අනේ තාත්තේ අම්මා එතැන හිටියා


 

ඇස් පියාගෙන ජිනාදරී සමඟ මනෝ ලෝකයේ සැරිසරමින් සිටි කිත්සිරි ලොකු දුව මිදුලට යනවා දුටුවේ නැත. ඔහු තිගැස්සී දෙනෙත විවර කළේ ඇය යටි ගිරියෙන් බෙරිහන් දෙන හඬ ඇසෙද්දීය. ඇය අම්මා යනුවෙන් කෑ ගසමින් දෑත විදහාගෙන පිච්ච වැල දෙසට දිව යනවා දුටු විට ඔහුට එක් වරම දැනුණේ පපුව නැවතුණාක් බඳු හැඟීමකි. මොහොතක් අන්දුන්කුන්දුන්ව සිටි ඔහු ඊළඟ මොහොතේ මිදුලට පැන්නේය.   

දිනේෂිට අම්මා බදාගෙන ඇගේ උණුසුමට තුරුළු වෙන්නට වුවමනා වූයේය. අම්මාටම ආවේණික වූ සුවඳ පවා ඇයට දැනෙන්නට වූයේය. එහෙත් පිච්ච වැල ආසන්නයට යද්දී ඇය දුටු ගැහැනු රුව බොඳ වී ගියේ වලාකුළක් පරිද්දෙනි. අතට මෙන්ම හිතට ද දැනුණේ හිස් බවම පමණකි. ඒ හිස් බව ගින්නක්ව ඇගේ ආත්මයම දවාලන්නට වූයේය.   


“අම්මා.. යන්න එපා අම්මා..”   


ඇය බෙරිහන් දීගෙන පිච්ච වැල වැළඳ ගත්තාය. වැටෙන් එහා පැත්තේ සුගතදාසලාගේ නිවසේ ද විදුලි පහන් දැල්විණි.   
“ලොකු දුවේ..”   
කිත්සිරි කඳුළු පිරුණ දෙනෙතින් යුතුව දියණිය තුරුලට ගත්තේය.   
“අනේ තාත්තෙ.. එතන අම්මා හිටියා.. ඔව් ඇත්තටම අම්මා හිටියා.. එයාට යන්න දෙන්න එපා තාත්තෙ..”   
ඇය මල් පඳුර දෙස බලාගෙන නොඉවසිල්ලෙන් කෑ ගැසුවාය. යම්කිසි මායාමය දර්ශනයකින් ඇගේ සිත සසල වී ඇති බැව් ඔහු වටහා ගත්තේය. ඇය සනසන්නට කිව යුත්තේ කුමක්දැයි ඔහුට වැටහුණේ නැත. ඔහු අපේක්ෂා භංගත්වයෙන් පිරුණ සිත අසීරුවෙන් වාරු කරගෙන ඇගේ හිස පිරිමැද්දේය.   
“අම්මා..”   


ඇය තාත්තාගේ උරහිසේ හිස හොවාගෙන ඉකිබිඳිමින් හඬන්නට වූවාය.   
“ලොකු දුව.. සිහියෙන් ඉන්න.. අම්මා ආයෙ එන්නෙ නෑ කියලා ඔයා හොඳටම දන්නවනෙ...”   
එසේ කියන්නට වුවමනා වුව ද කිත්සිරිගේ දෙතොල විවර වූයේ නැත. තමාත් මේ තරම් වේලාම සිටියේ ජිනාදරීගේ මතක අතර මංමුලා වී නොවේදැයි ඔහුට සිහිපත් වූයේය. ඒ මතකය පවා සුන්දරය. උණුසුම්ය. ඔහුට දැනුණේම ඇය තමා අසළ හිඳ හිස පිරිමදින්නාක් බඳු සුවයකි. දියණියටත් එසේම දැනෙන්නට ඇතුවා නිසැකය.   


“මොකද මල්ලියෙ වුණේ..?”   
අසාගෙන සුගතදාස වැට අද්දරට ආවේ දුවගෙනය. බිරිඳ සඳසීලීත් පුතු සකුණත් ඔහු පසුපසම ආහ.   
“ලොකු දුවගෙ හිත ගැස්සිලා ද කොහෙද අයියෙ.. මොනවද කරන්නෙ කියලා මට හිතා ගන්න බෑ..” කිත්සිරි පැවසුවේ හූල්ලමිනි. තමා මොන තරම් අසරණ වී ඇද්දැයි ඔහුට සිතෙන්නට වූයේය. අසල්වැසියන්ට පිහිට වෙනවා මිස කිසිම දවසක ඔහු ඔවුන්ගෙන් පිහිටක් ඉල්ලා නැත. ඔහුගේත්, දරුවන්ගේත් ඕනෑම ගැටළුවකට පිළිතුරක් ජිනාදරී ළඟ තිබිණි. ඇයගේ විසඳුම් හොඳම විසඳුම් බවට ඔහු විශ්වාස කළේය. ඒ විශ්වාසයෙන් ඔහුට වැරදුණේත් නැත. දරුවන් ද බොහෝ සැහැල්ලු‍වෙන් සිටියේ ඇය ඔවුන්ට මහා නුග රුකක් ලෙස සෙවණ සැදූ නිසාය. දැන් ඉතින් ඔවුන් සියල්ලන්ම හෝඩියේ සිට අලු‍තින් ජීවිතය කියවන්නට ඉගෙන ගත යුතුව තිබේ. එය මොන තරම් අසීරු කටයුත්තක්දැයි කිත්සිරි දැන සිටියේය.   
“අනේ දෙයියනේ..”   
කියාගෙන සඳසීලි වැටේ ඉණි දෙකක් අතර වූ හිඩැසින් ගෙවත්තට ඇතුළු වූවාය. සකුණ ද අම්මා අනුගමනය කළේය. සුගතදාසලාගේ බල්ලා නිතරම එතැනින් පැනවිත් කුස්සියේ ඇති පොල් බෑය පවා ඩැහැගෙන යන නිසා එම හිඩැස අවුරා දමන ලෙස ජිනාදරී කිහිප වරක්ම කීවත් නොයෙකුත් වැඩරාජකාරි අතරේ කිත්සිරිට එය අමතක වී ගියේය.   


“ටිකක් කල් යනකොට බල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඔතනින් ඇවිත් ගෙට රිංගන්න බැරි නෑ.. කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති වෙන්න මට මගෙ කෙල්ලො දෙන්නා පරිස්සම් කර ගන්න ඕන..”   
ඇය එහෙමත් කියූ බැව් ඔහුට මේ මොහොතේ සිහිපත් වූයේ සඳසීලී පිටුපස පැමිණි සකුණ දැකීමෙනි. එහෙත් දැන් ඔවුන් වළක්වන්නට ශක්තියක් තමාට නැති බවත් ඔහු දැන සිටියේය. ජිනාදරී මෙන් දරුවන් ගේ රැකවරණය වෙනුවෙන් ඔවුන් පසුපසම සිටින්නට ඔහුට පුළුවන්කමක් නැත.   
“මෙහෙ එන්න පුතේ.. අපි ගෙට යමු..”   


කියූ සඳසීලී, කිත්සිරි වෙතින් යුවතිය මෑත් කර වත්තම් කර ගත්තාය. දිනේෂි තාත්තාගෙන් ඈත් වූයේ අකැමැත්තෙනි.   
“කෙල්ල තනියම එළිපහළියට යවන්න හොඳ නෑ කියලා උඹට මතක නැති වුණා ද මල්ලියෙ..? කෙල්ල ගෙට වෙලා දවස් කීය ද..? මාස තුනක්වත් යනකම් තනි කරන්න හොඳ නෑ.. ඒ මදිවට මළගේකුත් වුණ අල්ලපනල්ලෙ..”   
සඳසීලී දෝෂාරෝපණයක හඬින් පැවසුවාය. කිත්සිරි තදබල වරදක් කළ අයෙකු ගේ හැඟීම් ඇතිව බිම බලා ගත්තේය. දියණියගේ ආරක්ෂාව පිළිබඳව මීට වැඩි සැලකිලිමත් විය යුතුයයි ජිනාදරී මුමුණන්නාක් මෙන් ඔහුට දැනිණි.   


“ඇයි පුතේ උඹ එච්චර හයියෙන් කෑ ගැහැව්වෙ..? අනිත් එක මේ රාත්තිරියෙ මොකටද පහන ළඟට ගියෙ..?”   
ඒ වන විටත් හඬමින් සිටි දිනේෂි ගෙතුළට රැගෙන ගොස් පුටුවක වාඩි කළ සඳසීලී විමසුවාය. පිච්ච පඳුර අතරින් අම්මා ගේ රුව දුටු ආකාරය යුවතියට සිහිපත් විණි. ඒ දසුන ඇයට දැනවූයේ බියක් නොව සදහටම යමක් අහිමි වී ගිය බවට හැඟීමකි. ඇයට සිත වාවා ගන්නට නොහැකි වූයේ එම නිසාය. කෙසේ වුවත් සඳසීලීට සත්‍යයම නොකිව යුතුයයි ඇගේ සිත මිමිණුවේය.   


“මූණිච්චාවට කතා කෙරුවට මහ කුහක, කුඩුකේඩු ගෑනියක්.. කවදාවත් කිසිම දේක හොඳක් දකින්නෙ නෑ.. හැම වෙලාවෙම කාගෙ හරි වරදක්මයි හොයන්නෙ.. කේලම් මල්ලක්..”   
අම්මා සඳසීලී නැන්දා ගැන දැරුවේ එවැනි අදහසක් බැව් ඇයට සිහිපත් වූයේය. තමා දුටු දසුන පැවසුවහොත් සඳසීලි එයට අතිනුත් විස්තර එකතු කර ගම පුරාම පතුරුවා යවන්නට ඉඩ ඇත. ගමේ එහා කෙළවරේ සිටින විනීතා නැන්දා හා ඇගේ දියණිය කළේත් එයම නොවන්නේ ද..?   


“මම මල් ටිකක් පූජා කරන්න පහන ළඟට ගියෙ නැන්දෙ.. වෙනදට හැමදාම මල් පූජා කරන්නෙ අම්මනෙ.. මට ඒක මතක් වෙලා දුක හිතුණා... කොහෙ හරි ඉඳලා අම්මට මාව ඇහෙයි කියලා හිතිලයි මම කෑ ගැහැව්වෙ..”   
දිනේෂි ආයාසයෙන් හැඬුම මැඩගෙන කියාගෙන ගියාය. එහෙත් සඳසීලී නැන්දාගේ මුහුණේ ඇත්තේ අවිශ්වාසයක් බැව් ඇයට වැටහිණි.   


“එතකොට තාත්තා බදාගෙන හිටියෙ..?”   
සඳසීලී එළියටත් එබී බලා පහත් හඬින් විමසුවාය. සුගතදාසත්, සකුණත් සමඟ කිත්සිරි වැට අද්දර හිඳගෙනම කතාබහ කරමින් සිටිනු පෙනිණි.   
“තාත්තා එළියෙ පුටුවේ හිටියෙ.. මම කෑ ගහනවා ඇහිලා ආවෙ..”   
දිනේෂි ඇත්තම පැවසුව ද සඳසීලී බැරෑරුම් ලෙස හිස සැලු‍වාය.   


“මීට පස්සෙ මල් පූජා කරන්න ඕනනම් හැන්දෑවේ ඒක කරනවා මිසක් මේ රෑ දහයට එළියට බහින්න එපා.. අනිත් එක උඹ දැන් පොඩි එකියෙක් නෙමෙයි.. ලොකුමහත් වුණ කෙල්ලෙක්.. ඒ හින්දා ඉස්සර වාගෙ තාත්තගෙ තුරුල්ලට යන්න එපා.. උඹ අර විදිහට කෑ ගහනවයි, මේ රෑ තාත්තා බදාගෙන එළියෙ ඉන්නවයි කවුරු හරි දැක්කනම් හිතන්නෙ වෙන මොකක් හරි..”   


සඳසීලී කියාගෙන ගියාය. දිනේෂි දෙනෙත් අයාගෙන බලා සිටියේ එකී වදන්වල අරුත නිවැරදිව පසක් කර ගන්නට නොහැකි වූ නිසාය.  


෴ ලබන සතියට ෴