උපුල් වික්‍රමසිංහ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කඩිනමින් ප්‍රතිචාර නොදැක්වුව හොත් ජුනි 2 වැනිදා වෙන විට සියලු පළාත් පාලන ආයතන ප්‍රතිස්ථාපිත කිරීම දුෂ්කර කටයුත්තක් වෙනු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි.
එමෙන්ම කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50 ඉක්මවන සභික සංඛ්‍යාවක් හිමි වී නොමැති පළාත් පාලන ආයතන සහ තනි පක්ෂයක් ලබාගත් බහුතර සභික සංඛ්‍යාවට වඩා සෙසු පක්ෂ ලබාගත් සභික සංඛ්‍යාවෙහි එකතුව තනි පක්ෂය ලබාගත් සභික ප්‍රමාණය ඉක්මවා යන හෝ සම තත්ත්වයේ පවතින සභාවලට නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කර ගැනීමේ දී ද ප්‍රමාද ඇති වීමට ඉඩ ඇතැයි ද එය ද ජුනි 2 වැනිදා වෙනවිට සභා ප්‍රතිස්ථාපිත කිරීම කල් යෑමට හේතුවක් වෙනු ඇතැයි ද ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ ය.
පළාත් පාලන ආයතනවල සියයට 50 කට වැඩි සභික සංඛ්‍යාවක් හිමිකර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ඒවාට පත් කරන සභිකයන්ගේ නම් දින 7 ක් ඇතුළත කොමිසමට යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 8 වැනිදා ලිඛිතව දැනුම් දෙනු ලැබූ තිබූ බවට මාධ්‍ය වාර්තා තිබිණි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී පාලක ජාතික ජන බලවේගය පක්ෂයට පළාත් පාලන ආයතන 265 ක බලය හිමි වුව ද ඒවායෙන් ආයතන 120 ක එම පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණයට වඩා සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් සභික සංඛාවල එකතුව ඉහළ අගයක් ගන්නා අතර තවත් සභා 29 ක ජාතික ජන බලවේගය හා සෙසු පක්ෂ ලබාගත් සභික සංඛ්‍යාවෙහි එකතුව සමාන වී තිබේ.
මෙම සභා 149 හි බලය පිහිටුවීම අර්බුදකාරී වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එවැනි පළාත් පාලන ආයතනවලට ප්‍රධානීන් හා උප ප්‍රධානීන් පත් කිරීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මූලිකත්වයෙන් රැස්වෙන ඒවායෙහි මංගල රැස්වීම්වල දී කළ හැකි වුවත් සභිකයන් රැස් කිරීම ප්‍රමාද කිරීම හෝ ගණ පූර්ණය නොමැති වීම වැනි තත්ත්ව උද්ගත වුවහොත් එම කටයුතු ප්‍රමාද විය හැකි යැයි ද 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී උතුරු පළාතේ එක් පළාත් පාලන ආයතනයක සභාපතිවරයා පත් කිරීමේ දී ගණ පූර්ණය නොමැති වූයෙන් එම සභාව නව වතාවක් කැඳවීමට එවක පළාත් පාලන කොමසාරිස්වරයාට සිදු වූ බව ද හෙතෙම සිහි කළේ ය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මෙම ඡන්ද විමසීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සියලු පළාත් පාලන ආයතන ජුනි මස 2 වැනිදා වෙන විට ප්‍රතිස්ථාපිත කළ යුතු බව කී මංජුල ගජනායක ඒ ඒ සභාවලට පක්ෂ හා කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කරනු ලබන දිනය මත මෙය තීරණය වෙන බව ද කීවේය.
මැතිවරණ කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ පසු සභා පිහිටුවීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරුන්ට හිමි වෙන බව ද විෂය භාර අමාත්‍යවරයාට පළාත් පාලන ආයතන පිහිටුවීමේ කාලය දීර්ඝ කිරීමට බලය තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර අතිරේක ලැයිස්තුවෙන් හා කාන්තා නියෝජනය යටතේ සභාවලට පත් වෙන අයගේ නම් මැතිවරණ කොමිසමට ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් විසින් දැනුම් දෙනු ලැබිය යුතු නිශ්චිත දිනයක් ගැන පනතෙහි සඳහන් නොවෙන හෙයින් එම නම් කොමිෂන් සභාව වෙත එවීම ප්‍රමාද වුව හොත් එය ද පළාත් පාලන ආයතන පිහිටුවීම පමාවීමට හේතුවක් වෙනු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පළාත් පාලන ආයතනවල මුළු සභික සංඛ්‍යාවෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි සභික ධුර ප්‍රමාණයක් දිනා ගත නොහැකි වූ පළාත් පාලන ආයතනවල සභාපති හා උපසභාපති ධුර පත් කර ගැනීම ඒවායෙහි මංගල රැස්වීම්වලදී පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල බහුතර බලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව පැන නැගී ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීම කිසි සේත්ම කල් නොයන බවය.