සැකකරුවන් වධහිංසාවලට ලක්කිරීම පොලිසියේ සංස්කෘතියක් වෙලා - නීතිඥ, ආචාර්ය මේනක හරන්කහ


උපුල් වික්‍රමසිංහ

පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් ක්‍රෑර වධහිංසාවලට ලක්කිරීම මෙරට පොලිසියේ සංස්කෘතියක් බවට පත්ව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය මේනක හරන්කහ පවසයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 2021 අංක 14 දරන අපරාධ නඩු විධාන (සංශෝධන) පනතේ 43 ආ වගන්තිය මගින් පොලිස් ස්ථානවල අනවශ්‍ය රඳවා තබා ගැනීම් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ගැන පරීක්ෂා කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට පවරා තිබුණ ද එම නිරීක්ෂණ කටයුතු නිසි අයුරින් සිදු වෙන්නේ ද යන්න ප්‍රශ්න සහගත යැයි ආචාර්යවරයා කියයි. 

වැලිකඩ පොලීසියේ දී අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු මිය යෑම පිළිබඳ නීතිමය තත්ත්වය ගැන කළ විමසීමක දී ඔහු ඒ බව ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රශ්න කිරීමට සිදු වෙන බව ද ඒ සඳහා අවම බලය භාවිත කිරීමට සිදු වෙන බව ද මේ සම්බන්ධයෙන් පොලිසිය පාර්ශ්වයෙන් සාධාරණීකරණයක් ඉදිරිපත් වුව ද ලංකාවේ දී සිදු වෙන්නේ අවම බලය පාවිච්චි කිරීම වෙනුවට ක්‍රෑරත්වය භාවිත කිරීම බව ද මෙය ලංකාව පිළිගත් සියලුම නීති මගින් ප්‍රතික්ෂේප කළ තත්ත්වයක් බව ද ආචාර්යවරයා කීවේය.

ජෙයරාජ් පෙරේරා එදිරිව වත්තල පොලිසිය නඩු තීන්දුව ඇතුළු නඩු තීන්දු ගණනාවකදී මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ අත්අඩංගුවට පත්වූවන් දරුණු වධහිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසියට එරෙහිව ඉතා විශාල වන්දි මුදල් පනවා ඇති බව සිහිකළ හෙතෙම 1994 අංක 22 දරන වධහිංසා පැමිණවීමට එරෙහිව පනත ප්‍රකාරව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය. 

“මේ පනත ජාත්‍යන්තර සම්මුතියකට අනුකූලව අප විසින් දේශීයව සකස් කර ගත් එකක්. යම් පුද්ගලයකුව වධහිංසාවට ලක්කර ඇත්නම් ඊට වගකිව යුතු අයට එරෙහිව සාපරාධී පදනම මත මහාධිකරණයක නඩු පවරා දඬුවම් කළ හැකි බව මෙහි දැක්වෙනවා. 
එහිදී උපරිම අවුරුදු 10 කටත් අවම අවුරුදු 7 කටත් යටත්ව සිරභාරයට පැමිණවීමේ දඬුවම් පැමිණ විය හැකියි. මේ නීතිය අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්.” ඔහු පැහැදිලි කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම් අතර 11 වැනි වගන්තියෙන් විස්තර කරන වධහිංසාවලට ලක් නොවීමට ඇති අයිතිය ඉතා වැදගත් අයිතිවාසිකමක් යැයි ද එය සෙසු අයිතිවාසිකම් මෙන් කිසිදු වගන්තියකින් සීමාවට ලක් නොවන අයිතිවාසිකමක් යැයි ද පොලිසියේ ක්‍රියාකාරීත්වය නිසා මේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ද ඔහු විස්තර කළේය.

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම නිසා මෙවැනි සිද්ධීන් නිතර වාර්තා වෙන බවත් පොලිස් අත්අඩංගුවේ තබා ගන්නා කාලය අඩු කළ හැකි නම් මේ තත්ත්වය පාලනය කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

පොලීසියෙන් සිදුවෙන අකටයුතුකම් ගැන පැමිණිලි කිරීම සඳහා පොලිස් සහන මණ්ඩලයක් තිබෙන බව ද පොලිස් ස්ථානවල සිදුවෙන අත්තනෝමතික රඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හා මැදිහත් වීමට මානව හිමිකම් කොමිෂන් සභාවට තිබෙන්නේ අර්ධ බලයක් බව ද කී ඔහු මෙවැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව සක්‍රීය ලෙස මැදිහත් විය යුතු බව ද කීවේය.