UNESCAP අරමුදලෙන් විද්‍යුත් බස් 40ක් ගන්න දාපු යෝජනාව ගැන සද්දයක් නෑ
උපුල් වික්‍රමසිංහ
විසි එක් වැනි සියවසට ගැළපෙන නවීන තාක්ෂණයෙන් යුත් කාබන් විමෝචනය අවම කිරීම පදනම් කරගත් පොදු ප්‍රවාහනයකට යෑම වෙනුවෙන් දියුණු විද්‍යුත් බස් රථ සහ ඊට අදාළ යටිතල පහසුකම් ලබා ගත හැකි ජාත්‍යන්තර අරමුදල් තිබුණ ද ශ්‍රී ලංකාව මේ දක්වා ඒවා භාවිත කර නොමැති බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්ය උපාය ඉංජිනේරු අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඒ අනුව Global Environmental Fund අරමුදල මගින් පසුගිය වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් වෙන් කර තිබූ බව ද එයින් කොටසක් විද්‍යුත් බස් රථ ඇතුළු අදාළ පහසුකම් මිලදී ගැනීම සඳහා වෙන් කර තිබුණ ද එයින් එකදු විද්‍යුත් බස් රථයක්වත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නැතැයි ද මහාචාර්යවරයා හෙළි කළේ ය.
එසේම ආසියානු සහ පැසිෆික් කලාප සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම (UNESCAP) මගින් විද්‍යුත් බස් රථවලට අමතරව එම බස් රථ ආරෝපණය (චාජ්) කිරීමට ගන්නා උපකරණ, ඩිපෝ ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් සහනදායී පොලී අනුපාත යටතේ ණය අරමුදල් ලබා දුන්න ද ශ්‍රී ලංකාව මේ දක්වා එහි අරමුදල් භාවිත කර නැති බවත් 2025 වසරේ දී එම අරමුදලෙන් විද්‍යුත් බස් රථ 40 ක් මිල දී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුව ද ඊට අදාළ ඉදිරි කටයුතු කිසිවක් සිදුව නැති බවත් ඔහු අනාවරණය කළේ ය.
මගී ප්‍රවාහන බස් රථ සේවය දියුණු කළ යුතු බව කී හෙතෙම මගීන්ගේ ආරක්ෂාව සහතික වෙන්නේ එවිට යැයි ද පසුගිය වසරවලදී විද්‍යුත් බස් රථ ධාවනයට අදාළ ශක්‍යතා අධ්‍යයන සිදු කළ බව ද ඒ කිසිදු කටයුත්තක් ඉදිරියට නොගිය බව ද ඔහු කීවේ ය.