උපුල් වික්‍රමසිංහ
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට වරදකරුවන් වන අයට මරණ දණ්ඩනය පැනවීම ගැන මේ අවස්ථාවේ රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඉරිදා ලංකාදීපයට පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැරැදිවලට වරදකරුවන් වන අයට මරණ දඬුවම ලබා දිය යුතු බවට විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වන මත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා එසේ කීවේ ය.
මරණ දණ්ඩනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවී නැතැයි ද හෙතෙම සඳහන් කළේ ය.
පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදු වෙන මනුෂ්‍ය ඝාතන ඉහළ යෑම සැලකිල්ලට ගෙන ඒවාට වැරැදිකරුවන් වන අයට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට නීති සහ විවිධ පාර්ශ්ව වලින් පසුගිය දිනවල අදහස් ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වූ නීතිඥ ප්‍රතිභා මහානාම හේවා ද එම අදහස ඉදිරිපත් කරයි.
ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වැනි දරුණු අපරාධවලට වැරදිකරුවන් වන අයට රාජ්‍යය විසින් ලබාදෙනු ලබන දඬුවම මරණ දණ්ඩනය යි. මීට වසර කිහිපයකට පෙර ගැහැනු දරුවන් අපයෝජනය කොට මරා දැමීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ඒවාට වරදකරුවන් වූ අයට මරණ දණ්ඩනය නියම කළ යුතු බවට එවක දී ද මේ ආකාරයේ මතයක් නිර්මාණය විය.
දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව රාජ්‍ය ද්‍රෝහී වීම, හමුදා සාමාජිකයන් වශයෙන් සිටිමින් රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීම, මිනීමැරීම, බොරු සාක්ෂි සැපයීම (බොරු සාක්ෂි සැපයීම මගින් තව අයකු මරණ දඬුවම ලබා දිය හැකි වරදකට වරදකරුවකු කළ හොත් අසත්‍ය සාක්ෂි ලබා දුන් තැනැත්තාට මරණ දඬුවම ලබා දිය හැකි ය), දිවි නසා ගැනීමකට ආධාර අනුබල දීම යනාදී ක්‍රියා මරණ දණ්ඩනයට යටත් වෙන වැරදි බවත් එවැනි වරදකට අදාළ මහාධිකරණයේ විභාග වන නඩුවකින් වරදකරුවන් වන අයට මරණ දණ්ඩනය පැනවිය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ ඉරිදා ලංකාදීපයට පැවසී ය.
ඊට අමතරව විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත සහ ගිනි අවි ආඥා පනත අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට මරණ දඬුවම පැනවිය හැකි බවත් ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, වෙළෙඳාම හා සන්තකයේ තබා ගැනීම මරණ දණ්ඩනය පැනවිය හැකි වරදවල් වන බවත් ඔහු කීවේ ය.
අපරධ නඩු විධාන සංග්‍රයට අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගය නිකුත් කළ හැක්කේ මහාධිකරණයට වුව ද එය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට බව ද මහාධිකරණය ලබා දෙන මරණීය දණ්ඩන තීන්දුවක් අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ හැකියාව පවතින බව ද නීතිඥවරයා පැහැදිලි කළේ ය.
අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය, ස්ථානය සහ වේලාව තීරණය කර ඊට අදාළ ලේඛනවලට අත්සන් තබා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට හැකි බව කී කථිකාචාර්යවරයා 1976 න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කළේ නැති බව ද සිහි කළේ ය.
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කරනු ලැබීමෙන් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රබල මතයක් නිර්මාණය වූ බවත් යළිත් 2018 සහ 2019 කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ලබා දිය යුතුය යන මතයේ එවක ආණ්ඩුව තදින් සිටි බවත් සඳහන් කළ ඔහු 2019 ජූලි මාසයේ දී තෝරාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට මරණ දඬුවම පැමිණවීම සඳහා වන නියෝගවලට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබූ බවට මාධ්‍ය වාර්තා කළ බවත් කීවේ ය.
එපරිදි එවක දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ආසන්න අවස්ථාවක් නිර්මාණය වුව ද එම තීරණයට එරෙහිව ජාත්‍යන්තරයෙන් ප්‍රබල පීඩනයක් එල්ල වූ බව කී හෙතෙම ලංකාවේ මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජනාධිපතිවරයාගේ එම තීන්දුව අභියෝගයට ලක් කළ බව ද නඩු විභාගය අවසන් වෙන තෙක් මරණ දඬුවම පැනවීමට ගත් තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළ බව ද එය අවස්ථා කිහිපයක දී දීර්ඝ කළ බව ද ප්‍රකාශ කළේ ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමයේ දී ජනාධිපතිවරයා විසින් තවදුරටත් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනු ලබන බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.
මරණ දණ්ඩනය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කර එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස සංශෝධනය කළ යුතු බවට නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතෙහි දෙවැනි ප්‍රොටොකෝලයට අස්සන් තබන රටවල් මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන බවට ප්‍රතිඥා දිය යුතු බවත් ශ්‍රී ලංකාව මේ දක්වා එයට අස්සන් කර නැති බැවින් ඊට අස්සන් තබා මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන බවට සහතික වන ලෙස ලංකාවට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් හේ පැවසීය.

