සුවඳ හමන සුදු හඳුන්


ගසක කතාව

 

  • පරිස්සම් වෙන්න සුදු හඳුන් බව පවසා කොකේන් පැළ අලෙවි කරනවා

 

විවිධ වූ ගහ කොළ අතර සුවඳ දෙන ශාක ඇත්තේ අතළොස්සකි. ඒ අතරින් සුදු හඳුන් නැතහොත් සුදු සඳුන් ගසට විශේෂිත වූ තැනක් හිමි වී ඇත. එනම් මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්ත වන නිසාය. ඒ නිසා තම ගෙවත්තේ සුදු හඳුන් පැළයක් දෙකක් සිටුවා ගැනීමට සෑම කෙනෙකුම උත්සාහ කරනු දක්නට ලැබේ. එහෙත් ඒ සිටුවා ගන්නා ශාක, හොඳ තත්ත්වයේ නියම සුදු හඳුන් ද යන්න ගැන ඇත්තේ සැකයකි. ඊට හේතුව වන්නේ සුදු හඳුන් පැළ සොයා ගැනීම ඉතාමත් දුර්ලභ වන බැවිනි.   


කෙසේ වෙතත් සුදු හඳුන් (Santalum album) වලට අමතරව තවත් හඳුන් වර්ග කිහිපයක් දක්නට ලැබේ. රත් හඳුන්, කපුටු හඳුන්, වල් හඳුන් ඉන් ප්‍රධානය. එහෙත් බෙහෙත් වලට ගන්නේ සුදු හඳුන් සහ රත් හඳුන් වර්ග දෙක පමණකි. ආයුර්වේදයේ දී රත් හඳුන් වැඩියෙන් ප්‍රයෝජනයට ගනී. එහෙත් රත් හඳුන් ලංකාවේ හැදෙනවා අඩුය. ඉන්දියාවේ දී බහුලව දැක ගත හැකි ශාකයකි. මෙම හඳුන් වර්ග එකම කුලයකට අයත් නොවේ. සුදු හඳුන් අයත් වන්නේ සැන්ටලේසියේ කුලයටය. මෙහි පත්‍ර පළලින් වැඩිය. ළා පැහැතිය. මැද නාරටි දෙපැත්තෙන් කුඩා නාරටි දෙකකි.   


මෙම ශාකය සෙමින් වර්ධනය වන අතර අතු පැතිරි වැඩෙයි. අඩි පහළොවක විස්සක පමණ උසට වර්ධනය වේ. වට අඩි එක හමාරත් දෙකත් අතරේ පවතී. පාරිසරික හා වෙනත් හානියක් සිදු නොවුණ හොත් වසර සියයක් දෙසියයක් වුවත් තබා ගත හැකිය.   


දොර, ජනෙල්, පුටු, ඇඳන් ආදී විවිධ වර්ගයේ ලී බඩු නිෂ්පාදනය කිරීමටත් මෙම ශාකය ප්‍රයෝජනයට ගනී.   
සුවඳ විලවුන් නිෂ්පාදනය, රූපලාවන්‍ය කටයුතු හා සබන් සෑදීම සඳහා අරටුව යොදා ගනී පත්‍රවල දලු, මැල්ලුම් සහ සම්බෝල සඳහා ද, බීජ, නිස්සාරණය කර ගැනීමෙන් ලබා ගන්නා දියර, කෘමි නාශකයක් වශයෙන් ද ප්‍රයෝජනයට ගනු ලැබේ. විශේෂයෙන්ම, බීජ නිස්සාරණය කර ගැනීමෙන්, ලබා ගන්නා දියරවලින් අහිතකර කෘමි සතුන් පලවා හැරිය හැකිය.   


ඉන්දියාව වැනි ආසියාතික රටවල මෙම ශාකය බහුලව දැක ගත හැකිය. එහෙත් ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නොවේ. මෙරට ද බොහෝ ප්‍රදේශවල දැක ගත හැකි වුවත්, හොඳින් වර්ධනය වන්නේ අතරමැදි කලාපයේය. ආලෝකය ප්‍රිය කරන මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුත් ශාකයකි. 

 
හඳුන් ගසක පැළයක් සොයා ගැනීම ඉතාමත් අපහසුය. එය එසේ වන්නේ එයටම විශේෂිත වූ වර්ධන විලාසයක් පෙන්වන නිසාය. අනෙක් ගස් මෙන් හුදෙකලාව, ස්වාධීනව වැඩෙන්නේ නැත. මෙය අර්ධ පරපෝෂිත ශාකයකි. බීජ වෙනත් ශාකයක් ආධාර කර ගෙන වැඩෙන බැවින් පොළොවේ හැදුන ද, ළඟ තිබෙන කුමන හෝ ශාකයක මුල් ආධාරකයක් වශයෙන් ප්‍රයෝජනයට ගනී.   


මේ නිසා මෙම ශාකයට සමාන හැඩහුරුකම් ඇති වෙනත් ව්‍යාජ පැළ වෙළෙඳ පොළේ සුලභව දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණය වන්නේ කොකේන් ශාකයයි. ඉන් ඉතා පහසුවෙන් බීජ මගින් පැළ බෝකර ගත හැකිය. බීජ ද ඉතා සුලභය. සිටුවා වසරකින් බීජ ලබා ගත හැකි අතර, වසර පුරාම ඵළ දරයි.  ලංකාවේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකිය. මේ නිසා සුදු හඳුන් හා කොකේන් ගැන හරි අවබෝධයක් නැති අයට සුදු හඳුන් යැයි කියා කොකේන් පැළ අලෙවි කරති. මෙය අන්තරායකාරි මත්ද්‍රව්‍යයකි. වගා කිරීම තහනම්ය.   


මෙහිදී  තවත් වැදගත් කරුණක් වන්නේ, ආධාරක ශාකයේ ලක්ෂණ  සුදු හඳුන් ශාකයෙන් ද දක්නට ලැබීමයි. උදාහරණ ලෙස අත්තන ශාකයක් ආධාර කර ගෙන වැඩුණ හොත් එහි ඇති විෂ ද, හඳුන් ශාකයෙන් ලැබෙනු ඇත. එම නිසා එවන් ආධාරක මත ඇති ශාකවල පත්‍ර ආහාරයට නොගත යුතුය.   


බීජ මගින් සුදු හඳුන් පැළ බෝකර ගැනීමේ දී, පරපෝෂී සම්බන්ධතාවකට අවනත වන වෙනත් ශාකයක් සොයා ගත යුතුය. එහි කුඩා මුල් තිබීම අවශ්‍ය වේ. තවාන් පාත්තියක හෝ පොලිතින් බෑගයක බීජ පැළ කර ගන්නේ නම්, ධාරක ශාකයක බීජ පැළ සමග එකට සිටුවා ගත යුතුය.   


ස්තුතිය - මහාචාර්ය තවානන්දන් සිවානන්දවර්ල් මහතාට    

 

සටහන
සිසිර කුමාර බණ්ඩාර