“ක්ලබ්” නොවු “පබි”


කාර්‍යබහුල ජීවන රටාවක් උරුම කෙරී ඇති නූතන සමාජයේ මිනිසුන්ට විවේකය ගත කිරීම සඳහා ඇත්තේ ඉතා කුඩා කාල පරාසයක්. ඇතැමුන් එම කුඩා කාල සීමාවේ පොත්පත් කියවීමට, චිත්‍රපට නැරඹී වැනි විනෝද ක්‍රියාකාරකම් සඳහා යොමුවන අතරම -  විවිධ විෂයයන් ගැන අල්ලාප සල්ලාපයේ යෙදීමටත්, අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, සංවේදනා සමහන් කර ගැනීමටත් ඇතමුන් සිය සමීපතමයින් සමග කාලය ගත කිරීමට විශේෂිත වූ කැමැත්තක්  දක්වනවා.   

නූතන වෙළෙඳපොළ අර්ථ ක්‍රමය විස්ථාරණය වීමත් සමග හෝරා කීපයක් එකට එක් වී ගාල් ව සිටීම සඳහා, නැත්නම් ඒකරාශීව සිටීම සඳහා “පබ්” නමින් හඳුන්වන සුවිශේෂ ස්ථාන ලෝ පුරා රටවල හතර දිසාවේම ස්ථාපනය වී තිබෙනවා. අද වෙන විට මේ පබ් ඒවාටම අනන්‍ය වූ සංස්කෘතියක් ද ගොඩ නගා ගෙන පවතින සෙයක් පෙනෙනවා.

පබ් සංස්කෘතිය යනු,

මෙරියම්-වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව පබ් එකක් මූලික වශයෙන් අර්ථ දක්වා ඇත්තේ මධ්‍යසාර පාන වර්ග පිරිනමන ආයතනයක් ලෙසයි. නමුත් බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ජනතාවට පබ් එකක් යනු මධ්‍යසාර පාන මිල දී ගැනීමට සහ පරිභෝජනය කිරීමට ස්ථානයක් පමණක් නොව ඔවුන් ගේ පොදු සංස්කෘතියේ නිත්‍ය නැවතුමකි. “පොදු නිවස” යන්න අරුත් ගන්වන යෙදුමක් ලෙස ගැනෙන පබ් එකක් යනු - බ්‍රිතාන්‍ය ජන ජීවිතයේ අනිවාර්ය  සාම්ප්‍රදායික ආයතනයකි. පබ්වලට එක්සත් රාජධානියේ දිගු ඉතිහාසයක් ඇති අතර - මිනිසුන්ට විවේක ගැනීමට, සමාජගත වීමට සහ  රසමසවුලෙන් සපිරිව මධ්‍යසාර පානය කරමින් අල්ලාප සල්ලාපයෙහි යෙදිය හැකි සමාජ රැස්වීම් ස්ථාන ලෙස ප්‍රසිද්ධය. 

අන් ලෙසකින් කියන්නේ නම් - පබ් සංස්කෘතිය යනු, විවේකය ගත කිරීමටත් විනෝදාස්වාදය පිණිසත් නිර්මාණය කරන ලද සමාජ හා සංස්කෘතික නිකේතනයකි. මෙය මිතුරන් අතර සුහදත්වය ගොඩ නැගීමට මෙන්ම, සංගීතය, විනෝදාස්වාදය, ක්‍රීඩා සහ සන්නිවේදන ක්‍රියාකාරකම් ගොණු කෙරුණු පොදු සමාජ ව්‍යුහයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිවේ. 

පබ් සංස්කෘතියේ පැටිගිරිය 

පබ් යන වචනය ජනශ්‍රැතියට එක් වෙමින් ඒ සංස්කෘතික මෙවලම ජන ජීවිතය හා බද්ධ වී ඇතැයි සැලකෙන්නේ 19 වන සියවසේ මුල් භාගයේ දීය. බ්‍රිතාන්‍ය බලපෑම ඇති රටවල සහ කලාපවල පබ් ආකෘතිය ජනප්‍රිය වී තිබේ. විශේෂයෙන් ගම්වල පබ් යනු දේශීය ප්‍රජාවන් ගේ කේන්ද්‍රස්ථානය ලෙසද සැලකේ. මෙම යෙදුම ප්‍රථම වරට එංගලන්ත විසින් හැඳින්වූයේ 17 වන සියවසේ අග භාගයේ දී, පුද්ගලික නිවාස මහජනතාවට විවෘතව ඇති නිවාස වලින් ඇල්හවුස්, තැබෑරුම් සහ තානායම් ලෙස වෙන්කර හඳුනා ගැනීම සඳහා ය. එම සියවසේ දී සැමුවෙල් පිපිස් පබ් එක "එංගලන්තයේ හදවත" ලෙස විස්තර කළේය. 

මෙම  පබ් ​​සංස්කෘතිය ආරම්භ වූයේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ වන අතර, එහිදී පබ් එකක් සියවස් ගණනාවක් තිස්සේ මිනිස් ජීවිතයේ ප්‍රධාන අංගයක් විය. එමෙන්ම මෙම පබ් සංකල්පය පුරාණ රෝමය සහ ග්‍රීසිය දක්වා දිව යයි. 

කෙසේ වෙතත් අද අප දන්නා පරිදි නූතන පබ් සංස්කෘතිය එක්සත් රාජධානියේ සහ අයර්ලන්තය යන රටවල දී ආරම්භ වූවායැයි සැලකේ. 

පබ් ලෝ පුරා ව්‍යාප්ත වූ අයුරු.

යටත් විජිතකරණය, සංක්‍රමණය, ගෝලීයකරණය, සංස්කෘතික හුවමාරුව, මාධ්‍ය බලපෑම, සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු විවිධ සාධක හරහා ලොව පුරා පබ් සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත. එක්සත් රාජධානිය සහ අයර්ලන්තය වැනි රටවල සංචාරය කළ වෙනත් රටවල වැස්සෝ - පබ් සංස්කෘතිය හා බද්ධ වෙමින් විනෝදාස්වාදයෙන් ජීවිතය රස විඳින ඒ  රටවල ජනයා දැක, අනුක්‍රමයෙන් සිය රටවල ද පබ් සංස්කෘතිය රෝපණය කළහ. ඒ අනුව අද බොහෝ රටවල පබ් සොයා ගත හැකි අතර, ඒ සෑම එකකම පාහේ ස්වදේශික අංග ලක්ෂණ නිරීක්ෂණය කළ හැක.

පබ් සංස්කෘතියේ ගෝලීය ව්‍යාප්තිය විවිධාකාරය. පබ් සමාජගත කිරීම, විනෝදාස්වාදය සහ ප්‍රජා ගොඩනැගීම සඳහා ජනප්‍රිය රැස්වීම් ස්ථාන ලෙස සේවය කරයි.

පබ් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වන අතර, පබ් සහ ඇල්හවුස් කෙරෙහි ඔවුන් දැක්වූ සුවිශේෂීත්වය එම සංස්කෘතිය දිවයිනට ගෙන ඒමට ඉවහල් විය.  

අද වෙන විට පබ්

වත්මනෙහි මෙම පබ් සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්තව ඇතත් -  එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, හා කැනඩාව වැනි රටවල වඩාත් වැඩි ව්‍යාප්තියක් හා ජනප්‍රියත්වයක් උසුලනු ලබයි. පබ් එකකට යන්නෙකුට ​​සාමාන්‍යයෙන් විවිධ ආහාර සහ පාන වර්ග පිරිනමනු ලැබේ, ඒවා අතර 

මධුවිත පාන වර්ග, වයින් සහ කොක්ටේල් 

බර්ගර්, සැන්ඩ්විච් සහ සුලු කෑම බොහෝමයක රස විඳීමට අවස්ථාව ද ලබාගත හැකිවීම විශේෂත්වයකි.

මිනිසුන් අතර පබ් සංස්කෘතිය වඩාත් ජනප්‍රියත්වයට පත් වීමට හේතු කාරණා රැසක් බලපෑම් කර ඇත. එනම්, හුදෙකලා බවින් බවින අත්මිදී, ජීවිතයේ ඒකාකාරී බව හා විඩාබර බව දුරු කරවා ගෙන මානසික ආතතියකින් තොර සමාජශීලී දිවි පෙවෙතකට මිනිසා තුළ ඇති අභිරැචිය නිසා පබ් සංස්කෘතිය ජනප්‍රිය වීමට මූලික වන්නට ඇතැයි සිතිය හැකිය. 

සජීවී සංගීත සැපයීම්, ක්‍රීඩා   අවස්ථා සලසා දීම්, විවිධ වූ ආහාර වර්ගවල රස බැලීමටත් බියර් ඇතුළු සෙසු මධුපානයන් පරිභෝජනය කිරීමට නිදහස් ස්ථානයක් ලැබීම යන හේතු කාරණා රාශියක් මුල් කර ගෙන අදවන විට පබ් සංස්කෘතිය  මිනිසුන් අතර ජනප්‍රිය වී ඇත. 

පබ් වර්ග ගණනාවකි

මෙසේ  ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත්වන්නා වූ පබ් සංස්කෘතිය  ලොව පුරා විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. ඒවා - ක්‍රාෆ්ට් බියර් පබ්, සජීවී සංගීත පබ්, ක්‍රීඩා පබ්, ගැස්ට්‍රෝ පබ්, අයර්ලන්ත පබ් යනා දී වශයෙනි.

විනෝදාස්වාදය ලබා ගැනීම මූලික කර ගෙන බොහෝමයක් කොළඹ අවට මධ්‍යම පාංතික ජනතාව හැන්දෑයාමේ හෝ රාත්‍රී කාලයේ දී පබ් එකකට යාම ඔවුන් ගේ දින චරියාවේ කොටසක්  බැව් කිව යුතුමය. එමෙන්ම තව නොබෝ කාලයක් ගත වීමට පෙරාතුවම සුපිරි වෙළෙඳසැල් ව්‍යාප්ත වූ ආකාරයෙන්ම මෙකී පබ් සංස්කෘතිය දිවයින පුරා ප්‍රාදේශීයව  ව්‍යාප්ත වනු නිසැක ය.

මදූශා දිල්ශානි