එක්ස්ප්‍රස් පර්ල් වන්දිය: ඉතිරි වන්දි මුදල කොට උඩ? -නීති විශේෂඥයෝ සැක පළ කරති


ලවංගා මාධවී දෑරංගල

එක්ස්ප්‍රස් ෆීඩර්ස් නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්මුයෙල් යොස්කොවිට්ස් විදෙස් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයත් සමඟ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ සිද්ධිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කර තිබූ ඩොලර් බිලියනයක මුළු වන්දි මුදල නොලැබී යාමේ අවදානමක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

පසුගිය 25 වැනිදා වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඉදිරිපත් කළ මෝසමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව කැඳවන ලදි. එහිදී විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
 
මේ පිළිබඳ නීතිඥ ඩෑන් මාලික ගුණසේකර ඉරිදා ලංකාදීපයට පැවසුවේ මෙවැනි තත්ත්වයක දී සාමාන්‍යයෙන් නැවේ රක්ෂණ සමාගමට වන්දි ගෙවීමට සිදු වන බවයි.
 
“අදාළ කරුණ විධායකය වෙත යොමු කරන ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. රජය මෙවැනි අවස්ථාවක රක්ෂණ විශේෂඥයන්ගේ දැනුම ලබා ගත යුතුයි. එවැනි අය ලංකාවේ නැහැ. නමුත් ඩුබායි වැනි රාජ්‍යයක විශේෂඥ සහාය ලබා ගත හැකියි.”‍
 
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නීතිය අනුව එක්‍ රටක අධිකරණ ක්‍රියාවලියක් තවත් රටක් විසින් පිළිගත යුතු බවත්, සෑම රටකටම අධිකරණ ස්වාධීනත්වයක් ඇති බවත් ඒ අනුව මෙය එම තත්ත්වය අබිබවා ගිය ඉතා බරපතළ ප්‍රකාශයක් වන බවත් ය. 
 
”‍මෙය සිංගප්පූරුවේ ඇති සමාගමක්. මෙම ප්‍රකාශය සිංගප්පූරුවට පවා අභියෝගයක්. එසේ ම මෙය අධිකරණයට අපහාස කිරීමක්. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනවා මෙය ජාත්‍යන්තර වගකීම සීමාසහිත කිරීමේ ප්‍රඥප්තීන්වලට විරුද්ධ බව. එය ඔවුන්ගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේත් ප්‍රකාශ කළා. නමුත් මෙය රටේ ඉහළම අධිකරණයේ තීන්දුව. ඒ වගේම මෙම නඩුවේ වග උත්තරකාර පාර්ශ්ව හතරෙන් එකක් පමණයි මේ සමාගම.”‍
 
මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එම්.ඒ.එම්. හකීම් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
 
“මේ සිද්ධියේ කොටස් හතරක් තිබෙනවා. සාගර වෙළෙඳාම, සාගර පරිසර ආරක්ෂණය, සාගර නීතිය සම්බන්ධ ගැටලු‍, මේ පිළිබඳ රාජ්‍යයේ වගකීම ලෙස ඒවා හඳුනාගන්න පුළුවන්. සිද්ධිය වෙලා තියෙන්නේ මෙරට මුහුදු තීරයේ. එවිට සම්පූර්ණ අධිකරණ බලය තිබෙන්නේ ශ්‍රී ලංකාවට. එසේ ම පරිසර දූෂණය සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතියට පවා වගකීමක් තිබෙනවා. මෙහිදී අදාළ වන්දි සම්බන්ධයෙන් නැව්වලින් සිදුවන සාගර දූෂණයට අදාළ “මාපෝල් සම්මුතිය”‍ යටතේ පියවර ගත හැකියි. නමුත් වෙළෙඳ නීති අනුව තමයි මෙම නඩුව බොහෝ විට පදනම් වුණේ. මෙහි දී නැවේ අයිතිකරුවන්, නැවේ තිබූ භාණ්ඩ, පැදවූ පිරිස් ආදිය එක් එක් පාර්ශ්වයන්ට අයත් ව තිබූ ඒවා. අපි එහි දී ප්‍රධාන වශයෙන් යොමු වුණේ රක්ෂණ වන්දි ලබා ගැනීමටයි. පෙර කියපු කොටස් හතර නිසි ලෙස ආමන්ත්‍රණය වෙලා තිබුණේ නැහැ. එම නිසා තමයි ගැටලු‍ව සංකීර්ණ වුණේ. එම නීති හතර මඟින් ම ප්‍රතිකර්ම වශයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේ ම “Polluter Pays”‍ යනුවෙන් මූලධර්මයක් තිබෙනවා. එහි දී හානි කළ පාර්ශ්වය තමයි වන්දි ගෙවිය යුත්තේ. ඒ අනුව අදාළ සොයා බැලීමේ දී මේ සියලු‍ කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.”‍
 
අදාළ නඩුවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් ඉන් ඇෙමරිකානු ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත් එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බැවින් මේ තුළින් නෞකා සමාගම අධිකරණයට අපහාස කර ඇති බවත් ය.
 
මෙම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් පෙන්වා දුන්නේ එම සමාගම වන්දි මුදලින් රුපියල් මිලියන 300ක් ගෙවා ඇති බවත් මූල්‍ය හැකියාව අනුව සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ය.