පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි


පුරපති තෝරන ඡන්දය ජුනි 2

සුජිත් හේවාජුලිගේ

මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වේ.

දේශපාලන පක්ෂ සභිකයන් දිනාගැනීමට රහස් සාකච්ඡා ද මේ දිනවල දිගින් දිගටම පවත්වමින් සිටී. එසේම බලය පිහිටුවීම සඳහා විරුද්ධ පක්ෂයන්හි සභිකයන් දිනාගැනීමට විවිධ වරප්‍රසාද, වරදාන පිළිබඳ පොරොන්දු ලබාදීමටද බොහෝ පාර්ශ්ව කටයුතු කරමින්  සිටින බව දැනගන්නට ඇත. කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. පවතින වාතාවරණය යටතේ මෙම ඡන්දය ඉතා උණුසුම්  මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි. පුරපති ධුරය සහ නියෝජ්‍ය පුරපති ධුරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා නොමැති හෙයිනි.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ. මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්   සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂය පැත්තේය.

කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් ප්‍රකාශ කරන්නේ  සභිකයන් බහුතරය ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි. ජාතික ජන බලවේගය සභිකයන් 48 දෙනෙකු දිනාගත්තද සියයට පනහ සීමාව ඉක්මවීමට ඔවුන් අපොහොසත් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කොළඹ මහ නගර  සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසන්නේ තනි පක්ෂයක් හැටියට වැඩිම සභිකයන් දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය හෙයින් පාලන බලය පිහිටුවීමට වැඩි අයිතිය ඇත්තේ තම පක්ෂයට බවයි. පාලන බලය අනිවාර්යයෙන්ම පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.