අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශිත බදු නිසා ලෝකයෙහි ඇතිවී තිබෙන කම්පනය ඉතා බලවත්ය. මේ වනවිට රටවල් රැසක නායකයන් හා ආණ්ඩු මෙන්ම ව්‍යාපාරික හා රාජ්‍ය නොවන අංශද එක හෙළා වෙහෙස මහන්සි වෙන්නේ බදු නිසා ඇතිවී තිබෙන බලපෑම කළමනාකරණය කරගැනීමටය. එය ගෝලිය ආර්ථිකය අවුලෙන් අවුලට පත්කරන්නකි. එය ගෝලීය ප්‍රශ්නයයි. එහෙත් අමෙරිකානු දේශපාලනයෙහි රුව් දෙන තවත් මාතෘකාවක් වන්නේ ට්‍රම්ප් සමග කිරි පැණි සේ කල් ගත කර දැන් වහ කදුරු බවට පත්ව සිටින කෝටිපති ව්‍යාපාරික ඊලොන් මස්ක්, ට්‍රම්ප්ට අභියෝග කරමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යෝජනා කිරීමත් සමගයි. අමෙරිකාවේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම යනු අරුම පුදුම කාරණයක් නොවේ.
අප හැම සහ ලෝකය දන්නේ අමෙරිකා එක්සත් ජනපදය යනු ද්විපක්ෂ ක්‍රමය සහිත රටක් බවයි. ජනාධිපතිවරණයේදී හෝ කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩල සභිකයන් තේරීමේ ජන්ද විමසීම්වලදී පවා අප අසා ඇත්තේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක පිළිබඳවයි. එහෙත් අප බොහෝ දෙනෙකු නොදන්නවා වුවත් අමෙරිකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණනාවක් ඇත. ඒවා අක්‍රියද නොවේ. 2024 පැවති ජනාධිපතිවරණයේදි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය දිනාගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ට්‍රම්ප් ජයගැනීම
ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස එවකට බලයේ සිටි ජනාධිපති ජෝ බයිඩන් නම් කෙරුණු අතර පසුව ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් වීම නිසා උප ජනාධිපතිනි කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය දිනා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරගයට පිවිසි අතර ට්‍රම්ප් සීයට49.8 ක ජන්ද ප්‍රමාණයක් ලබා ජය ගත් අතර කමලා හැරිස්ට හිමිවූයේ සීයට48.3 ඡන්ද ප්‍රමාණයක් පමණි. මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඡන්ද බෙදී ගිය ආකාරයයි. එම සංඛ්‍යා දෙකේ එකතුව සීයට 98.1කි. එසේ නම් සීයට 1.9ක අඩුවක් පවතී. ඒ අඩුව වන්නේ ලෝකය නොදත්, ඇතැම් විට අමෙරිකානුවන් පවා නොදත් සුළුතර ජනාධිපති අපේක්ෂකයන් අතර බෙදී ගිය ඡන්ද ප්‍රමාණයයි. ට්‍රම්ප් හා කමලා හැරිස් ජනපතිවරණයට තරග කළහ. ඔවුන් අතර බෙදී ගිය ඡන්ද ප්‍රමාණය වෙන්නේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 1.9ක් පමණි. ඉන් එකදු අපේක්ෂකයෙකුට හෝ ඡන්දවලින් සීයට1 ඉක්මවා ඡන්ද ලබාගැනීමට නොහැකි විය. ඒ නිසා ඔවුන්ගේ නම් ගම් මාධ්‍යවල වැඩිපුර පළ නොවූ අතර ඡන්ද ප්‍රතිඵල සටහන්වලට පමණක් සීමා විය.අමෙරිකානු දේශපාලනයේ සුවිශේෂත්වය එයයි. අමෙරිකානු ඡන්ද පිටියට ප්‍රධාන පක්ෂවලින් බැහැරව පැමිණෙන බොහෝ දේශපාලනඥයන් නතර වන්නේ ප්‍රධාන පක්ෂ දෙකින් එකකයි. ඊට හේතුව ඔවුනට සුළු පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක සිට ජාතික තලයට පිවිසීමට නොහැකි තත්ත්වයක් මතුවීමයි. අමෙරිකාවේ දැනට පවතින සුළු පක්ෂ අතර වඩාත් ප්‍රමුඛව ඇති පක්ෂ කිහිපයකි. ඒ හරිත පක්ෂය, ලිබටේරියන් පක්ෂය, ව්‍යවස්ථාමය පක්ෂය, ප්‍රගතිශීලී පක්ෂය, සමාජවාදී හා විමුක්තිකාමී පක්ෂය, අමෙරිකානු සහයෝගිතා පක්ෂය ඇතුළු ප්‍රාන්ත හා ජාතික මට්ටම් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයකි. මේ නිසා අමෙරිකාවෙහිද ඉතා පුළුල් දේශපාලනික විවිධත්වයක් පෙන්නුම් කළද ද්විපක්ෂ ක්‍රමයක් මත කේන්ද්‍රගතවී තිබීම නිසා කුඩා පක්ෂවලට ඉඩක් නොමැති තත්ත්වය ඉතා පැහැදිළිව දක්නට ලැබේ.
මස්ක්ගේ පිහිට පැතීම
ඊලොන් මස්ක් අමෙරිකා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම නිවේදනය කරන්නේ මෙවැනි වාතාවරණයක් යටතේ ය. මේ සබඳතාව උඩ පහළ යන ආකාරයක් පෙන්නුම් කරන ඉතිහාසයකින් යුක්ත වූවකි. දෙදෙනා අතර මුලදී පැවතියේ එතරම් යහපත් සබඳතාවක් නොවේ. 2022 වසරේදී ට්‍රම්ප් ඊලොන් මස්ක්ව දැඩි ලෙස විවේචනය කළේ ඉතා බරපතළ පරිභවකාරී වචන යොදාගනිමිනි. මස්ක්ද ට්‍රම්ප්ට එවැනිම බසකින් සැලකීය. එහෙත් 2024 ජනාධිපතිවරණය එළැඹෙද්දී ට්‍රම්ප් හා මස්ක් අතර සබඳතා ශක්තිමත් වන්නට විය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු හබ වලට පැටළී විශාල වියදම් සහිතව දුෂ්කරතා මැද ජනාධිපතිවරණ සටනට පිවිසි යුගයයි. ඒ නිසා ට්‍රම්ප් කදවුර මස්ක්ගේ පිහිට පැතීය. මස්ක් ඊට එකඟ විය. මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට අරමුදල් සැපයූ ප්‍රධාන පුද්ගලයා විය. එම අගය ඩොලර් මිලියන 290 ඉක්මවයි. පසුකාලිනව මේ දෙදෙනා සමීපතමයන් විමේ ආරම්භය එයයි. මස්ක් මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ඔහුගේ දෑත් ශක්තිමත් කරවිමට කැපවූ චරිතයකි. ඔහු වරෙක ට්‍රම්ප්ගේ දකුණු අතය. තවත් වරෙක ඔහුගේ ප්‍රධාන මෙහෙයුම්කරුය. තවත් විටෙක ට්‍රම්ප්ගේ උපදේශකයෙකු ගේ භූමිකාව රඟපෑවේය. මේ නිසා ට්‍රම්ප් 2025 ජනවාරි 20 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ මස්ක් ඔහුගේ සෙවණැල්ල මෙන් සිටියේය. මේ සියල්ල තුළ ලෝකය දුටුවේ මෙවර ට්‍රම්ප් නව යුගයේ කෞටිල්‍යය කෙනෙකු සොයාගෙන ඇති ආකාරයයි. ට්‍රම්ප්ගේ තීන්දුවලට බොහෝ විට මස්ක් අතපොවන බවක් පෙන්නුම කළේය. DOGE යන කෙටි නමින් හඳුන්වනු ලබන රාජ්‍ය කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මස්ක් යටතට පවරනු ලැබීය. මස්ක් එය කොතරම් වේගවත් ලෙස හැසිරවීද යත් රාජ්‍ය සේවකයන් සියගණනකගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය විය. ට්‍රම්ප් සමග සමීපව කටයුතු කිරීම එතරම් පහසු කාරණයක් නොවේ. එය ඔහුගේ පළමු ධුරකාලයෙහිදී වඩාත් හොඳින් දක්නට ලැබුණ කරුණකි.
මතභේද උග්‍ර වීම
සමීපතමයෝ රැසක් ට්‍රම්ප් හැර ගියහ. එය පසුව ඊලොන් මස්ක්ටද පොදු විය. ට්‍රම්ප් මෙන්ම මස්ක්ද ප්‍රබල චරිත වූ නිසාත් එකෙක් අනිකාට යට නොවීමට අදිටන් කොට තිබූ නිසාත්, ට්‍රම්ප්ගේ දේශපාලන බලාධිකාරය තුළ හිඳිමින් ඔහු සමග ගැටීම අනතුරුදායක නිසාත් ඊලොන් මස්ක් ට්‍රම්ප් හැරගියේ මතභේදවල උච්ච ස්ථානය සනිටුහන් කරමිනි. ට්‍රම්ප් පාලනයේ සියලු වගකීම්වලින් මස්ක් ඉවත් වුයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මස්ක් ඒ වනවිට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළද යම් පසුබෑමකට ගොදුරුව තිබිණ. මස්ක් ඉවත්ව ගොස් නිකං සිටියේ නැත. ට්‍රම්ප්ව දැඩි ලෙස විවේචනය කළේය. ට්‍රම්ප්ද මස්ක්ට තර්ජන එල්ල කළේය. මේ ගැටුම දුරදිග යද්දී ඊලොන් මස්ක් ඉකුත්දා නිවේදනය කළේ නව පක්ෂයක් හඳුන්වා දෙන බවයි. ඒ පක්ෂය අමෙරිකා පක්ෂය ලෙස නම් කොට තිබිණ.
එහි අපේක්ෂාව අමෙරිකාවේ තුන්වැනි බලවේගය බවට පත්වීමයි. ඩොලර් බිලියන 405ක වත්කමක් සහිත ලොව ධනවත්ම පුද්ගලයා වූ මස්ක්ට දේශපාලනය සඳහා මුදල් වැයකිරීමේ ඉහළ ශක්‍යතාවයක් ඇත. එහෙත් ප්‍රශ්නය වෙන්නේ අමෙරිකානු දේශපාලන ක්‍රමය තුළ තුන්වැනි බලවේගයකට ඉඩක් ඇද්ද යන්නයි. මස්ක්ගේ දර්ශනය වන්නේ ව්‍යාපාරික ලෝකය දේශපාලනය අතික්‍රමණය කළ යුතු බවයි. දැනට ට්‍රම්ප්ද කර ඇත්තේ එයයි. කෙසේ වෙතත් මස්ක්ගේ මුදල් වලින් කොතරම් ශක්තිමත් තැනකට අමෙරිකා පක්ෂය ගෙනයා හැකිද? එසේත් නැත්නම් අනෙකුත් සුළු පක්ෂ දේශපාලන කණ්ඩායම් ගොන්නට එකතු වෙන තවත් සාමාජිකයෙක්ද? මේ ප්‍රශ්නය දැන් අමෙරිකානු දේශපාලන ලෝකය තුළ මෙන්ම ඉන් පරිබාහිරවද සංසරණය වන පුවතකි. විමසුමකි.
ප්‍රසාද් කෞෂල්‍ය
දොඩම්ගොඩගේ