නවකවදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

ඉන්දික හේවාවිතාරණ

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා  සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

ශිෂ්‍ය සංගමයක් ලෙස ඒ සඳහා කටයුතු කරමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය. නවකයෙකු පීඩාවට පත් නොකරන ශිෂ්‍යයෙකු බිහිකර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරී වැඩසටහන් විශ්වවිද්‍යාලවල සිදුකළ යුතු බවද හෙතෙම පැවසීය.

නවක වද පනත පිළිබඳව අදාළ තොරතුරු අඩංගු පොතක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අවස්ථාවෙහිදීම සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන බවත් නවක වදය ලබා දීමක් සිදුකළහොත් එයට ලබා දෙන දඬුවම් පිළිබඳව පවා විශ්වවිද්‍යාලවලදී දැනුවත් කරන බවත් ඔහු පැවසීය.

එසේ තිබියදීත් විශ්වවිද්‍යාලවල නවකවදය ලබා දීම පිළිබඳව සිද්ධි වාර්තාවෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය. ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“නීති මගින් පමණක් නවකවදය වළක්වන්න බැහැ. සමාජයේ දී පවා ඇතැම් පිරිස් තවත් කෙනෙකු පීඩාවට පත් කරනවා. විශ්වවිද්‍යාලවල දී සිදුවන්නේත් එයමයි.

අපරාධයක් සිදුකළහොත් එයට දඬුවම් කිරීමට නීති රට තුළ ඇතත් රට තුළ අපරාධ සිදුවෙනවා. සිසුන්ට නවකවදය ලබා දීම පිළිබඳව සංගමයක් ලෙස අප විරුද්දයි.”