විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ දීමනා අට වසරකින් යාවත්කාලීන කර නැහැ


ඉන්දික හේවාවිතාරණ

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ලබා දෙන දුෂ්කර දීමනාව සහ විදුහල්පති දීමනාව වසර අටකින් යාවත්කාලීන කර නොමැති බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරති. අවසන් වරට මෙම දීමනා යාවත්කාලීන කර තිබෙන්නේ 2017 වසරේදී බවත් ඉන්ධන වියදම්, දුරකතන වියදම් හා ප්‍රවාහන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

විදුහල්පති දීමනාව සැලකීමේදී 1AB පාසලක විදුහල්පතිවරයෙකුට  රු. 6500ක් ද දුෂ්‍කර පාසලක නම් දුෂ්කර දීමනාව ලෙස රු. 1500ක් හා අතිදුෂ්කර නම් රු. 2500ක අතිදුෂ්කර දීමනාවක්ද මාසිකව ලබා දෙන බව විදුහල්පතිවරු සඳහන් කරති.

1. පාසලක විදුහල්පතිවරයෙකුට රු. 4000ක විදුහල්පති දීමනාවක්  හා දුෂ්‍කර පාසලක නම් දුෂ්කර දීමනාව ලෙස රු.1500ක් ද අතිදුෂ්කර නම්  රු.2500ක අතිදුෂ්කර දීමනාවක්ද  ලබා දෙයි. 

2 වර්ගයේ පාසලක  විදුහල්පතිවරයෙකුට රු.3000ක විදුහල්පති දීමනාවක් හා දුෂ්‍කර පාසලක නම් දුෂ්කර දීමනාව ලෙස රු.1500ක් හා අතිදුෂ්කර නම් රු.2500ක අතිදුෂ්කර දීමනාවක්ද ලබා දෙන බව විදුහල්පතිවරු පෙන්වා දෙති.

3 වර්ගයේ පාසලක  විදුහල්පතිවරයෙකුට  රු. 2500ක විදුහල්පති දීමනාවක් හා දුෂ්‍කර පාසලක නම් දුෂ්කර දීමනාව ලෙස රු. 1500ක් හා අතිදුෂ්කර නම් රු. 2500ක අතිදුෂ්කර දීමනාවක් ලබා දෙන බවද ඔවුහු සඳහන් කරති. 

මෙම දීමනාව වර්තමානයට නොගැලපෙන බවද රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේදී අතිකාල දීමනා හා අනෙකුත් සියලු‍ම දීමනා ඊට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවද විදුහල්පතිවරු පවසති. 

විදුහල්පතිවරුන්ට අදාළ වෙන මෙම දීමනා ඉහළ ගොස් නොමැති නිසා වැටුප් වැඩිවීමට සාපේක්ෂව පාසල් වර්ග හතරේම පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුට රු. 20000 විදුහල්පති දීමනාවක් හා වර්තමානයට ගැලපෙන දුෂ්කර දීමනාවක්  හිමිවිය යුතු බව ඔවුහු සඳහන් කරති.

මීට සාපේක්ෂව දැනට කිසිදු දීමනාවක් නොලබන විදුහල්පති සේවාවට අයත් නිලධාරීන් සඳහා ද යම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ බවද ඔවුහු පෙන්වා දෙති. ගුරුවරුන්ට හිමිවෙන්නේ දුෂ්කර දීමනාවක් හා අතිදුෂ්කර දීමනාවක් පමණක් බවත් එම මුදල පවා ලබා දෙන්නේ දුෂ්කර පළාත්වල සේවයේ යෙදෙන ගුරුවරුන්ට පමණක් බවත් ගුරුවරු සඳහන් කරති.

මේ අනුව දුෂ්‍කර දීමනාව ලෙස රු. 1500ක මාසික දීමනාවක් හා අතිදුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට රු. 2500ක දීමනාවක් හිමි බවත් මෙම මුදල වර්තමානයට කිසි සේත්ම නොගැලපෙන බවත් දුෂ්කර ප්‍රදේශවල සේවය කරන ගුරුවරු පවසති. 

ගුරුවිදුහල්පතිවරුන්ට අදාළ සියලු‍ම දීමනා වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දමන ලෙස ඉල්ලා 2022 වසරෙහිදී අධ්‍යාපන අමාත්‍යංශයට සංදේශයක් පවා භාර දී තිබෙන බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහෙත් අදාළ යෝජනාවට අනුව දීමනා ඉහළ දැමීමක් සිදුනොකළ  නිසා වර්තමාන වැටුප් වැඩිවීමට සාපේක්ෂව ගුරු විදුහල්පතිවරුන්ගේ දීමනා කඩිනමින් ඉහළ දැමිය යුතු බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.