පළාත් කොමසාරිස් ගැන නඩු තීන්දුව 15 වැනිදා
සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ දී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගත් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් පනවා ඇති නඩුව සහ තවත් එවැනිම නඩු කිහිපයක අවසන් දේශන ඉකුත් සිකුරාදා පැවැත්විණි. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට කතා කළ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි විමසුවේ ඉදිරි දිනවල කුමක් සිදුවේ ද කියාය.
‘‘“චන්දන මේ වෙනකොට අවසන් දේශන තමයි යන්නෙ. සඳුදාට තීන්දුව දෙනවා කියලා එකඟතාවකට ඇවිත් තියෙනවා.. අපිට තියෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යටතේ බාධාවකින් තොරව ඉදිරි කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. කොමසාරිස්වරියගෙ බලතල ගැන ව්‍යවස්ථාවෙ හරිම පැහැදිලිව තියෙනවා නෙ’’ නීතිඥ වටගල ඇමැතිවරයා චන්දන සූරියආරච්චිට පිළිතුරු දුන්නේය.
කොමසාරිස්වරියගේ තීන්දු සම්බන්ධයෙන් පැනවූ නඩුවල දී නීතිපතිවරයාගේ සහාය ඇය වෙනුවෙන් ලබා දෙන්නට රජය තීන්දු කළේය. එයට අමතරව ජාතික ජනබලවේග නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිප්ල් හැජ් ජ්‍යෙෂ්ඨ, නීතිඥ ශාන්ත ජයවර්ධන සහ චාමර නානායක්කාරවසම් යන නීතිඥවරු කොමසාරිස්වරිය වෙනුවෙන් පෙනී සිටියහ.
පොලිසියට පන්දාහක්
මේ දිනවල පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පන්දාහක් පිරවීමේ කටයුතු සිදුවෙයි. ඒ සඳහා පදනම වැටුණේ ආණ්ඩුව බලයට පත් වූ අලුත ජනාධිපති අනුර කුමාර දිසානායක මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල යන අය කැඳවා සිදුකළ සාකච්ඡාවක දී පුරප්පාඩු පිරවීම සඳහා පොලිසියට පන්දහසක පිරිසක් බඳවා ගැනීමට අවසර ලැබිණි.
සජබයෙන් ආණ්ඩුවට දොස්
සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් සඳුදා පැවැත්වුණේ සූම් තාක්ෂණය මගිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් ගණනාවක්ම පැමිණිලි කළේ කථානායකවරයාගේ ක්‍රියාපටිපාටිය මාලිමාවට පක්ෂපාත බවය. ජගත් විතාන මන්ත්‍රීවරයා තමාට වූ අත්දැකීමක් මෙහි දී විස්තර කළේය.
‘‘මට පැහැදිලිවම අසාධාරණයක් වුණා. මතුගම සභාවේ බලය පිහිටුවන්න කලින් දවසේ අපේ මන්ත්‍රී කණ්ඩායම පැහැර ගනියි කියන බයට එක තැනකට එකතු වෙලා. හිටියේ අපිට විවිධ තර්ජන ආවා. මම ආණ්ඩුවෙ වගකිව යුත්තෙකුට කතා කරල රෑ නවය වෙනකම් අපිට ආරක්ෂාව ඉල්ලුවා. මෙයා කිව්වෙ පහුවදා ඇවිත් පැමිණිලි කරන්න කියලා. ඔන්න එයාගෙ උත්තරය. රෑ ඕනෑ ආරක්ෂාවට පහුවදා කියල හරි යනව ද? මෙයා පක්ෂපාතයි. අපිට රැකවරණයක් නෑ.’’
දයාසිරි ජයසේකරද ආණ්ඩුවේ කටයුතු ගැන දැඩි විවේචනයක් කළේය.
‘‘අපි පාර්ලිමේන්තුවෙදී ආණ්ඩුව විවේචනය කරන කොට මෙයාල හදන්නෙ කතා කරන අය සිරගත කරන්න. හිරේ දාල කටවහන්නයි මෙයාල හදන්නෙ. දැන් බලන්න මන්ත්‍රීවරයෙක් ගැන කතාකරන්න බෑ. අපහාස කළා කියල සීඅයිඩියෙ පැමිණිලි කරනවා. ඔය සාපරාධී අපහාස නීතිය දෙදාස් දෙකේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අහෝසි කළා. ඊට කලින් සිංහ රත්නතුංගව වික්ටර් අයිවන්ව ලසන්ත වික්‍රමතුංගව උසාවි අරගෙන ගියා ශ්‍රී ලංකා ආණ්ඩුව එයාලට අපහාස කළා කියලා දැන් ඒ නීතිය නෑ. අද මේ ආණ්ඩුව අය පොඩ්ඩ ඇත්තම් සීඅයිඩී ගිහින් පැමිණිලි කරනවා. සාපරාධී අපහාසය ගැන ප්‍රශ්න කරන්න සී.අයි. ඩියට බලයක් නෑ. මොකක් හරි ප්‍රශ්නයක් නම් එන්තරවාසියක් එවල නඩු දාන්න ඕනෑ. සී.අයි.ඩී එකට මෙයාල ගියාට. එයාලට බලයක් නෑ ගෙන්වල ප්‍රශ්න කරන්න. අපි මේකට පියවරක් ගන්න ඕනෑ.’’ දයාසිරි ජයසේකර කියා සිටියේය. එයට මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළ විය.
ඊළඟ ප්‍රශ්නෙ ආණ්ඩුවෙ අහවලා
එයා වාහන තුනක් පාවිච්චි කරනවා. නිල නිවාසෙ පාවිච්චි කරන්නෙ නෑ කීවට ඒකෙ තියපු රැස්වීම්වල දිනත් එක්කම අපි ළඟ තියෙනවා. මෙතුමාට පොදු දේපොළ පනත යටතේ අපිට පැමිණිලි කළ හැකියි.’’ දයාසිරි තවදුරටත් කියා සිටියේය.
‘‘කන්ටේනර් ප්‍රශ්නෙ ගැන අපේ මන්ත්‍රීවරු කතා කළා මුජිබර් මන්ත්‍රීතුමා ජනාධිපති පත් කළ කමිටුවෙ වාර්තාව පාර්ලිමේන්තුවෙ සභා ගත කළා. ආණ්ඩුව මේ වාර්තාව හංගල තිබුණෙ. දැන් මුජිබර් ඇතුළු මේ ගැන කතා කළ අයට සීඅයිඩී එන්න කියල. මන්ත්‍රීවරුන්ට කතා කරන්න අයිතියක් නැද්ද? මොකක්ද සීඅයිඩියට තියෙන රාජකාරිය මන්ත්‍රීවරු ගැන මේක මන්ත්‍රී වරප්‍රසාද ගැන ප්‍රශ්නයක්.’’ කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවසර දෙන ලෙසය. කථානායකවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ද තීන්දු විය.
කථානායක කියන කතාව
විපක්ෂය කථානායකවරයා ගැන එසේ කියද්දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න කියන්නේ කතානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බවය. ජාත්‍යන්තර සබඳතා මූල්‍ය නීතිය ආණ්ඩුකරණය ආදී විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැලසුම් කර ඇති බවද කථානායක ජගත් වික්‍රමරත්න සඳහන් කරයි. යුරෝපා සංගමයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී කතානායකවරයා මේ බව පැවසීය.
මන්ත්‍රී වැටුප එළියට ඇවිත් ජංජාලයක්
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඉකුත් සතියේ දේශපාලන ක්ෂේත්‍රය කලඹවමින් මන්ත්‍රීවරයකු ලෙස තමාට ලැබෙන වැටුපට අදාළ වැටුප් පත්‍රිකාව සමාජ මාධ්‍යයේ පළ කළේය. මන්ත්‍රී ධුරයට තරග වදින විටම විතාන පොරොන්දු වී තිබුණේ තමා මන්ත්‍රී වැටුප නොගන්නා බවත් එම මුදල පොදු කටයුතු වෙනුවෙන් යොදවන බවත්ය. පොරොන්දු වූ ආකාරයටම මන්ත්‍රීවරයා තමාට ලැබෙන මාසික වැටුප පොදු කටයුතු වෙනුවෙන් යොදවා එසේ ප්‍රතිලාභ ලැබුණු පුද්ගලයන් හා එම ව්‍යාපෘති පිළිබඳ විස්තරාත්මක සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ තමාට ලැබෙන වැටුප් පත්‍රිකාවද සමගය. දේශපාලන බෝම්බයක් ලෙස සැලකිය හැකි මන්ත්‍රී වැටුප් පත්‍රිකාවක් මෙසේ එළියට ආවේ පළමු වතාවටය. ඒ අනුව මන්ත්‍රී වැටුප වන රුපියල් 54285 ත් එයට අමතරව ලැබෙන විවිධ දීමනාත් සමග සෑම මසකම රුපියල් තුන්ලක්ෂ හතළිස් දහසකට ආසන්න වැටුපක් මන්ත්‍රීවරයෙකුට ලැබෙන බව හෙළිදරව් විය. ඇතැම් දේශපාලකයන් නිරතුරුව කියන්නේ. මන්ත්‍රී වැටුප රුපියල් පනස් හතර දහසක් පමණක් බවය. එහෙත් ලක්ෂය ඉක්මවන කාර්යාල දීමනාවක් සමග මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුප රුපියල් තුන්ලක්ෂ හතළිස් දහසකට ආසන්න බව සමාජයට හෙළිදරව් වූයේ පළමු වතාවටය.
මෙම හෙළිදරව්වෙන් පසු ජගත් විතාන මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුම් ගණනාවක් ආවේය. සමහර මන්ත්‍රී සගයන් විමසුවේ ජගත් ඔයාට ජීවත්වෙන්න ආදායම් මාර්ග තිබුණට අපට නෑ මෙහෙම වැටුප එළියට දාපුවම අපි අමාරුවෙ වැටෙනවා කියාය. තවත් සමහර ඇමතුම් මගින් ජගත් විතාන කළ කටයුත්ත අගය කර තිබිණි. අපි අදයි දැනගත්තෙ මන්ත්‍රී වැටුප හරියටම ආණ්ඩුවත් නිතර කියන්නෙ මන්ත්‍රී පඩිය විතරයි ගන්නෙ කියල පඩිය කියන්නෙ ලක්ෂ තුන හමාරට ආසන්න ගණනක් කියල අපි දැන ගත්තේ ඔබතුමා පේෂීට් එක එළියට දාපු නිසා’’ එම පිරිස් පවසා තිබිණි.
‘‘මම පේෂීට් ටික එළියට දැම්මේ මගෙ වැටුපෙන් කරපු පොදු කටයුතුවල සම්පූර්ණ විස්තරයක් එක්කයි. මම ඡන්දෙට කලින් පොරොන්දු වුණා නෙ. පඩිය ගන්නෙ නෑ කියල. මම ඒ බව පෙන්වන්නයි මේ ටික එළියට දැම්මේ’ ජගත් විතාන කියා සිටියේය.
තවත් සභා දහයක තීන්දුව ඉදිරියේදී
කිසිම පක්ෂයකට බහුතරය නොලැබුණු පළාත් පාලන ආයතන දහයක බලය පිහිටුවීම පමණක් මේ වන විට ඉතිරිව තිබේ. එම ආයතනවල බලය ලබා ගැනීම සඳහා සජබ ප්‍රමුඛ විපක්ෂය ඉකුත් සතියේ අදාළ ආයතනවල මන්ත්‍රීවරුන් මුණගැසී සාකච්ඡා ගණනාවක් පැවැත්වීය. පොහොට්ටුව සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන් සමග මේ සාකච්ඡා පැවැත්වුණේ අංක තිහ දරණ විපක්ෂනායක කාර්යාලයේදීය. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පිරිස එම සාකච්ඡාවල නිරත වූහ. ඒ අතරින් සභා දෙකක් වන පැල්මඩුල්ල හා දැරණියගල බලය පිහිටුවීමේ කටයුතු ඉකුත් සතියේ පැවැත්විණි. පැල්මඩුල්ල සභාවේ නිලවරණයද විවෘත ඡන්දයක් නොතබා රහස් ඡන්දයක් පැවැත්වීමට නිලධාරීන් පියවර ගැනීමත් සමග විපක්ෂය විරෝධය පළකර සභාවෙන් එළියට පැමිණි නිසා ගණපූරණය නොමැති වීමෙන් නිලවරණය කල්ගියේය. දැරණියගල සභාවේ බලය විපක්ෂය එකතුවීම නිසා සමගි ජනබලවේගයට හිමිවිය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සභා තුනක බලය පිහිටුවීමේ නිලවරණ 15 වැනිදාට පෙර පැවැත්වෙන අතර එම සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන් සමග ද සජබ නායකයන් සාකච්ඡා කළේ එක්ව බලය ලබා ගැනීම සඳහාය.
බණ්ඩාරවෙල මන්ත්‍රී ප්‍රශ්නය නොවිසඳෙයි
පළාත් පාලන මැතිවරණයේදී සජබයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත්කිරීම ආයතන විසි අටක සිදුවී තිබුණේ නැත. ඉකුත් සතියේ එම ආයතනවල මන්ත්‍රී ලැයිස්තු සම්පූර්ණ කිරීම සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධාය තිස්ස අත්තනායක හා හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පළාත් පාලන කමිටුව දිගු සාකච්ඡාවක නිරත වූහ. මෙම දීර්ඝ සාකච්ඡාවේදී ගැටලු පැවැති ආයතන විසි හතරකම ප්‍රශ්න විසඳා මන්ත්‍රීවරුන් නම් කිරීමට එම කමිටුව සමත් විය. එහෙත් බණ්ඩාරවෙල මහර ඇතුළු ආයතන හතරක පුරප්පාඩු පිරවීමට එදිනද අවසන් නිගමනයකට පැමිණීමට හැකි වූයේ නැත. ආසන සංවිධායකවරුන්ගේ විරෝධතා ආදියෙන් මෙම සභා විසි අටේ පත්කිරීම් කල් ගොස් තිබිණි. ඉතිරි වූ සභා හතර පිළිබඳ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේද අදහස් ලබාගැනීමෙන් පසු පසුව තීන්දුවක් ගැනීමට නියමිතය.
හිටපු ජනපති මහින්දට ඇබැද්දියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ඉකුත් දා කියා සිටියේ පක්ෂයට ගම්මට්ටමින් විශාල උනන්දුවක් ඇතිවෙමින් තිබෙන නිසා පළාත් පාලන ඡන්ද කොට්ඨාස මට්ටමින් සංවිධායකවරුන් පත්කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමු කියාය. ඒ අනුව එම කටයුත්ත මාතර දිස්ත්‍රික්කයෙන් ඉකුත් ඉරිදා ආරම්භ විය. එවැනි කටයුත්තක් ආරම්භ වූයේ පළමු වතාවටය. මාතර රැස්වීමට විශාල ජනසභාගීත්වයක්ද දක්නට ලැබුණි. එහෙත් එම කටයුත්ත විවේකීව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මහත් කරදරයක් බවට පත්වුණේය. එයට හේතුව වූයේ වෙනත් දිස්ත්‍රික්කවලින් විශාල පිරිසක්.කොට්ඨාස සංවිධායක ධුර ඉල්ලාගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සොයා පැමිණීමය. පැමිණි පිරිසගේ හිත සනසා යැවූ මහින්ද රාජපක්ෂ මහතා වහාම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
“සාගර.... මොකක්ද මේ ඔයාලා කරපු වැඩේ මට මෙතැන ඉන්ඩ නෑ. පෝලිමේ එනවා මාව හමුවෙන්න මං කීව ඒ ආපු අයට ගිහින් ලේකම්තුමා හම්බ වෙන්න කියලා අනික් දිස්ත්‍රික්කවලත් ඔය තනතුරු දීල ඉවරයක් කරල දාන්න ඉක්මනින්’’ හිටපු ජනාධිපතිවරයා සාගර කාරියවසම්ට කියා සිටියේය.
පොහොට්ටුවේ බෆර් එක
පත්කිරීම ප්‍රමාද වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකගේ දිවුරුම් දීම නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරියේදී ඉකුත් බදාදා සිදුවිය. ඒ පිරිස වෙනුවෙන් වැඩමුළුවක්ද එහිදී පැවැත්විණි. පක්ෂයේ විධායක සභාවේ සාමාජික මිලින්ද රාජපක්ෂ එම වැඩමුළුව පැවැත්වීය.’’ අපි පක්ෂ ශක්තිමත් කරගෙන යමු. අපිට ඉන්නවා රට පුරාම පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවා.
අපිට විශාල ශක්තියක් මේ පිරිස පක්ෂයේ ප්‍රධාන වගකීමක් ඔයාලට පැවරිලා තියෙන්නෙ. මගෙ තාත්තා හැමදාම කිව්වෙ පළාත් පාලන මන්ත්‍රීවරු තමයි පක්ෂය ආරක්ෂා කරන බෆර් එක වෙන්නෙ. මං පරිස්සමින් මේ වාහනය එළවල ඔයාලට හප්පන්නෙ නැතුව ජයග්‍රහණය අරගෙන දෙන්නම්’’ නාමල් රාජපක්ෂ එහි දී කීවේය.
ඇමරිකානු තීරුබද්දෙන් වාසි ගන්න ක්‍රමය
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබූ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ලංකාවට පැනවූ සියයට තිහක තීරුබද්ද ගැන ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ලිපිය ඉකුත් බ්‍රහස්පතින්දා නිකුත් විය. මෙයට පෙර සියයට හතළිස් හතරට නැංවූ තීරු බදු මේ වන විට සියයට තිහ දක්වා පහළ හෙළා තිබේ. තීරු බදු ඉහළ නැංවීම ඉකුත් කාලයේ මෙරට දේශපාලන වේදිකාවේද මාතෘකාවක් බවට පත්ව තිබිණි.
මේ පිළිබඳව බදාදා දිනයේ අදහස් පළ කළ විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක පැවසුවේ තීරු බදු ප්‍රතිශතය සියයට විසිපහ හෝ තිහ අතර වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවය. රවි කී ලෙසම බදු ප්‍රතිශතය සියයට තිහක් විය. රවි මෙහිදී කියා සිටියේ කලාපයේ සෙසු රටවලට සමානව බදු නංවා තිබීම ගැන සතුටු විය යුතු බවය. මෙහිදී අපට බලපාන්නේ ඉන්දියාවට පැනවූ ප්‍රතිශතය කොමණදැයි යන්න බව කියන රවි කරුණානායක මන්ත්‍රීවරයා රට තුළ ඉහළ බදු ප්‍රතිශත අවම කර ඇඟලුම් ඇතුළු අපනයනවලට සහන ලබාදුන්නොත් ඇමරිකානු ප්‍රතිපත්තියෙන් වාසි ලබාගත හැකි වනු ඇතැයි ද පැවසුවේය.
ප්‍රමාද දෝෂයක්
මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන නිලවරණයේදී එජාප මන්ත්‍රීවරයා රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය යනුවෙන් ඉකුත් සතියේ මෙම තීරුවේ පළවූයේ අනවබෝධයක් හේතුවෙනි. එජාප මන්ත්‍රී චතුර සම්පත් එහිදී ඉල්ලා සිටියේ විවෘත ඡන්දයක් පවත්වන ලෙසය. හෙතෙම විපක්ෂ කණ්ඩායම සමග එක්ව විපක්ෂයට බලය ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළේය.
රනිල්ගේ පාරේ ද පැලවත්ත පාරේ ද
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තය විශාල අර්බුදයකට ගමන් ගන්නා ආකාරය දැන් දැන් පෙන්නුම් කරයි. ඉකුත් සතියේ රනිල් වික්‍රමසිංහ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයින් පිරිසක් සමග හමුවක් පැවැත්වීය.
“අපේ ආර්ථිකය රඳා පැවැතුණේ ඇඟලුම් සහ පිටරට රැකියා සඳහා යාම පදනම් කරගෙනයි. ඇඟලුම් මතම ආර්ථිකය ගෙනයන්න හැකි වේ යයි හිතන්න එපා. තමා හැම විටම ප්‍රකාශ කළේ ඒ කතාව බව” රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේය.
“යුරෝපයේ ඊළඟ අවුරුද්දේ ආර්ථික වශයෙන් කඩා වැටීමක් වුණොත් ඒ පැත්තෙනුත් අපිට පහර වදිනවා. ඉන්දියාවත් සමග අවශ්‍ය ගිවිසුම් අත්සන් නොකළ නිසා ඒ පැත්තෙන්ද සහනයක් බලාපොරොත්තු විය නොහැකියි. මා ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියා කළා නම් මේ අවදානම් තත්ත්වය උද්ගත වන්නේ නැහැ.” රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසීය.
“රනිල්ගේ පාරේ ද පැලවත්ත පාරෙ ද යන්නේ කියන එක තමයි, දැන් අපිට තීරණය කරන්න වෙලා තිබෙන්නේ” යයි ඒ හමුවට එක්ව සිටි ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යපාරිකයෙක් ප්‍රකාශ කර සිටියේ සියල්ලන්ගේම සිනා හඬ මධ්‍යයේය.
රාජ දූත