නිරෝෂන් ප්‍රේමරත්න
මෙම වසරේ ගත වූ මාස පහකට ආසන්න කාලසීමාවේ දී ඉන්දියාවෙන් ගෙන්වන ලද Netamycine Opthalmic Suspension 5% ඇතුළු බෙහෙත් කාණ්ඩ (Batches) විස්සකට ආසන්න ප්‍රමාණයක් විවිධ අවස්ථාවන්වලදී ගුණාත්මක නිර්ණායක සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා භාවිතයෙන් ඉවත්කොට ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
Imipenam, Phenobarbitol, Promethazine, Halaperodol, Iron Sucrose, Glicazide, Paracetamol, Prednisolone Oral Suspension, Metachopropamide, Syrup Lactulose ඇතුළු ඖෂධ කාණ්ඩ විස්සකට අධික ප්‍රමාණයක් ගත වූ මාස පහක ආසන්න කාලයේදී වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාවිතයෙන් ඉවත්කොට ඇති බවට චක්‍රලේඛ නිකුත් කොට ඇති බවද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
මෙම ඖෂධ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ බව ඔහු පවසයි. මේ අතර ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදනය කරන ලද පැරසිටමෝල් වර්ග ද පවතී. මීට අමතරව ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා භාවිත කරන ශල්‍ය උපකරණ රැසක්ද තත්ත්වයෙන් බාල වීම නිසා භාවිතයෙන් ඉවත්කොට ඇත.
බාල ඖෂධ නිසා වසරකට මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල ආර්ථික අලාභයක් සිදුවන බවත් එම සිදුවන ආර්ථික අලාභය අයකර ගැනීමට පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සමාගම්වලට එරෙහිව සක්‍රීය ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවත් ඔහු පෙන්වා දෙයි. එම තත්ත්වය වර්තමානයේද දැකිය හැකි බව වැඩිදුරටත් ඔහු සඳහන් කරයි. මෙරට ඖෂධ හිඟයට පිළියම් ලබාදීමේදී දැනට ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අකාර්යක්ෂමතාව බරපතළ බාධාවක් වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ඖෂධ වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වෙයි.