ව්‍යවස්ථා සභාවේ ලේකම් ඉල්ලා අස්වෙයි! අස්වීමේ ලිපියට අනුමැතිය


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇත.

මේ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ධම්මික දසනායක පාර්ලිමේන්තු මහලේකම් ධුරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. 

ඔහු එසේ විශ්‍රාම ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කෙරිණ. මෙම තනතුර වෙනුවෙන් ඔහුට ලක්ෂ පහක පමණ දීමනාවක් මෙන්ම වාහන ඇතුළු නොයෙකුත් පහසුකම් ද හිමි විය. එසේම දසනායක පාර්ලිමේන්තුවේ රාජකාරි කිරීමට ඇමතිවරුන්ගේ කාමරයක් ද පසුගියදා වෙන් කෙරිණ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයේ මීට පෙර කටයුතු කළේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාය.

මේ අතර වාහන පාවිච්චිය ඇතුළු විවිධ අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුවේ හිටපු ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී බරපතළ චෝදනා එල්ල විය. වාහන අවභාවිතය සහ විදෙස් සංචාර සඳහා විශාල වශයෙන් රජයේ මුදල් වැය කිරීම එම චෝදනාය.