ට්‍රම්ප් ලබා දුන්‍් බදු සහන කාලයේත් මෙරට ඇතැම් ආයතන සේවක අතිකාල කප්පාදු කරලා


ඉන්දික හේවාවිතාරණ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ බදු මාස තුනකට  තාවකාලිකව අත්හිටුවූවත් මේ වන විට මෙරට ඇතැම් ආයතන විසින් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කර තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

මීට අමතරව මාස 06 කට අඩු සේවා කාලයක් සහිත සේවකයන්ගේ සේවය නතර කිරීමට ඇතැම් ආයතන කටයුතු කර තිබෙන බව එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සඳහන් කළේය.

මාස තුනේ සහන කාලය ජූලි මස 09 අවසන්වීමට නියමිතව තිබීම අනුව එදිනෙන් පසු නව බදු ක්‍රියාත්මක විය හැකි බවට අනුමාන කර මෙරටට ඇනවුම් ලබාදෙන ඇතැම් ආයතන ඇනවුම් ලබාදීම සීමා කර තිබෙන බවද ඔහු පැවසීය.

මෙරට ඇතැම් කර්මාන්තශාලා හිමියන්  විසින් සේවකයන්ට අදාළ කප්පාදු කිරීම් ආරම්භ කර තිබෙන නිසා බදු සහනය අඛණ්ඩව ලබා ගැනීමට බලධාරීන් මීට වඩා මැදිහත් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ ජාතික කමිටුවක් පත් කර කඩිනමින් සාකච්ඡා සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇන්ටන් මාකස් පැවසීය.

සංගම් හා සංවිධාන 29 ක් එකාබද්ධ වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අවස්ථාවක්  ඉල්ලා තිබෙන බවත් තීරු බදු සහනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව මෙරට ජනතාවගේ පෙත්සමක් ඇමරිකානු ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. 

අප්‍රේල් මාසයේදී නව තීරුබදු පැනවීමක් සිදුකළත් පසුව එය මාස තුනකට අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇති හෙයින් මාස තුනකට පසු නව බදු ක්‍රමය ඇති කළහොත් මෙරට අපනයන කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය. මෙරට තුළ අපනයන ක්ෂේත්‍රයට අදාළව සේවකයන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන නිසා ඇමරිකාවේ බදු සහනය අඛණ්ඩව ලබාගැනීම් ඉතාමත් වැදගත් බවද ඔහු පවසා සිටියේය.