පාලම් 97ක වැඩ කොටඋඩ


කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 33ක් පිනට දීලා

සුජිත් හේවාජුලිගේ

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින ග්‍රාමීය ඉදිකිරීම් ව්‍යාපෘති 111 කින්   පාලම් හැටක ප්‍රගතිය සියයට පනහක අඩු මට්ටමක පවතින බවද එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර 2021 වර්ෂයේ දී ග්‍රාමීය පාලම් හාරසිය හැට හයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනමා තිබූ නමුත් වැඩ නිම කර තිබුණේ ග්‍රාමීය පාලම් 84ක පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තව ද මහනුවර උමං මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා පසුබිම් වැඩ කටයුතු සකස් කර තිබුණද 2023 වර්ෂයේදී පාරිසරික බලපෑම් තක්සේරුව පමණක් අවසන් කර තිබූ බවත්  ඒ සඳහා කෝටි අටකට ආසන්න මුදලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙවා තිබූ බවත් එහි සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ තොරතුරු වාර්තාවේ ය.