අපි ඉස්කෝලේ යනවා තාත්තාත් වැඩට යන්න


පිරිමි සිත් පණ ගැහෙන්නේ ගැහැනුන්ගේ සෙනෙහසේ අනුහසිනි. ගැහැනියගේ සෙනෙහස සිත සතපවන තාක් කල් ඔවුන්ට මහමෙර වුව ද තිබෙන තැනින් ඔසවා වෙනත් තැනක සීරුවෙන් තබන්නට ශක්තිය ලැබෙන්නේය. එහෙත් එය අහිමි වූ කල හුස්ම ගන්නටත් ඔවුහු මහා වෙහෙසක් දරති. කිත්සිරිට ද ඒ න්‍යායට පිටින් යන්නට පුළුවන්කමක් නොවිණි. හැමදාමත් සැහැල්ලු‍, ශක්තිමත් මිනිසෙකු වූ ඔහු ජිනාදරීගේ මරණයත් සමඟම අතිශය දුර්වල පෞරුෂයක් බවට පත් වූයේය. අම්මා හෝ දියණිය විසින් පෙරැත්ත කර දෙන කෑම පිඟානකින් කටක් දෙකක් කෑවා මිස ඔහුට කුසගින්නක් හෝ දැනුණේ නැත. තමා කළ යුත්තේ ජිනාදරී වෙනුවෙන් දුක් පැවැත්වීම නොව ඇය ශේෂ කර ගිය වගකීම වෙනුවෙන් පෙනී සිටීම බැව් ඔහුට අමතක වී තිබිණි. එය සිහිපත් කර දෙන ලද්දේ දිනේෂි විසිනි.

“අපි හෙට ඉඳලා ඉස්කෝලේ යනවා.. තාත්තත් වැඩට යන්න..”
ඇය සෘජුවම කීවාය.
දරුවන් පාසල් යැවිය යුතු බව, ඔවුන් වෙනුවෙන් තමා රැකියාව කළ යුතු බව කිත්සිරිට සිහිපත් වූයේ ඒ වදන් හරහාය. එතෙක්ම ඔහු සිටියේ අකර්මණ්‍ය මිනිසෙකු පරිද්දෙනි.
“කිත්සිරි දැන් ඉතින් හූල්ල හූල්ලා හිටියා මදැයි.. ආපහු ඇවිත් වැඩ කරන්න පටන් ගන්න.. එතකොට ඔය දුකත් අකාමකා යයිනේ..”
ඔහු වැඩ කළ ලොරියේ හිමිකරුවා වූ තිසේරා මුදලාලි දෙතුන් වරක්ම පැමිණ පෙරැත්ත කළත් කිත්සිරි සිටියේ අතීරණයකය.


“දරුවෝ දාලා එක පාරටම දුර පළාත්වල යන්න පුළුවන්කමක් නෑනෙ මුදලාලි.. මට තව දවස් කීපයක් දෙන්න..”
ඔහු බැගෑපත් වූයේය.
“හරි.. මම තව දවස් දෙකතුනක් බලන්නම්කො.. හැබැයි රජෝ ආවෙ නැත්නම් එහෙම මම වෙන ඩ්‍රයිවර් කෙනෙක් ගන්නවා.. ආදායමක් නැතුව ලොරිය නිකම් තියා ගන්න බෑනෙ..”
ඔහු කීවේ අනතුරු අඟවන්නාක් මෙනි. කිත්සිරි දුක්මුසු සිනාවක් පා හිස සැලු‍වේය. තිසේරා මුදලාලි එසේ කීවත් ඔහු ලොරියට වෙන රියැදුරෙකු යොදා ගන්නට කැමැත්තක් නැති බැව් කිත්සිරි දැන සිටියේය. සුරාසූදුවෙන්, හොරමැරකම්වලින්, දුශ්චරිතයෙන් මිදුණ ලොරි රියැදුරෙකු සෙවීම නිකිණි සොයනවාටත් වඩා අසීරුය.


“කිත්තා උඹ වැඩට පලයන් පුතේ.. මම පුළුපුළුවන් හැටියට දරුවෝ බලා ගන්නම්..” හීන් නෝනා ද කීවාය.
එවදන් කෙරෙහි ද කිත්සිරි තුළ ලොකු විශ්වාසයක් තිබුණේ නැත. නැගණියත්, ස්වයං රැකියාවත් අත්හැර දමා අම්මාට මෙහි සිර වී සිටින්නට නොහැකි බැව් ඔහු දැන සිටියේය. ඔහු උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ එහෙයිනි. එහෙත් දියණියගේ ශක්තිමත් වදන් විසින් අලු‍තෙන් සිතන්නට ඔහු පොළඹවනු ලැබීය. පවුලක අම්මා නැති වූ විට අම්මාගේ භූමිකාව නිතැතින්ම හිමි ​ෙවන්නේ දුවටය. මේ තාක් කල් සිය උකුළේ හිඳගෙන සුරතල් වූ දියණියට එතරම් බැරෑරුම් වගකීමක් දරන්නට හැකි වෙනු ඇද්දැයි සැකයක් තිබුණත් එය සිතින් ඉවත් වී ගියේ “තාත්තා වැඩට යන්න” යනුවෙන් ඇය අවධාරණාත්මකව කී මොහොතේදීමය.
“උදේ ගිහින් හවස එන්න පුළුවන් වැඩ විතරක් ඉල්ලා ගන්නවා..”
ඔහු සනිටුහන් කර ගත්තේය.


මල්ලිලා දෙදෙනාත්, නංගීත් කැටුව පාසල් යාම සඳහා දිනේෂි සූදානම් වූයේ බොහෝ උද්‍යයෝගයෙනි. අම්මා කොහේ හෝ සිට තමා දෙස බලා සිටිනවා ඇතැයි හැඟීම ඇයට දිරියක් වූයේය. ඇය පෙරදාම ඔවුන්ගේ පාසල් නිල ඇඳුම්, පොත්පත් සූදානම් කර තැබුවාය. අම්මා කළ ආකාරයටම පාන්දරම අවදි වී බතුත්, පරිප්පුත්, කරවලත් ඉව්වාය. සියල්ලන්ම නිදාගෙන සිටිය දී තනිව කුස්සියට ගොස් උයන්නට ඇයට තනිකමක් නොදැනුණේය.
“අම්මා.. බත්වලට මෙච්චරක් වතුර දැම්මම ඇද්ද..? පරිප්පු වතුරෙන් තම්බලා කිරි දාන්න ද..? කිරෙන්ම උයන්න ද..? ”


අම්මාත් සමඟ කතා කරන්නාක් මෙන් ඇය තනිවම කියෙව්වාය. ඇය අසන ප්‍රශ්නවලට අම්මා මුදු හඬින් පිළිතුරු දෙන්නාක් මෙන් ඇයට දැනිණි.
“ඇයි ලොකු දුවේ මට කතා කරන්නෙ නැතුව තනියෙන්ම ඉව්වෙ..?”
කුස්සියට පැමිණි කිත්සිරි පසුතැවිල්ලෙන් විමසීය.
“පහුගිය දවස්වලත් ඉව්වෙ මමමනෙ තාත්තා.. අද වෙනදට වැඩිය ටිකක් උදෙන් නැඟිට්ටා විතරයි..”
දිනේෂි අහිංසක සිනාවක් පාමින් පැවසුවාය. කිත්සිරි සුසුමක් හෙළා තොල සපා ගත්තේ තමන්ගෙන් මඟ හැරුණ යුතුකම් ගැන සිතමිනි. ඔහු ඇය විසින් පිළියෙල කරන ලද තේ කෝප්පය පමණක් පානය කර තිසේරා මුදලාලිගේ නිවසට යාම පිණිස ගෙයින් එළියට බැස්සේය. අම්මාගේ මරණයෙන් පසුව පළමු වතාවට පාසල් යන දරුවන්ට උපදෙස් වශයෙන් යමක් කියන්නට ඔහු උත්සාහ ගත්තේ නැත. ලොකු දුව සියල්ල බලා කියා ගන්නවා ඇතැයි විශ්වාසය ඔහු තුළ තිබිණි.
“මට ඉස්කෝලේ යන්න බෑ අක්කා..”
සසංක අතේ වූ කෝටුවෙන් වේගයෙන් බිමට ගසමින් දුක්බරව පැවසුවේ නමුත් දිනේෂිගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැත.


“ඉක්මනට කාලා ලෑස්ති වෙන්න..”
තදින් කියූ ඇය ඔහුගේ බත්පත බෙදා මේසය මත තබා අනුෂිටත්, නිසංකටත් කවන්නට පටන් ගත්තාය. ලොකු මල්ලී එදෙස බලා සිටියේ කුමන හැඟීමකින්දැයි සොයන්නට තරම් මේරූ මනසක්වත්, වේලාවක්වත් දිනේෂිට තිබුණේ නැත.
“කට දැවිල්ලයි.. කන්න බෑ..” කියමින් අනුෂි ඇඬුවාය.
“මෙච්චර ලොකු බත් කටවල් කවන්න එපා.. ගිලින්න බෑ...”
නිසංක කීවේත් හඬමිනි. බත් පිඟාන උස්සා පොළවේ ගසා ඔවුන්ටත් පහරක් දෙකක් ගසන්නට දැනුණ ආවේගය ඇය පාලනය කර ගත්තේ අසීරුවෙනි. ඇගේ ඇස්වලටත් කඳුළු පිරුණේ සිතට දැනුණ අසරණ හැඟීම නිසාය.
වදෙන් පොරෙන් ඔවුන් සූදානම් කරගෙන මඟට බසිද්දීත් එ් කඳුළු ඇගේ ඇස් හැර ගියේ නැත. සදාකාලිකවම තමාට ගෙවන්නට සිදු ​ෙවන්නේ මෙවන් කටුක ජීවිතයක් විය යුතුයැයි හැඟීම ඇයට බර වැඩි වූයේය. කෙළිදෙලෙන් දිවි ගෙවිය යුතු වයසේ දී නිවසක් පාලනය කරමින් සොයුරන් තිදෙනෙක් බලා ගන්නට සිදු වීම පහසු දෙයක් නොවේ.


“ගුඩ් මෝර්නින් දිනූ නංගී.. මොක ද මේ බිම බලාගෙන..?”
සිනාවෙන් පිරුණ මුවින් එසේ අසමින් ඔවුන්ගේ නිවසේ කඩුල්ලෙන් පිටතට ආවේ සකුණය. ඇය මඳ සිනාවක් පාමින් ඔහුට පෙරළා සුබ පැතුවාය. ඔහු දැකීමෙන් වෙනදා මෙන් ඇගේ සිතේ චකිතයක් හට ගත්තේ නැත. ඔහු තමාගේ පාසලේ ශිෂ්‍ය නායකයෙකු බව ඇය මේ ​ෙවන විට අමතක කර දමා තිබිණි. ඔවුන් සියල්ලන්ම යන්නේ ගමේ එකම පාසලට බැවින් මෙලෙස රංචු ගැසී යාමේ අරුමයක් තිබුණේත් නැත. ඒ හැම දේටමත් වඩා ඔහු තාත්තාටවත් නොකී ඇගේ රහසක් රකින්නට පොරොන්දු වී සිටියේය. යුවතියක් එවන් අයෙකුට සමීප ​ෙවන්නේ බලවත් විශ්වාසයකිනි.
“කොහොම ද මල්ලිලා..?”


ඔහු අනුෂිගේ හිස අත ගා සසංකගෙන් හා නිසංකගෙන් දෙදෙනාගෙන් විමසුවේ සුහද ලෙසය. මඳ සිනාවක් පමණක් පෑ සසංක අත වූ කෝටුවෙන් පාර දෙපස පඳුරුවලට තලමින් ඉස්සර වූයේය. ගෙදර දී දිනේෂි පසුපසම දැවටෙන අනුෂි ද දිව ගොස් අයියාට එකතු වූවාය. දිනේෂිගේ අතේ එල්ලී ගමන් කළේ නිසංක පමණකි.
“ඉස්කෝලේ එන්න හිතපු එක ලොකු දෙයක් නංගී.. ඔයාලගෙ පන්තියේ ටීචර්ත් මට කිව්වා ඔයාට ඉස්කෝලේ එන්න කියන්න කියලා..” සකුණ පැවසුවේ ඇය දෙස වුවමනාවෙන් බලමිනි.
“ඇත්තම කියන්න ද අයියා..?”
ඇය අතේ එල්ලී සිටි මලණුවන් මඳක් ඈතට කර සකුණට ළංව පහත් ස්වරයෙන් විමසුවාය.

 


෴ ලබන සතියට ෴