දැඩි ලෙස සාකච්ඡාවට ලක් වෙමින් පවතී.

ඩොෂැං ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම ගුවංඩොං පළාත් අධිකාරීන් සමග එක්ව, මෙම නව තාක්ෂණය පිළිබඳ නීතිමය හා ආචාරධාර්මික ගැටලු‍ විසඳාගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව ද පැවැසෙයි.‍

මෙම තාක්ෂණයේ ඇති අපූර්වත්වය වන්නේ ප්‍රජනන විද්‍යාවේ ආශ්චර්ය කෘත්‍රිමව ලබා දීමය. ලෝකයේ අඹු සැමියන් අතරින් සියයට 15 කට පමණ මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු‍ වලට මෙම තාක්ෂණය පිළියමක් වනු ඇතැයි පැවසෙයි. මෙම නවෝත්පාදනයට පදනම් කර ගෙන ඇත්තේ 2017 දී සිදු කළ බයෝබෑග් (ජීව බෑගය) පර් යේෂණයයි. එහිදී කෘත්‍රිම ජල බහාලු‍වක් තුළ (විශේෂිත ප්ලාස්ටික් බෑගයක්) අර්ධ ගර්භණී ක්‍රමයට සත්ත්ව කලලයක් වර්ධනය කිරීමට විද්‍යාඥයෝ සමත් වූහ.

බයෝබෑග් (ජීව බෑගය) පර් යේෂණයේ දී කලලයට වැඩීමට අවශ්‍ය සියලු‍ දේ - එනම් පෝෂ්‍යදායී රුධිර සැපයුමක් සහ ඇම්නියොටික් තරලයෙන් පිරුණු ආරක්ෂක ආවරණයක් ලබා දීම කෘත්‍රිමව සිදුවිය. බෑගය තුළ දින 28ක් සිටි බැටලු‍ පැටවකු සාර්ථක ලෙස වැඩීමට සැලැස්විණි. මෙම බැටලු‍ පැටවා ගේ බර වැඩි විය. ලොම් වර්ධනය විය. විද්‍යාඥයන් මෙම බයෝබෑග් ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කළේ ද නොමේරූ කලලවලට කෘත්‍රිමව මවගේ ගර්භාෂයට සමාන පරිසරයක් තුළ වැඩීමට ඉඩ සලසන ඉන්කියුබේටරයක් ලෙස ක්‍රියා කළ හැකි අයුරිනි. 

කෘත්‍රිම ගර්භාෂ අදහස කරළියට පැමිණියේ අද ඊයේ තාක්ෂණ දියුණුවත් සමග නොවෙයි. 1970 දශකයේ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ විය. කාන්තා ක්‍රියාකාරිනී ඇන්ඩ්‍රියා ඩ්වෝර්කින් වැන්නන් කෘත්‍රිම ගර්භාෂ භාවිතයට දැඩි ලෙස විරුද්ධව අදහස් පළ කරන තැනැත්තියකි. ඇන්ඩ්‍රියා ඩ්වෝර්කින් ඇතුළු ක්‍රියාකාරීන් ගේ අදහස මෙම තාක්ෂණය මිහි මත කාන්තාවන් ගේ අවසානයට හේතුවක් වනු ඇති බවය.

2022 දී ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ පර් යේෂකයන් කණ්ඩායමක් කෘත්‍රිම ගර්භාෂ පිළිබඳ සදාචාරාත්මක කරුණු සම්බන්ධයෙන් ලිපියක් ප්‍රකාශයට පත් කළේය. එහිදී 

පර් යේෂකයන් පැහැදිලි කළේ මෙම තාක්ෂණය ගැබ් ගැනීමේ වටිනාකම නැති කිරීමට හේතුවක් වනු ඇති බවය. කෙසේ නමුත් සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ - වයස අවුරුදු 18-24 අතර පුද්ගලයන්ගෙන් සියයට 42 ක් කාන්තාවක ගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම පිටත කලලයක් වර්ධනය වනු දැකීමේ නව තාක්ෂණයට සහය දක්වන බවය.
ලු‍සිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි