කිරුළු අත්හළ මලලසේකර


 
පක්ෂ දේශපාලනයට වඩා දැනුම බෙදාදීම ප්‍රජාතාන්ත්‍රික මෙහෙවර  ලෙස සිතා කටයුතු කළ නායකයන් අපට හමුවන්නේ කලාතුරකිනි. මහාචාර්ය ජී. පී. මලලසේකර හෙවත් ගුණපාල පියසේන මලලසේකර එවැනි ගණයේ මිනිසෙකි.
 
ඔහු වරෙක දේශමාමකයෙකි. බෞද්ධ විද්වතෙකි. ලොවම පිළිගත් උගතෙකි. භාෂා විශාරදයෙකි. සාරගර්භ කථිකයෙකි. වියත් ලේඛකයෙකි.
 
ඔහු තරම් බෞද්ධ ධර්මය හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව මෑත යුගයේ සුවිශේෂ මෙහෙවරක් කළ අයකු සොයාගත නොහැකි තරම්ය. පානදුරාවාදය තුළින් මෙරට ඇති වූ බෞද්ධ ප්‍රබෝධය බටහිර රටවලට පවා පැතිර ගියේය.
 
නිර්මල බුදුදහම ලියැවී ඇති පාලි භාෂාව ඉගෙනීමට සුදු ජාතිකයන් තුළ ඇතිවූ උනන්දුව නිසා ඕල්කොට් තුමා හා බ්ලැවැට්ස්කි මැතිනිය වැනි උගත්හු මෙරටට ඇදී ආහ. පාලි ග්‍රන්ථ ඉංග්‍රීසි බසට පරිවර්තනය කර මුද්‍රණය කිරීම සඳහා ‘‘පාලි පුස්තකමාලා’’ නමින් ආයතනයක් පිහිටුවූ අතර එහි ප්‍රධාන කතුවරිය වූයේ කැරලයින් රිස් ඩෙවුඩස් මැතිනිය වූ අතර එතුමියගේ ප්‍රධාන ශිෂ්‍යයා වූයේ මලලසේකර ය.
 
කල්කටා විශ්වවිද්‍යාලයේ පාලිභාෂාව පිළිබඳ පාඨමාලාව ආරම්භ වූයේ අනගාරික ධර්මපාලතුමා සහ මලලසේකරයන් ගේ ඇපකැප වීමෙනි. එතුමා ලොව පළමුවන ප්‍රාවීන භාෂා මහාචාර්යවරයා වූයේය. ලංකාවට ආ විගස බෞද්ධ පරම විඥානාර්ථ සමිතියේ මෙහෙයවීමෙන් ආනන්ද, ධර්මරාජ, නාලන්ද‌ා, ධර්මශෝක වැනි බෞද්ධ අධ්‍යාපනික ආයතන බිහිකර එතෙක් මෙරට දේශපාලනඥයන්ටත් ගොඩනැගීමට නොහැකි වූ බෞද්ධ පුනරුද වැඩසටහන් රැසක් හඳුන්වා දුන්නේය. මෙහිලා ආනන්ද විදුහල්පති ධූරය දැරූ පී. ද ඇස් කුලරත්නයෝ මහෝපකාරි වූහ.
 
මලලසේකරයෝ ලෝක බෞද්ධ සම්මේලනය පිහිටුවාලීමට පුරෝගාමී වූ අතර බුදු දහමේ හරය වටහාදි කුල ගෝත්‍ර, ආගම්, දර්ශන, දේශපාලනය වැනි බැමිවලින් බැඳී සිටි ජනතාව ඒවටා ඒකරාශි කිරීමට උත්සුක වූහ. ඉන්දියාවේ හරිජන නායකයා වූ බී.ආර්. අම්බෙඩ්කාර් සමග කළ සංවාදවල ප්‍රතිඵලය වූයේ ඔහු ඇතුළු අනුගාමිකයන් බුදු දහම වැලඳ ගැනීමය.
 
එතුමා දේශපාලන මත දරාගෙන කිසිදා වේදිකාවට පිවිස නැත. එහෙත් අගමැතිවරුන්ගේ නොමඳ ආදර ගෞරවයට එතුමා ලක්වූයේ එම නිහතමානිකම හා අපක්ෂපාතිකම නිසාය. තැනට සුදුසු නුවණ නිසාය.
 
එතුමා ප්‍රසිද්ධ ජනතා සභාවක පැවැත්වූ පළමු කතාව නම් චීනයේ පළමු අගමැති චෞඑන්ලායි මෙරටට පැමිණි  දා නිදහස් චතුරශ්‍රයේදී පැවති පිළිගැනීමේ කතාවය. අගමැති බණ්ඩාරනායක මුලසුන ඉසිලූ එම රැස්වීමේ දී චීන අගමැතිවරයා පැවසුවේ මම කතා කරන්නේ ‘‘මව් භාෂාව වන චීන බසින් බවයි.
 
මෙය ඇසූ බණ්ඩාරනායක මැතිඳු කලබලයට පත්විය. චීන බස  සිංහලට හැරවීමේ සමතකු එතෙක් තමන්ට හමු නොවූ බැවිනි. සංවිධායකවරු ද මුහුණට මුහුණ බලාගෙන මිමිනූහ. නිහඬතාව බිඳ දමමින් මලලසේකර නැගිට්ටේය. ‘‘ඔබතුමා අවසර දෙනවනම් මං ඒක කරන්නම්’’ යයි පැවසීය. එහෙත් එතුමා භාෂා ගණනාවක ප්‍රවීණයකු වුවද චීන බස නොදැන සිටියේය.  කුතුහලය මැද්දේ වුවද ඊට අවසර ලැබිණ.
 
එතැන් පටන් ගතවූ හෝරාව පුරා චීන අගමැති වෞඑන්ලායිගේ සාරගර්භ කතාව හා මලලසේකරගේ සිංහල පරිවර්තනය සබාගැබ පුරාම රැව් දුන්නේය. 
 
‘‘තමුන්නාන්සේ හරි මිනිහෙක් නෙ. මං දැනන් හිටියෙ නෑනෙ ඔහේ  චීන බාසාවත් දන්නව කියලා.’’ අගමැති පසුව මලලසේකරට ළංවී කීවේය. මලලසේකරගේ පිළිතුර වූයේ මං දන්න කෙහෙල්මල් චීන බාසාවක් නෑ.’’කියාය.  එහෙනම් කොහොමද මෙච්චර ලස්සනට පරිවර්තනය කළේ. බණ්ඩාරනායක ඇසීය.
 
නමුත් මං දන්නවා අගමැතිවරයෙක් කියන දේ මොනවද කියලා ඒ විදියටම මාත් කළා’’ මලලසේකර ඇඟපතට නොදැනීම කීවේය.
 
මලලසේකරයන් එංගලන්ත  මහකොමසාරිස් ධුරය දරද්දී පැවැති සාදයේදි මවුන්බැට්න් සාමිවරයා මෙසේ පැවසීය. ‘මා  ලංකාවට හරි ආදරෙයි. ඔබතුමා මේ ධුරයේ ඉන්න නිසා මං ඕනෑම දෙයක් කරල දෙන්නම්’
 
‘මට හයමාසයක් දෙන්නකො’ මලලසේකර පැවසීය.
 
හරියටම හය මසකට පසු අපූරු යෝජනාවක් මෙරට බෞද්ධයන්ගෙන් ලැබිණ. එනම් නුවර පෙරහර වගේ පෙරහරක් ලන්ඩන් නුවර පැවැත්වීමටය. මෙය ඉතා භාරධූර කර්තව්‍යයක් බව බැලු බැල්මට පෙනිණ.
 
මලලසේකර සිහිපත් වුණේ මවුන්බැට්න් සාමිවරයාගේ පොරොන්දුවයි.
 
‘අපේ රටේ දළදා පෙරහර වගේ පෙරහරක් අපට මෙහේ පවත්වන්න අවසර ඕනෑ. ඒ වගේම අලි 4 දෙනෙක් විතර එංගලන්ත සතුන්වත්තෙන් ගන්නත් ඕන’
 
මෙම අපූරු ඉල්ලීම ඉවත දැමිය නොහැකි බව සාමිවරයාට වැටහිණ. මහආණ්ඩුවක් සමග කළ දීර්ඝ  සාකච්ඡාවෙන් පසු උඩරට පහතරට නැටුම් හා විශේෂාංග රැගත් නුවර පෙරහරේ ආකෘතික පෙරහරක් පළමුවරට එංගලන්තයේ විදී සංචාරය කෙරුණේ ආලෝක ධාරා මධ්‍යයේය. 
 
බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ ඝාතනයෙන් පසු ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසරණ විය. නායකයෝ ඔවුනොවුන්ගේ මතවාද අතර බෙදී යන ලකුණු පහළ විය. නියෝජ්‍ය නායකවූ ඉඩම් ඇමැති සී. පී. ද සිල්වා සිටියේද රෝගී සයනයේය.
 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට පිවිස සිටියේ නැත. ඇය හා පවුලේ උදවිය තමන්ගේ එකම වැඩිහිටි රැකවලා ලෙස සැලකුවේ  මලලසේකර මැතිඳුන්ය. ‘‘ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර අරන් රට  බේරාදෙන්න’’  ඔවුහු ඉල්ලා සිටියහ.
 
මෙවැනි යෝජනාවක් වෙනත් බලලෝභී නායකයකු නම් පිළිගන්නේ එකහෙළාය. එහෙත් කල්පනාහරිත වූ මලලසේකර පැවසුවේ කුමක්ද?
 
‘‘මං දැන් ගුරුවරයෙක්. ඒ නිසා මට ඒ යෝජනාව පිළිගන්න බෑ. කියාය. පක්ෂ දේශපාලනය වැලඳගතහොත් සමාජයේ සැමටම එක ලෙසින් සැලකිය නොහැකි වනු ඇතැයි ඔහු සිතුවා විය හැකිය. දේශපාලනය තුළ පොරොන්දු දිය යුතුය. තර්ජන ගර්ජන කළ යුතුය. සෑම සංස්ථාවක්ම  පාලනය කළ යුතුය. හිතවත්කම්වලට සැලකිය යුතුය. මෙය ගුරුවරයකුට තරම් නොවන බව එහි හරයයි.
 
1956 දී සමාජ හා දේශපාලන පරිවර්තනයට හේතු වූ කරුණු අතර මලලසේකරගේ ‘‘දස පනත’’ ද වෙයි. 1955 දී ඔහුගේ මූලිකත්වයෙන් ඇරඹි බෞද්ධ කොමිෂන් සභාවෙන් ‘දස පනතක්’ යෝජනා විය. මේ සඳහා දේශපාලන අධිකාරියේ සහය ලබාගන්නා ලෙස මලලසේකරට පැවරිණ.
 
ඩඩ්ලි සේනානායක සමග මලලසේකර දැඩි මිත්‍රත්වයක් තිබිණ. එවකට ඩඩ්ලි දේශපාලනයෙන් ඈත් වී සිටියේය. ඔහු කීවේ මේ ගැන විපක්ෂ නායක බණ්ඩාරනායක සමග කතා බහ කරන ලෙසය.
 
අනතුරුව මලලසේකර ඇතුළු පිරිස එතුමා හමුවූ අතර බණ්ඩාරනායකවරුන් මෙම යෝජනා පිළිගත්තා පමණක් නොව ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්ති මාලාවට ද ඇතුළත් කරන ලදී. 1956 මහ මැතිවරණයට පංචමහ බලවේගය නියෝජනය කරමින් ශ්‍රීලනිපය ඉදිරිපත් වූයේ ‘දස පනත’ පෙරට දමමිනි. අතිවිශිෂ්ට ජයක් ඔවුන්ට හිමිවූයේද එම ‘දසපනතේ’ බලයෙනි.
 
විශ්වවිද්‍යාල ජීවිතයට කොටුවී නොසිට ප්‍රායෝගිකව නව පරපුරේ අනාගතය උදෙසා පක්ෂ දේශපාලනයෙන් තොරව ප්‍රගති යෝජනා ගෙන එමින් තන්වැසි නැණින් කටයුතු කළ මලලසේකර අපේ දේශපාලනඥයන්ට පූර්වාදර්ශයකි.
 
මලලසේකරයන්ගේ චරිතයේ විශේෂ ලක්ෂණයක් වන්නේ ගතානු ගතිකව ප්‍රතිපත්ති අනුගමනය නොකිරීමයි. උදාහරණයක් වශයෙන් එතුමා සෝවියට් රුසියාව වැනි ආසියාතික  රටවල මෙන්ම එංගලන්තය වැනි බටහිර  රටවලද තානාපති තනතුර දැරූ නමුත් ප්‍රියසාද සඳහා මත්පැන් භාවිතය වැනි සාම්ප්‍රදායික ඇබ්බැහිවීම්වලට දායක නොවිය. ‘මත්පැන් සාද පැවැත්වීම මගේ ප්‍රතිපත්තීන්ට එකඟ නැහැ’ රුසියන් තානාපති ධුරය පිරිනැමුණු අවස්ථාවේ මලලසේකර අගමැති බණ්ඩාරනායකට කීය.
 
‘සම්ප්‍රදායික ප්‍රතිපත්ති එහෙම්මම තිබුණා වේ. ඔබ ඔබේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න එ්කයි රටට අවශ්‍ය’ බණ්ඩාරනායක ඔහු අස්වසමින් කීය. 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි