ඉන්දික හේවාවිතාරණ
වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසරේ වෙසක් සමයේ දී 7000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර දන්සල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
සියලුම දන්සල් පරීක්ෂා කිරීමට ලක්කරන නිසා පැවැත්වෙන දන්සල් පිළිබඳ විස්තරය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අදාළ සංවිධායකවරුන් විසින් ලබා දිය යුතු බවද හෙතෙම පවසා සිටියේය. සංවිධායකවරුන් විසින් සකස් කර ගත් ලිපියක් මගින් හෝ අදාළ කාර්යාලවල තිබෙන අයදුම්පතක් සම්පූර්ණ කිරීමෙන් අදාළ තොරතුරු ලබා දිය හැකි බවද ඔහු පැවසීය.
දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතු හා වෙසක් කලාප හා උත්සව පැවැත්වෙන ප්‍රදේශවල ආහාර පාන අලෙවි සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මහජන පරීක්ෂකවරුන් 2000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
දන්සලක් ලබා දීමට ලියාපදිංචි වූ විට අදාළ දන්සල සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තාක්ෂණික උපදෙස් ලබාදීම සිදුකරන බවද ඔහු පැවසීය. මේ නිසා දන්සලක් ලබා දෙන දිනට දින දෙක තුනකටවත් පෙර ලියාපදිංචිය ලබා ගැනීම වැදගත් බවත් දැනට ලියාපදිංචි වී තිබෙන දන්සල්වලින් දෙසීයක් කොළඹ මහනගරසභා බල ප්‍රදේශයට අයත් බවත් සඳහන් කළේය.