ඩොලර් බිලියන 4.1ක ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග කළ ගනුදෙනුවලින් - ශ්‍රී ලංකා මහ බැංකුව


උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොලර් බිලියන2.8 ක් වශයෙන් 2023 දී වාර්තා වූ වෙළෙඳ හිඟය 2024 දී ඩොලර් බිලියන 4.1 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව කියයි.

ඉංජිනේරු උපකරණ හා ඉදිකිරීම් ද්‍රව්‍ය (යකඩ සහ වානේ) ආනයන වියදම් ඉහළ යෑම මෙලෙස චීනය සමග වෙන වෙළෙඳ හිඟය ඉහළ යෑමට හේතු වූ බව ද එම වසරේ දී චීනය වෙත ශ්‍රී ලංකාව කළ අපනයන පහළ අගයක පැවති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී මට්ටමක පැවති බවත් ඉන්දු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව 2024 වසරේ දී ඉන්දියාවට කළ අපනයන පහළ වැටුණු බවත් එම වාර්තාව අනාවරණය කරයි. ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡාවන්හි 13 සහ 14 වැනි සාකච්ඡාව 2024 වසරේ දී පැවැති බවත් බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමග වරණීය වෙළෙඳ ගිවිසුම්වලට අදාළ සාකච්ඡා අඛණ්ඩව පැවති බවත් මහබැංකුවේ 2024 වාර්ෂික වාර්තාව පවසයි.