අනේ පොඩි නැන්දා ඒක බොරුවක් කියලා මම මෙච්චර වෙලා හිතා හිටියේ


ඒ මොහොතේ ඇස්වලට පිරුණ උණු කඳුළු දිනේෂිගේ මුළු ආත්මයම දවාලමින් එක දිගටම ඇදහැළෙමින් තිබිණි. ඇය දිගින් දිගටම විලාප දෙමින් හඬා වැටුණාය. හඬා වැටීම නිසා ඇගේ මුහුණ රතු වී ඉදිමී, උගුර කට වියළී තිබිණි. ඇගේ විලාපය ඇසුණ සියලු‍ දෙනාගේම සිත් කීරි ගැසී ගියේය. දියණිය මල්වර වුණදාම ඇගේ අම්මා මරණයට පත් වීම ගැමි කාන්තාවන්ට බොහෝ දිනක් කතාබහ කරන්නට තරම් හොඳ මාතෘකාවක් වූ බැව් සැබෑවකි. එහෙත් වනේ වන හතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවායයි ඒ සමඟම ඔවුහු ප්‍රාර්ථනා කළහ. ආරංචිය ගම පුරා පැතිර ගොස් එහි ඇත්ත නැත්ත සොයා බලන්නට පැමිණි හැම කාන්තාවකටම දිනේෂිගේ දුක්ඛිත ස්වභාවය දරා ගැනීම පහසු නොවිණි.   

“අනේ පව් දෙයියනේ..”   
ඔවුන් මුමුණා ගත්තේ ඇස්වල කඳුළු පුරවා ගනිමිනි.   
“ඔයාල බොරු කියන්නෙ.. ඔයාල ඔක්කොම බොරු කියන්නෙ.. මගෙ අම්මා කවදාවත් මැරෙන්නෙ නෑ.. අම්මා ළඟට මාව එක්ක යන්න.. එහෙම නැත්නම් තාත්තට එන්න කියන්න.. තාත්තා විතරයි ඇත්ත කියන්නෙ..” ඇය කෑ ගැසුවාය.   


හීන් නෝනාත්, රේණුකාත් ඇය කාමරයේ රඳවාගෙන සිටියේ බොහෝ අසීරුවෙනි. ඇය දොර විවර කරගෙන පිටතට දුවන්නට වෑයම් කළාය. කොට්ටය ඉරා සීසීකඩ වීසි කර දැමුවාය. කනප්පුවට පයින් ගසා බිම පෙරළු‍වාය. දෑතින් හිසකෙස් ඇද ගත්තාය.   
“නවත්ත ගන්නවා ඔය විකාරේ..” 

 
ඇය බිත්තියේ හිස හප්පා ගනිද්දී රේණුකා ඇය අතින් ඇද වේගයෙන් ඇඳ මත වාඩි කරවූයේ රිදෙන්නට පහරක් ගසමිනි. එක්වරම ඇගේ හැඬුම නතර විණි. ඇය ඉහළට ගත් හුස්ම පහළට නොදමා දෙනෙත් අයාගෙන නැන්දා දෙස බලා සිටියාය. ඒ අස්වාභාවික හැසිරීම දුටු විට රේණුකාට මෙන්ම කාමරය තුළ සිටි හීන් නෝනාටත් පිටත සිට ජනේලයෙන් බලා සිටි කාන්තාවන්ටත් බිය සිතිණි.   
“ලොකු දුව.. ලොකු දුව..”   


හීන් නෝනා ඇගේ මුහුණ දෙපසට තට්ටු කරමින් කතා කළේ කලබලයෙනි. එහෙත් ඇය අචේතනිකව මෙන් ඔහේ බලා සිටියා පමණකි. රේණුකා වහා මේසය මත වූ වතුර වීදුරුවෙන් ස්වල්පයක් ගෙන ඇගේ මුහුණේ තැවරුවාය. ඇය සිහිනෙන් අවදි වූ කලෙක මෙන් ගැස්සී ඔවුන් දෙස බැලු‍වේ එවිටය.   
“වතුර ටිකක් බොනවද..?”   


රේණුකා හෙමිහිට වීදුරුව දිනේෂි ගේ මුවට ළං කළාය. වතුර උගුරක් පමණක් පානය කළ ඇය වීදුරුව පසෙකට තල්ලු‍ කළේ හදිසියේ යමක් සිහිපත් වූ කලෙක මෙනි.   
“අම්මා ඊයෙ රෑ හීනෙන් මට කිව්වනෙ වතුර ගෙනත් දෙන්න කියලා.. මම අරන් එනකොට අම්මා හිටියෙ නෑ.. ” ඇය හීල්ලු‍වාය. “අම්මා පව්...”   


රේණුකාගේ පපුව හෝස් ගා දැවී ගියේය. ජිනාදරී සදහටම නික්ම යන්නට ඇත්තේ සිය ලොකු දුවට සංඥාවක් දීමෙන් අනතුරුව බවට හැඟීම ඇයට බොහෝ බරට දැනිණි.   
“පුතේ.. දැන් ඔයා ලොකු ළමයෙක්.. දැන් ඇත්ත තේරුම් ගන්න ඕනැ..” ඇය කීවේ දිනේෂි තුරුළු කරගෙන හෙමිහිට හිස පිරිමදිමිනි.   


එම ශෝකී යථාර්ථය සිය දෑසින්ම දුටු හීන් නෝනාට නැවතත් එය දියණියගේ මුවින් අසන්නට වුවමනාවක් නොවිණි. එමෙන්ම ජනේලයේ එල්ලී ඕපාදූප සොයමින් සිටින ගැහැනුන් එතැනින් ඉවත් කළ යුතු බවත් ඇයට හැඟිණි. මෙතැන සිටින්නේ වැඩිවියට පත් වූ ගැහැනු දරුවෙකි. ඇය හැම දෙනාගේම නෙත්වලට ලක් විය යුතු නැත.   


“තේ ටිකක්වත් බොන්න වරෙල්ලා..”   
කාමරයෙන් පිටතට ගිය ඇය ඔවුන් කැඳවාගෙන කුස්සිය පැත්තට ගියාය. රේණුකා නැවතත් මුව විවර කළේ ඔවුන් එතැනින් පිට වී ගියාට පසුවය.   
“දුවේ අපි මේක ඔයාට කියන්න හිතාගෙන හිටියෙ හෙට නැකතට වතුර වැක්කෙරුවට පස්සෙ.. ඒත් පුන්සරා මේ වෙනකොටත් ඔයාට විස්තරේ කියලනෙ තියෙන්නෙ..”   
ඇය සන්සුන් හඬින් කියන්නට වෑයම් කළත් එය පහසු වූයේ නැත. දිනේෂි ගේ මුහුණ බෙරි වූයේය. මෙතෙක් විදහාගෙන සිටි ඇස්වලට නැවතත් කඳුළු එක්රොක් වෙන්නට පටන් ගත්තේය. ඇය නැන්දාගේ අත තදින් අල්ලා ගත්තාය.   


“ඒ කියන්නෙ.. ඒ කියන්නෙ අපෙ අම්මා..” ඇයට ගොත ගැසිණි.   
“ඔව් පුතේ.. අම්මා නැති වෙලා..”   
රේණුකා වචන පිට කර ගත්තේ ආයාසයෙනි. ඒවා සරල වචන කිහිපයක් බව සැබෑවකි. එහෙත් ඒවායේ තිබුණේ දියණියකගේ මුළු ආත්මයම දවා හළු කරන ගින්දරකි. ජීවිත කාලය පුරාම ඇයට ඒ ගින්දර මුසු මතකයෙන් මිදෙන්නට පුළුවන් වන්නේ නැත.   


“අනේ පොඩි නැන්දා.. ඒක බොරුවක් කියලා මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ.. මම පුන්සරා අක්කටත් ගැහැව්වෙ ඒ හින්දා.. අනේ.. මගෙ අම්මා.. එතකොට.. එතකොට බඩේ හිටිය නංගී..?”   
දිනේෂි නැන්දාගේ ඉණ තදින් බදා ගනිමින් විමසුවාය.   


“එයත් නැති වෙලා..” රේණුකා කීවේ ඇසෙනනෑසෙන හඬිනි.   
යුවතියගේ හීල්ලීමෙන් සිය පපුවම ඇවිලී යනු ඇයට දැනිණි.   
“පොඩි නැන්දා.. මගේ මූසලකම හින්දා අම්මා මැරුණා කියලා විනීතා නැන්දා කිව්වා.. ඒක එහෙමනම් මටත් මැරෙන්න ඕනැ.. අම්මයි නංගියි එක්ක මටත් යන්න ඕනැ.. අනේ මගෙ අම්මා..”   
දිනේෂි නැවතත් විලාප තබන්නට පටන් ගත්තාය.   


“පුතේ.. මේ වෙලාවෙ ඔයා හුඟක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනැ.. එකඑකා කියන දේවල් ගැන හිතලා කලබල වෙන්න එපා.. තාත්තටයි, මල්ලිලාටයි, නංගිටයි ඔයාව ඕන.. ඒක ගැන විතරක් හිතන්න..”   
රේණුකා තව බොහෝ දේවල් කී මුත් වචන ලෙස සිතට ඇතුළු වූවා මිස ඒවා එකක්වත් අරුත් වශයෙන් දිනේෂි ගේ සිතේ රැඳුණේ නැත. සැබැවින්ම ඇගේ සිත එහෙම පිටින්ම අඳුරු ගුහාවක් බවට පත් වී තිබිණි. එතුළ ඇයට දැකිය හැකි වූ එකම ඡායාව අම්මා පමණක් වූයේය. ලොකු උදරයක්, පිපිහළු වූ මුහුණක් සහ තොල මත රැඳුණ දහදිය බිඳු සමඟ අම්මා ඇය දෙස බලා සිටියාය. ඇගේ හිස පිරුණ උදරයට තද කරගෙන හෙමිහිට පිරිමැද්දාය.   


“ඔයා මං එනකම් ආච්චිලගෙ ගෙදර ඉන්න ඕැනැ..”   
යනුවෙන් කීවේ ආදරයෙනි.   
ඇය තාත්තාත් සමඟ ගොස් කාරයට නඟිමින් දිනේෂි දෙස බැලු‍වේ “පරිස්සමට ඉන්න” කියමිනි.   
එහෙත් ඊ ළඟ මොහොතේ අම්මාගේ ඒ ජීවී රුව අතුරුදන් වූයේය. ඒ පහස ද නොදැනී ගියේය. අම්මා පුංචි දැරියක තුරුළු කරගෙන මිනී පෙට්ටියක් තුළ සැතපී සිටින දසුනක් ඇගේ නෙත් හමුවේ සිත්තම් විය. එය ඇය තදින්ම බියපත් කළේය.   


“අම්මා...” ඇය යටිගිරියෙන් කෑ ගැසුවාය.   


ඒ සමඟම ඇය මලානික ලතාවක් මෙන් කඩා වැටුණේ ඇය තුරුළු කරගෙන සිටි රේණුකාත් පෙරළාගෙනය. 

 
 ෴ ලබන සතියට ෴