අපි ගෙදර යං මට අම්මයි ... තාත්තයි ... නංගියි ... මල්ලියි එක්ක ඉන්න ඕනෑ ...


 

මල්වර යුවතිය නෑවීම සඳහා නැවුම් කළයකට වතුර පුරවා එයට එක් කළ යුතු ඖෂධ වර්ග රැසක් නැකැත් ඇදුරා විසින් සඳහන් කරනු ලැබ තිබිණි. හීන් නෝනා නැකැත් බලාගෙන ආපසු එද්දීම නැවුම් කළයක් නම් රැගෙන ආවාය. එහෙත් ඖෂධ සොයා ගැනීමට ඉස්පාසුවක් හෝ උනන්දුවක් ඇයට තිබුණේ නැත. ඇය සිටියේ එහෙම පිටින්ම විස්සෝපයෙනි. දරුවන් සිව් දෙනකුත් සමඟ සිය පුතු ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේදැයි කල්පනා කරන හැම වරකම ඇගේ සිරුර දැවී පිළිස්සී ගියේය. සිය දියණිය ද කැටුව අමනාපයෙන් නිවසින් පිට වී ගිය විනීතා නැවත ආවේ නැත. ඇය ආවේ නම් සිය සිතේ බර අඩු වෙන තුරු කතාබහ කිරීමටවත් හැකියාව තිබිණි. එහෙත් රේණුකාගේ විරෝධය නිසා නැවත විනීතා කැඳවන්නට හීන් නෝනා මැලි වූවාය. තේ බොන්නට ඇය කළ ඇරයුම පිළි නොගෙන අනෙක් ගැහැනුන් ද පිටව ගියේ ඕපාදූපය ගම පුරා බෙදා හරින්නට ඇති කලබලයට ද, ඔවුන් රැඳී සිටිනවාට තමා තුළ ඇති අකැමැත්ත ඉව වැටුණ නිසාදැයි ඇය දැන සිටියේ නැත.   

 

“පව් කෙල්ල...”   


ක්ලාන්තව ඇද වැටුණ දිනේෂි සිහි ගන්වා වදෙන්පොරෙන් තේ කෝප්පයක් ද පොවා ඇය නිදි කරවීමෙන් පසුව රේණුකා අම්මා වෙතට ආවේ එසේ කියමිනි. කම්මුලේ අත තබාගෙන, දොම්නස් වතින් යුතුව කල්පනා කරමින් පුටුවක ගුලි වී සිටි හීන් නෝනා හීල්ලු‍වා පමණකි. මින් ඉදිරියට අයියාගේ නිවසේ මෙන්ම සිය නිවසේත් හීල්ලු‍ම්, කඳුළු මිස සතුට සැනසුම නම් අත්විඳින්නට නොහැකි වෙනවා ඇතැයි රේණුකා සිතුවාය.   
“අම්මා මැරුණෙ එයාගෙ කොටහළු නැකැතේ වැරැද්දෙන් කියලා එක එකා කියනවා ඇහෙනකොට කෙල්ලට වාවා ගන්න බැරි වෙයි. ෂිහ්... අපිට ඕක රහසක් විදියට තියා ගන්න බැරි වුණානෙ.. දැන් ඉතින් ඕක මේ ගමේ විතරක් නෙමෙයි අහළ ගං හතටම තටු ගහලා ඉගිලිලා ගිහින් ඇති.. දන්නවනෙ ගෑනුන්ගෙ කටවල්...”   
ඇය කීවේ නොසතුටිනි.   


අම්මාට එල්ල කළ චෝදනාවක් ද ඇගේ එවදන් තුළ තිබිණි. ඒත් හීන් නෝනා කතා කළේවත්, සිටි ඉරියව්ව මඳකිනුදු වෙනස් කළේවත් නැත. දොඩමලු‍ කාන්තාවක වන ඇය මෙලෙස නිහඬව සිටින්නේ දැඩි කම්පනය නිසා බැව් දැන සිටි නිසා රේණුකා තවදුරටත් එතැන නොරැඳී නික්ම ගියාය.   


සමන්පිච්ච වැලෙන් මල් ටිකක් කඩා ගන්නට ඇයට පරිසරයේ පැතිර තිබූ අඳුර බාධාවක් නොවිණි. ඊළඟට ගෙට පැමිණි ඇය බෙහෙත් පෙට්ටියේ වූ සුදු හඳුන් කැබැල්ලෙන් පුංචි තීරු කිහිපයක් කපා ගත්තාය. ඒවා ද, සමන්පිච්ච මල් ද, අමු කහ කැබැල්ලක් ද නැවුම් කළයට දමා එයට දිය පුරවා වසා තැබුවේ දිනේෂි පිළිබඳ උපන් අනුකම්පාව පෙරදැරි කරගෙනය. එකම පවුලේ ගැහැනුන් දෙදෙනකුගේ මංගල අවස්ථාවක් මෙන්ම අවමංගල අවස්ථාවක් ද එකට යෙදීම මොන තරම් අවාසනාවක්දැයි ඇය සිතමින් සිටියාය. පසු දින උදේ දිය නෑමෙන් අනතුරුව දිනේෂිට ඇඳීම සඳහා කළු පැහැති සායකුත්, සුදු පැහැති බ්ලවුසයකුත් පසෙකට කර තබද්දී ඒ හැඟීම් තීව්‍රව දැනී ඇගේ ළය ඇවිළෙන්නට වූයේය. 

 
“අඳින්න කියලා තිබ්බෙ රත්තරන් පාට. අඳින්න වුණේ සුදු. උඹ විතරක් නෙමෙයි අපිත් හරි අවාසනාවන්ත ගෑනු පුතේ..”   


රේණුකා ශෝකයෙන් මිමිණුවේ හීනෙන් පවා සුසුම්ලමින් නින්දේ පසු වූ දිනේෂිගේ මුහුණ දෙස බලාගෙනය.   
ඇය වෙනුවෙන් කිරිබත් ඉදුණේ නැත. කැවිලි සෑදුණේ නැත. අලු‍ත් ඇඳුම් මැසුනේ නැත. කෙරුණේ නැවුම් කළයෙන් ඉස දිය වැක්කිරීමේ චාරිත්‍රය පමණකි. අසුබ සිහිනම දකිමින්, වරින්වර තිගැස්සී අවදි වෙමින් විඩාබරව සිටි දිනේෂි රේණුකාගේ ඇමතුමට ඇඳෙන් නැගිට්ටේ හඬමිනි. අම්මා සිහිපත් වෙන වාරයක් පාසා තමාගේ ඇතුළාන්තයම දිය වී වැගිරෙන්නාක් මෙන් ඇයට දැනිණි. හිමිදිරියේ ලා අඳුර මැදින් ඇය ගෙයි පිටුපස කොස් ගස යටට කැඳවාගෙන යනු ලැබිණි.   


“වතුර වක්කරන්න ඕනැ අම්මා නැත්තං නැන්දා. ඒත් ඉතින් දරුවො වදපු නැති නැන්දෙකුට ඒක බාර දෙන්න පුළුවනෑ...”   


රේණුකා දුන් නැවුම් දිය කළය අතට ගනිමින් හීන් නෝනා කීවාය.   


“හරි හරි... එව්වයෙන් වැඩක් නෑනෙ. ඔන්න ඔය කරන්න තියෙන දේ කරන්නකො. මම වෙලාව කියන්නම්.”   
නොපහන් හඬින් කී රේණුකා අත් ඔරලෝසුවට විදුලි පන්දම යොමු කළාය. නැකතට වතුර කළය හිසට වැටෙද්දී දිනේෂිට සීතලක් හෝ වෙන කිසිම හැඟීමක් දැනුණේ නැත. ඇය කළේ දිගටම හැඬීම පමණකි. හීන් නෝනා හිස් කළය ඇගේ හිස වට තුන් වරක් කරකවා පොළවේ ගැසුවාය. බොල් හඬක් නඟාගෙන එය කුඩුපට්ටම් වූයේය. බේසමට පුරවා තිබූ වතුරින් නාගෙන ඇඳුම් මාරු කරන්නට යුවතියට උදව් කළේ රේණුකා ය.   


“ආ... කොස් ගහට හයියෙන් කොටපන්.”   


හීන් නෝනා ඇගේ අතට මන්නය දුන්නාය. ඒත් හැඬුවා විනා දිනේෂි එය අතට ගත්තේවත් නැත. හීන් නෝනා බල කළේත් නැත. මල්වර යුවතිය දිය නෑමෙන් අනතුරුව කිරි ගහකට කොටන්නේ සුබ දසුනක් දකින්නටය. එහෙත් තව ටික වේලාවකින් ඇයට දකින්නට ලැබෙන්නේ දියණියකට මේ ලෝකයේ දකින්නට ලැබෙන අසුබම දසුනය. මේ මොහොතේ සුබ දසුනක් දුටු පමණින් කිසිවක් වෙනස් වන්නේ නැත.   


රේණුකා ඇය වත්තම් කරගෙන ගෙතුළට ගෙන ගියාය. කිසිවකු නිවසේ නොසිටි බැවින් චාරිත්‍රයට අනුව සුදු රෙද්දකින් හිස ආවරණය කරන්නට වුවමනා නොවිණි. දොරකඩම බුලත් කොළ මත තැබූ පොල් ගෙඩිය බිඳීම, කැවුම්, කිරිබත්, සහල්, පොල් මලක් ආදිය සහිත කුල්ල වටා පැදකුණු කර පහන් නිවීම, අම්මා තාත්තාගෙන් ස්වර්ණාභරණ තිළිණ ලැබීම වැනි චාරිත්‍ර ඇති බව හෝ තමා ඒවා කරන්නට බොහෝ ආශාවෙන් බලා සිටි බව එමොහොතේ දිනේෂිට සිහිපත් වූයේවත් නැත. ඇය හිසේ සිට දෙපතුල දක්වාම වෙව්ලමින් සිටියේ සීතල නිසා නොවේ. ඊළඟට මුහුණ දෙන්නට ඇති ශෝචනීය අවස්ථාව සිහිපත් වීම නිසාය. 

 
“අම්මා... අපි දැම්මම යනවද?” රේණුකා විමසුවාය.   


“ඔව්. එළිය වැටෙන්න ඉස්සර යා ගන්න එක හොඳයි. නැත්තං ගමේ උන් අහන එව්වට උත්තර දීලා ඉවරයක් නැති වෙයි. ඔහොම හිටිංකො මේකිට කෝපි ඩිංගිත්තක්වත් හදල දෙනකම්. මේ පේන්නෙ නැද්ද වෙව්ලනවා.”   
ඇය කුස්සියට ගියාට පසුව රේණුකා දිනේෂිගේ කොණ්ඩය තෙතමාත්තු කරමින් ඇයට උපදෙස් රැසක් දුන්නාය. වරින්වර යට ඇඳුම මාරු කරන අන්දම, ගමේ කාන්තාවන්ගේ ඇනුම් පද, අනුකම්පා සහගත බැලු‍ම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය, තාත්තාගේත්, නංගී සහ මල්ලිලාගේත් ශෝකය අවම කරන්නට ඇය විසින් කළ යුතු දේවල් ඒ අතර විණි. ඒ හැම වචනයක් ගාණේම දිනේෂි නොසන්සුන් වූවාය.   


“මට කෝපි එපා පොඩි නැන්දා. අපි යං ගෙදර. මට අම්මයි, තාත්තයි, මල්ලිලයි, නංගියි එක්ක ඉන්න ඕන.”   
කියාගෙන ඇය නැඟී සිටියේ තෙත කොණ්ඩය ගුලියක් කර ගැට ගසා ගනිමිනි. තවත් එක මොහොතක්වත් මෙහි පමා වෙමින් සිටින්නට ඇයට වුවමනා නොවිණි.   


෴ ලබන සතියට ෴