තථාගත ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන මංගල සිදුවීම් සිහිපත් කරමින් - උතුම් වූ වෙසක් මංගල්‍යය මෙවරත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී බෞද්ධ බැතිමත්හු ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් යුතුව සැමරීමට සූදානම්ව සිටිති.
සුපුරුදු ලෙස බෞද්ධ ජනයා මේ වන විට රටේ හතර කොනෙහිම බෞද්ධ ධජ ඔසවා, ගම්මානවල පහන් වැටි සකස් කර තිබෙනු දැකිය හැකිය. එමෙන්ම වෙසක් උත්සව දිනයන්හි දී ගමේත්, නගරයේත් බොදු ජනයා බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් - පහන් කූඩු ආලෝකවත් කර ප්‍රදර්ශනය කිරීම බැති සිතින් කරන පුණ්‍ය ක්‍රියාවකි. මෙරට සිටින ඇතැම් අන්‍ය ආගමිකයන් ද, විදෙස් රටවල සිටින බෞද්ධ සහ ඇතැම් අන්‍යාගමිකයන් ද පහන් කූඩු සකසා ආලෝකවත් කොට ප්‍රදර්ශනය කරමින් වෙසක් සැමරීමට එක්වෙන අයුරු අප අසා දැක තිබේ.
වෙසක් කූඩුවක් සෑදීම යනු හුදු ආමිස පූජාවක් පමණක් නොවේ. එහි ගැඹුරු ආධ්‍යාත්මික ඉගැන්වීමක් පවතින බව සඳහන් වේ. වර්තමානය වන විට නෙළුම් මල්, තරු, ගුවන් යානා, නැව් වැනි හැඩයන් ගත් වෙසක් කූඩු සෑදීම සිදුකළ ද නිවැරදි අර්ථය ගෙන දෙන කූඩුව අටපට්ටම් කූඩුව වේ. තව ද මෙරට විහාරස්ථාන සහ පොදු ස්ථාන තුළ දී විශාල ප්‍රමාණයේ වෙසක් කූඩු සකස් කර මැයි මාසය පුරාවටම හෝ පොහොය එළැඹී සති දෙකක් පමණ ගතවන තුරු ජනතාවට ප්‍රදර්ශනය කිරීම අප රටේ මිනිසුන් වෙසක් උත්සවය නිමිති කර ගනිමින් සිදු කරන තවත් එක් අංගයකි. කෙසේ නමුත් මෙම පහන් කූඩු අතර වැඩි වශයෙන් ශ්‍රී ලංකාව පුරා දැක ගත හැක්කේ අටපට්ටම් කූඩුවයි. එයට හේතු වන්නේ අටපට්ටම් කූඩුව ඉතා පහසුවෙන් සහ චාම් ලෙස සකස් කර ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාවයි. ඒ අනුව වෙසඟයේ නියම අරුත පැහැදිලි කරන පහන් කූඩුව අටපට්ටම බව බොහෝ දෙනාගේ අදහසයි.
අටපට්ටමක් සකස් කිරීමේ සිට යම් ගැඹුරු අර්ථයක් උගන්වයි. පුංචි දරුවන්ට කුඩා කාලයේ සිටම අනිත්‍ය මෙනෙහි කර දීම අරමුණ බව සැලකේ. දරුවන් සියලු දෙනා එක්වී නොයෙකුත් වර්ණ ගැන්වූ සව් කොළ ගෙන අටපට්ටම් කූඩුවේ සැකිල්ලට එකින් එකට අලවා ඉතාමත් අලංකාර ලෙස සකස් කරන කූඩුව දෙස පුංචි දරුවෝ ඉතා ආසාවෙන් බලා සිටිති. එම අලංකාර කූඩු පුංචි සිත් පැහැරගනී.
අටපට්ටම් කූඩුව සකස් කරන්නේ සමචතුරස්‍රාකාර පට්ටම් හයක් යොදා ගැනීමෙනි. පට්ටම් හය නිසි ආකාරයෙන් තදින් ඇද පලුද්දක් නොමැති ලෙස බැඳගත යුතුය. එසේ නොමැති වුවහොත් කූඩුව ඇද විය හැක. එයින් ද අපේ ජීවිතය සංකේතවත් කරන අතර මෙසේ බැඳගත් කූඩුවේ ඇති සමචතුරස්‍රාකාර කොටු හතරින් බුදුන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය පිළිබිඹු කරයි. එනම්, දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සහ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයයි. එමෙන්ම පහන් කූඩුවේ සම ත්‍රිකෝණාකාර කොටස් අටෙන් පිළිබිඹු වන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යන අටලෝ දහමයි.
බුදුන් වහන්සේ අපේ සිත උපමා කර ඇත්තේ පහන් සිළකටයි. පහන් කූඩුව මැද ඉටිපන්දමක් සවි කිරීමට හේතුව එයයි. ඉටිපන්දම් දැල්වීමෙන් පහන් කූඩුව ආලෝකවත් වන්නේ යම් සේද එලෙසින්ම පහන් වූ සිතෙන් මුළු ලෝකයම ආලෝකවත් වන්නේ යන්න එහි අර්ථ ගන්වයි. එහිදී පහන් කූඩු ආලෝකවත් වන්නේ පහන් දැල්ල හොඳින් ආලෝකවත් වුවහොත් පමණි. එමෙන්ම අපේ සිත තුළත් රාගය, ද්වේශය, මෝහය ඉවත්කර කරුණාව, මෛත්‍රිය පෙරදැරි සිතක් ඇති කර ගැනීමෙන් මුළු ලෝකයක් ආලෝකවත් කළ හැකි බව සංකේතවත් කරයි. පහන් කූඩුව පිළිසකර කර සරසා එය ප්‍රදර්ශනය කරන්නේ පිටතයි. එහිදී මෙම කූඩුව සුළඟෙන් පහන් දැල්ල ඕනෑම මොහොතක නිවී යා හැක. අපගේ ජීවිතය ද එලෙසින් කුමන හෝ මොහොතක නැති වී යන ජීවිතයේ අනිත්‍යය ලෝක සත්ත්වයාට පොදු බව අටපට්ටම් පහන් කූඩුව තුළින් උගන්වයි.
පහන් කූඩුව නොයෙක් වර්ණයෙන් යුතු කඩදාසිවලින් අලවා ඉතා අලංකාරවත් ලෙස හැඩ ගැන්වීම තුළින් අප අපගේ ජීවිතය ගෙවන කෙටි කාලය තුළදී ආශාවන් අනුව හැඩගස්වා ගැනීමට දරන වෑයම කියාදෙයි. පහන් කූඩුවේ ඉහළින් සහ පහළින් විවෘතව පවතින සමචතුරස්‍රාකාර කොටස් දෙකෙන් මිනිසුන් ඉපදෙමින් මියැදෙමින් මේ ගෙවන සංසාර චක්‍රය නිරූපණය කරයි.
පහන් කූඩුවට එහි අලංකාරත්වය තව තවත් වැඩි කර ගැනීමට සව් කොළවලින් කපාගත් රැලි එකතු කරනු ලබයි. කූඩුවේ රැලි වැඩිවෙන තරමට සුළං බැඳීමත් වැඩිවේ. එවිට කූඩුව අසමබර වී ඉටිපන්දම වැටී කූඩුව ගිනි ගත හැකිය. ඒ ආකාරයෙන් ජීවිතයේ ඇලීම් බැඳීම් වැඩිවන තරමට උපාදානයන් ද වැඩි වේ. එවිට කූඩුව මෙන්ම ජීවිතය සමබරතාවය ද නැති වී ජීවිතය විනාශ වීමේ සම්භාවිතාව වැඩි විය හැකිය. එමෙන්ම අටපට්ටම් කූඩුවේ සව් කොළ කඩදාසිය මැද අපට පෙන්නුම් කර දෙන්නේ නිරාමිස ආලෝකයෙන් නිවන බව මනාව වටහා ගත හැකිය.
ඉතා අඩු වියදමකින් උණ බට පතුරු එක්කර සාදන මෙම අටපට්ටම් කූඩුව සංසාර ගමනත් අවසානයේ දී නිවන පිළිබඳවත් කියා දෙන බුදු දහමේ උත්තරීතර දර්ශනය ඇතුළත්ව පෙර දවස හෙළ කලා ශිල්පීන් අතින් නිමවූවක් බව පැහැදිලිය.
කෙසේ නමුත් අද වන විට බෞද්ධයා වෙළෙඳපොළේ ඇති ප්ලාස්ටික් වලින් නිමවූ පහන් කූඩුවක් නිවසට ගෙනැවිත් එල්වීමට තරම් අලස වී ඇත. එසේ ලේසියට පහසුවට වෙළෙඳපොළෙන් ගෙන එන කූඩුවක් දරුවා අතට ලබා නොදී පවුලේ සියලු දෙනා එක්වී පුංචි දරුවන් සමග අටපට්ටම් කූඩුවක් සකස්කර එම පහන් කූඩුව තුළින් කියවෙන ජීවිතාවබෝධය පුංචි මනසට සරලව එකතු කරන්නට හැකි නම් ඉතා යහපත්ය.
ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය ලබාදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින ඔබේ දූ දරුවන් හා එක්ව අටපට්ටම් කූඩුවක් නිර්මාණය කර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවිතය සකස් කරගනිමින් මෙවර වෙසක් මංගල්‍යය සියලු දෙනා එක්වී සැබෑ සහ අර්ථවත් වෙසක් මංගල්‍යයක් බවට පත්කර ගැනීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් වන්නේය.
සුදර්ශණී කෝණාර