ලංකාවේ අවුරුදු පහට අඩු සියයට 10.1 ක් මිටි දරුවෝ


නිශාන්ත කුමාර බණ්ඩාර

පසුගිය වසරේ ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් පෝෂණ දර්ශකයේ මිටි බව සියයට 10.1 ක් ලෙස වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කෘශ බව සියයට 8.6 ක්ද, අඩු බර සියයට 16.1ක් සහ අධිබර හෙවත් තරබාරුකම සියයට 0.57ක් ලෙස වාර්තා වූ බවත් ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වන විට මන්දපෝෂණ ගැටලු‍වක් පවතින බවද මන්දපෝෂණයට අමතරව අධිබර, ස්ථූල බව සහ ආහාර හා බැඳුණු රෝග මෙන්ම ක්ෂුද්‍ර පෝෂක ඌනතාවද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව ප්‍රකාශ කළේ මේ මාසයට යෙදී තිබෙන ජාතික පෝෂණ මාසය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. 1948 නිදහස ලැබී දශක 8 ක කාලයක් ගෙවී ගියද පෝෂණය අතින් ඉදිරියට යාමේ හැකියාවක් නොලැබුණ අතර මෙය අද වන විට විශාල ගැටලු‍වක් බවට පත්ව ඇතැයිද හෙතෙම කීය.

මෙම විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරය අපගේ ආහාර රටාවත්, ආහාර පරිසරය හා ජීවන රටාවන්හි සිදුව ඇති විශාල බලපෑමත් පිළිබිඹු කරන බව ඔහු කියයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පසුගිය වසරේ දත්තවලට අනුව ගර්භණී මව්වරුන්ගෙන් සියයට 13.2ක් පළමු මාස තුන ඇතුළත අඩු බරින් යුක්ත වී තිබේ. මාතෘ සායනයේ ප්‍රථමවරට ලියාපදිංචි වන අවස්ථාවේදී ගර්භණී මව්වරුන්ගෙන් 14.03ක් මධ්‍යස්ථ සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවෙන් පෙළී ඇතැයි ද හෙතෙම කීය. 

සෞඛ්‍ය ලේකම්වරයා මෙසේද පැවසීය.

“සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයන් උදේ, දවල් සහ රාත්‍රී කියන ප්‍රධාන ආහාර වේල් තුන ලබාගැනීමට පුරුදුව සිටිනවා. පුද්ගල මනාපය සහ ජීවන රටාව අනුව සමහර අවස්ථාවලදී කෙටි ආහාර ලබාගැනීමට ද නැඹුරුවෙලා තිබෙනවා. වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික පසුබිම මත ආහාර රටාව සහ ආහාර තේරීම්වලින් කැපී පෙනෙන වෙනසක් සිදුවෙලා. 

නැවුම් ලෙස නිවසේ පිළියෙල කළ හා අවම ලෙස සැකසූ ආහාර වෙනුවට සකස් කරන ලද සහ අතිසැකසූ ආහාර භාවිතාවේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒවායේ අධික සීනි, ලු‍ණු හා අහිතකර මේද අඩංගුයි. අධික පෝෂණ ගුණයෙන්ද හීන ආහාර වේලක් තමයි ලැබෙන්නේ. 

ඕනෑම තැනකින් පහසුවෙන් ලබාගත හැකි වීම, ආක්‍රමණශීලී වෙළෙඳ ප්‍රචාරණය හා ආහාරයට ගැනීමට ඇති පහසුව නිසා සාම්ප්‍රදායික ප්‍රධාන ආහාර වේල් තුන වෙනුවට ආදේශකයක් ලෙස හෝ දෛනික ආහාර රටාවේ පොදු අංශයක් බවට පත්ව තිබෙනවා.”