ඉන්ධන බාපු ගමන් වාහන වලට ගහන්න එපා


 

මේ වෙන විට ලංකාව පුරා දැඩි ඉන්ධන හිඟයක් දක්නට පුළුවන. විශේෂයෙන්ම පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේ පෙට්‍රල් ඇත්තේ එක් දිනක් සඳහා පමණක් බවය. ඩීසල් ලබාදීමට දින තුනක් යන බවත් එතෙක් පෝලිම්වල නොසිටින ලෙස බනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් දිගු පෝලිම්වල සිටිමින් මහත් දුකක් විඳිමින් ඉන්ධන ලබා ගැනීමට පසුගිය දින කිහිපයේදී ජනතාවට සිදු විය. 

ජනතාව මේ තරම් දුක්විඳගෙන පෝළිම්වල සිටියත් සමහර ඉන්ධන පිරිවුම්හල් හිමියන් නිසි වේලාවට ඉන්ධන ලැබුණත් තමන්ට ඒවා ලබා නොදෙන බවටද ජනතව චෝදනා එල්ල කරති. එලෙස චෝදනා එල්ල කරන ජනතාව පවසන්නේ සමහර ඉන්ධන පිරිවුම්හල්වලට රාත්‍රි කාලයේ ඉන්ධන ලැබුණත් එම ඉන්ධන බා බෙදා හැරීම කිරීමට බොහෝ කාලයක් ගන්නා බවය. මේ සම්බන්ධව කොළඹ නගරයේ ප්‍රධාන ඉන්ධන පිරිවුම්හල් වෙතද චෝදනා එල්ල විය. එම ඉන්ධනහල් තෙල් බවුසර් එන්නේ රාත්‍රි 12ට පමණය. එලෙස එන තෙල් බවුසර්වලින් බාන්නේ උදේට බවත් ඉන්පසු තෙල් ජනතාවට බෙදා හරින්නේ උදේ 11-12 බවත් ජනතාව එල්ල කළ චෝදනාවලින් කියැවුණි. මේ නිසා පාන්දර 4-5 සිට තෙල් පෝලිම්වල ඉන්න තමන්ට තෙල් ගැසීමට පැය 10-12 පෝලිම්වල සිටීමට සිදුව ඇති බවද ජනතාව චෝදනා කරති. තවත් අය ඉන්ධන පෝලිම්වල කට්ට කන්නේ දින දෙක තුනේ සිටය. මේ ආකරයට ඉන්ධනහල් මගින් සිදු කරන්නේ තෙල් තොග සැඟවීමට බවත් මිල වැඩි වෙන විට වැඩි කිරීමටද මෙවැනි උපක්‍රම යොදා ගන්නා බව ද ජනතාව කියති. 
 
 
ලංකාවේ පැය විසි හතරම විවෘත ඉන්ධන පිරවුම්හල් ඇත්තේ සියයට විස්සක් පමණය. සමහර පැතිවල පැය 24ම විවෘතව ඇති එකදු පිරවුම්හලක්වත් නැත. නමුත් තෙල් පෝලිම් නිසා ජනතාව ඉන්නේ මහ පාරේය. මේ හේතුවෙන් පැය 24 විවෘතව නැති ඉන්ධනහල් ද මේ අර්බුදය නිමවෙන තුරු ඉන්ධන ඇතිවිට පැය 24ම විවෘත කර තබන ලෙස කීවත් එය මෙතෙක් ඉටු වී නැතැයි ඒකාබද්ධ ඛණිජ​ තෙල් වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යනවිට අඩු මිලට ගත් ඉන්ධන බවුසර් පිටින්ම සඟවා වැඩි මිලට විකිණීමට සමහර ඉන්ධන පිරවුම්හල් හිමියන් කටයුතු කළ බව ආනන්ද පාලිත මහතා පවසයි. ඉන්ධනහල් රෑ 10ට වහනකොට සංස්ථාවෙන් පැය 24ම තෙල් නිකුත් කළත් පළක් නැත. මේ අය එන බවුසරය එක්කෝ මග නවතා ගෙන උදේට ගෙන්වා ගනී. නැත්නම් ආපු බවුසරයේ තෙල් උදේ වෙනතුරු බාන්නෙම නැත. මේ නිසා සමහර ඉන්ධන පිරවුම්හල් හිමියෝ විවිධ වංචාවන්ට හුරු වූහ. සියලු‍ම පිරවුම්හල් පැය 24ම විවෘතකිරීමේ නියෝගය දුන්නේ නම් මේ ඉන්ධන පෝළිම් ද නැති වෙන බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ දේවල් දුර පළාත් පිරවුම්හල්වල මෙය ජයටම සිදු විය. තෙල් අර්බුදයක් පවතින මොහොතක රෑ 10ට පිරවුම්හල් වසා යාමෙන් පලක් නැත. එන ඉන්ධන ටික නිසි ලෙස බෙදා හැරියේ නම් මෙම පෝලිම් දක්නට නැති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි 
 
 
සංස්ථාව සතුව අතිරික්ත ඉන්ධන තොග නෑ
පෙට්‍රල්වල ජලය, භූමිතෙල් සහ තෙල් මණ්ඩි
 
 
 
ඉන්ධන බවුසර් මහින් බෑ විගසම වාහනවලට ගැසීම සුදුසු නැත. මේ එන ඉන්ධන කොතනකවත් පරීක්ෂාවට ලක් ​ෙවන්නේ නැත. ඒ නිසා ඉන්ධන සමග ජලය සහ වෙනත් සියුම් අපද්‍රව්‍ය අඩංගු වී පැමිණීමට ඇති ඉඩකඩ වැඩිය. මේ නිසා ඉන්ධන පිරවුම්හලට එන ඕනෑම බවුසරයකින් තෙල් බාන්න පෙර පැහැදිලි බෝතලයකට තෙල් ටිකක් ගෙන සාම්පල පරීක්ෂාවක් කළ යුතුය. එය ටැංකිවලට බෑමට පෙර කළ යුතුය. එසේ කළ යුත්තේ තෙල්වල කලවම් වී එන්නේ මොනවාද කියා හරියටම සොයා ගැනීමට බව ආනන්ද පාලිත මහතා පවසයි. 
මේ වෙන විට තෙල් සංස්ථාව සතුව ආරක්ෂිත තෙල් තොග නැත. එනිසා සෘජුවම තෙල් ගැනීමට සිදු වෙන්නේ නැවෙන්ය. සාමාන්‍යයෙන් තෙල් බාන විට සංස්ථාව අනුගමනය කරන නීතියක් තිබේ. නැවෙන් තෙල් ගොඩ බෑමේදී තෙල් තිබෙන්නේ මීටරයක ප්‍රමාණයකට නම් එම තෙල් පැයක් තිබිය යුතුය. තෙල් තිබෙන්නේ මීටර පහක් නම් පැය පහක් තෙල් ටික තැබිය යුතුය. තෙල් තිබෙන ප්‍රමාණය මීටර 10 නම් පැය 10ක් තෙල් ටික තබා ගත යුතුය. එසේ කරන්නේ ඉන්ධනවල ඇති අපද්‍රව්‍ය පහතට බැස ඉන්ධන ටික උඩට මතු කොට ගැනීමටය. දැන් එසේ තෙල් බාපු ගමන් පැය ගණනක් තබා ගන්නේ නැත. නැවෙන් ටැංකියට බාපු විගසම තෙල් බෙදා හැරීම සිදුවෙන බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ හේතුවෙන් ඉන්ධනවල ප්‍රමිතිය ගැන ගැටලු‍ මතුවෙයි. ඔක්ටේන් 92 නිසි ප්‍රමිතියට ආවත් මෙවැනි වැඩ නිසා ප්‍රමිතිය නැති වෙයි. තෙල්වල ප්‍රමිතිය නැතිවෙන එක් හේතුවක් වන්නේ වතුර කලවම් වීමය. අනෙක් හේතුව වන්නේ ටැංකිවල ඉතිරි වෙන තෙල් මණ්ඩිය. තෙල්වල මණ්ඩිවල නොයෙක් අපද්‍රව්‍ය කලවම් වී ඇත. මේ නිසා කිසිම විටෙක තෙල් පිරවුම්හල් වෙත ආ සැණින් බා වාහනවලට ගැසීම සුදුසු නැත. එම තෙල් පිරිසුදු බෝතලයකට දමා පරීක්ෂා කොට බැලිය යුතු බව ආනන්ද පාලිත මහතා පවසයි. 
 
තෙල්වල වතුර හෝ මණ්ඩි ඇත්නම් වාහන මිස් කරයි. නැත්නම් නවතියි. දහනය වෙන ඉන්ධන ප්‍රමාණය වැඩිය. තෙල්වල ඇති මණ්ඩි ඇසට පෙනෙන්නේ නැති සියුම් දෙයකි. මේ කිසි දෙයක් නොබලා පිරවුම්හලේ ටැංකිවලට තෙල් පුරවා සමහරු භූමිතෙල් ද කලවම් කරන බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
මේ ගැන තෙල් සංස්ථාව නිසි පරීක්ෂාවකට ලක් කළ යුතූය. නමුත් මේ කිසිදු ආයතනයක් මේ ගැන පරීක්ෂා කරන්නේ නැති බව ආනන්ද පාලිත මහතා පවසයි. සංස්ථාවේ කඩා පනින ඒකක තෙල් පරීක්ෂාවන් සිදු කරන නිලධාරින් ද සිටියත් මේ පරීක්ෂාව සිදු නොවේ. පාරිභෝගික අධිකාරියට මෙන්ම පොලිසියටද තෙල්වල ගුණාත්මක බව බැලීමේ අයිතිය ඇති බව ආනන්ද පාලිත මහතා පවසයි. නමුත් මේ කිසිදු ආයතනයක් මේ ගැන වගකීමක් නොගන්නා බවද ආනන්ද පාලිත් මහතා පවසයි. 
 
මේ විදියට අපිරිසිදු තෙල් භාවිත කිරීමෙන් තෙල් පිච්චෙන ප්‍රමාණයද වැඩි වී ඇත. මේ නිසා තෙල් පරිභෝජනය වැඩි වී තිබේ. වෙනදාට තෙල් ලීටරයකින් කිලෝ මීටර 10ක් දුවන විට දැන් ධාවනය කළ හැක්කේ කිලෝ මීටර 6ක් පමණය. පසුගිය වසර දෙක තුනේදි වාහන ගෙන්නුවෙත් නැත්නම් ගොවීන්ට වගාවට අවශ්‍ය තෙල් සියයට තිහ නිකුත් නොකරන විට ගේන තෙල් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්ධන පරිභෝජනය වෙනවා කියන්නේ තෙල් පිච්චෙන එක වැඩි නිසා යැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. එනිසා පිරවුම්හල්වලට එන කිසිදු ඉන්ධනයක් පිරිසුදු විනිවිද බෝතලයකට දමා පරීක්ෂා නොකර වාහනවලට නොගසන ලෙසද ඒ මහතා පවසයි. 
 
 
ගෙලිඔය ඉන්ධන පිරවුම්හලට ගෙන ආ ඩීසල් ​තොගයේ තිබූ ජලය හා අපද්‍රව්‍ය.
(ඡායාරූපය ‘අද’ පුවත්පත)
 
 
බවුසරයේදීම පිරිසුදු බෝතලයකට ඉන්ධන දමා පරීක්ෂා කරන්න
ඉන්ධනවලට සල්ලි ගෙව්වොත් ගෑස් ගන්න බෑ
 
 
ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වූයේ පළමුවරටය. ඉන්දියාවේ ඩොලර් මිලියන 500ක සහ ඩොලර් මිලියන 200ක ඉන්ධන නැව් ඒමට නියමිතව තිබියදී තවත් වැඩක් සිදු වී තිබේ. ඒ සති තුනකට පෙර තවත් ඩොලර් මිලියන 200ක පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නැව් හතරකට ගිවිසුම් අත්සන් කිරීමය. එම නැව් එන්නේද ඉන්දියාවේ සිටය. එලෙස ගෙන ආ නැව් නියම දිනට වරායට ගත්තේද නැත. ඉන්දියාවේ සිට තෙල් නැවක් මෙරටට එන්න ගත වෙන්නේ දින හතරක කාලයකි. නමුත් මේ තෙල් නැව් හතරෙන් එක් ඩීසල් නැවක් ගත්තේ දින 31ක් ගත වූ පසුය. මේ වෙන විටත් විටෝල් සමාගම ගෙන ආ ඔක්ටේන් 92, 95 අඩංගු මෙට්‍රික් ටොන් 37,000ක නැවක් මාර්තු 28 සිට මුහුදේ නැංගුරම් දා ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ වෙන විට ඉන්දියාවෙන් පොලී රහිතව ගෙන්වීමට හැකි තෙල් නැව් දෙක තිබියදී තවත් ඉන්ධන නැව් ගෙන ඒමට කටයුතු කිරීම හරහා බරපතළ වංචාවක් සිදු වී ඇත්දැයි සැක කරන බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. ඉන්දියාවේ ණය පදනම යටතේ ගන්නා තෙල් ගිවිසුම යටතේ දැවි තෙල් ඩීසල් පෙට්‍රල් භූමිතෙල් සියල්ලම අඩංගුය. නමුත් එම ගිවිසුමට අදාළ තෙල් තොග සම්පූර්ණයෙන්ම ගෙනාවේ නැති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ තෙල් නැව්වලින් තෙල් ගන්න වේලේ අපට ඉන්දියාවෙන් ලබාගත හැකි සම්පූර්ණ ඉන්ධන තොග ඉක්මනින් ගෙන්වීමට කටයුතු කළේ නම් රටේ ඩොලර් ඉතිරි කරගෙන වෙනත් දෙයකට යෙදවීමට තිබුණි. එය ඩොලර් ප්‍රශ්නයටද විසඳුමක් වෙනු ඇත. නමුත් දැන් මේ අය උත්සහ ගන්නේ වැඩි මිලට ගෙන ආපු තෙල් නැව් ටික නිදහස් කර ගැනීමටය. එම තෙල් නැව් ටික නිදහස් කර ගත්තොත් මේ වෙන විට ගෙන ආ එක ගෑස් නැවක්වත් නිදහස් කර ගැනීමට බැරි වෙන බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ තෙල්නැව් ටිකට විතරක් මේ වෙන විට ඩොලර් ලක්ෂ 35කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇත. අප එක් තෙල් බැරලයකට ගෙවා ඇති මුදලද සමග මේ ගාස්තුව ඩොලර් මිලියන 6කට වඩා වැඩි වෙයි. ඒ කියන්නේ ගෑස් නැව් දෙකකට ගෙවන ඩොලර් තෙල් නැව් සඳහා ප්‍රමාද ගාස්තු ලෙස පමණක් ගෙවීමට සිදුව ඇත. එසේ නම් මේ භුමිතෙල්, ඩීසල්, පෙට්‍රල් පෝලිම් ඇති කළේ බළධාරීන් විසින්ම බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ වෙන විට දිනකට මෙට්‍රික් ටොන් 9ක ඩීසල් අපට අවශ්‍යව ඇත. ඒ පෝලිම නැති කිරීමට පමණි. ඇවිත් ඇති ඩීසල් නැවේ තෙල් බෑවත් එය ප්‍රමාණවත් වන්නේ දින 4ක් සඳහා පමණි. එවන් මොහොතක විෂය භාර ඇමැතිවරයා පැවසුවේ ඩීසල් පෝලිම් සඳහා දින තුනක් එන්න එපා කියාය. පෙට්‍රල් පෝලිම් වෙත දින දෙකක් එන්න එපා කියාය. මෙය වැඩ බැරි අසමත් ඇමැතිවරයෙකුගේ තීන්දුවක් බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. ඇමතිවරයා සඳහන් කළේ එක් පිරවුම්හලකට ඉන්ධන ලීටර 6600ක් ලබා දෙන බවය. මෙම ඉන්ධන ප්‍රමාණය දැන් තෙල් පෝලිමේ ඉන්න අයගෙන් භාගයකටත් මදි බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.
 

 
පෝලිම නැති කරන්න දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 9ක් ඕනැ 
- ආනන්ද පාලිත
 
 
 

 
 
ඉන්දියාව ඉන්ධන දෙන්න හදන කොට අපේ අය තියෙන ඩොලර් ටික වියදම් කරලා තෙල් ගන්නවා. දැවිතෙල් සහ භූමිතෙල් නැවක් මිලදී ගන්න උපරිම ඩොලර් මිලියන විසිහතක් තිහක් පමණක් වැය වෙයි. මුලදිම දැවිතෙල් නැවක් නිදහස් කර ගත්තේ නම් බලාගාර සඳහා ඩීසල් වෙනුවට දැවිතෙල් භාවිත කිරීමට තිබුණි. එහෙත් අද වෙන විට දැවිතෙල් හෝ ඩීසල් නොමැතිව බලාගාර සියල්ලම අඩපණ වී තිබෙන බව විදුලිබල මණ්ඩලයද තහවුරු කර තිබෙනවා. රුසියාවේ තානාපතිවරයා මෙරට බලධාරීන් සමග පැවති සාකච්ඡා වලදී පෙන්වා දුන්නේ රජයන් දෙක හරහා ඇති කරගන්නා එකඟතා මත ඉන්ධන ලබා දෙන බවය. නමුත් ඒ වෙනුවෙන් රජය මැදිහත් වෙනවා වෙනුවට පෞද්ගලික සමාගමක් හරහා රුසියාවෙන් බොරතෙල් නැවක් ගෙන්වා ඇත. එයද සිංගප්පූරුවේ පවතින වැඩි මිලට බව දැනගන්නට ඇතැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. රුසියාව වසර දෙකක් සඳහා පවතින මිලට අඩුවෙන් සියයට තිහකට පොලීරහිතව තෙල් දෙන්න එකඟතා පළ කොට ඇත. එවන් මොහොතක වැඩි මිලට රුසියාවෙන් ගන්නා තෙල් සිංගප්පූරු සමාගමක් හරහා ගෙන්වීම සිදුකර ඇති බව දැන ගන්නට ඇතැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
මේ වෙන විට එලෙස ගෙනවිත් ඇති බොරතෙල් මෙරට භාවිත කළ වර්ගයක් නොවන බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. එනිසා මේ තැන ඇත්තේ වංචාවකි. විදුලි බලාගාර සඳහා රුපියල් අසූවට දිය හැකි දැවිතෙල් වලට මුදල් දී එය නිදහස් නොකර ඊට ප්‍රමාද ගාස්තු ගෙවයි. නමුත් රුපියල් 289ට ඩීසල් අරගෙන ඒවා විදුලිය සඳහා ලබා දෙමින් තෙල් අර්බුදය තව තවත් වැඩි කිරීමට තෙල් සංස්ථාවේ බලධාරීන් ක්‍රියා කර ඇතැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ නිසා විදුලිබල මණ්ඩලය පමණක් නොව තෙල් සංස්ථාවද පාඩු ලබන එක වැළැක්විය නොහැකි බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
 
 

 

• පෙට්‍රල් ගන්න ඩොලර් නෑ 
• පරණ ගත් ඉන්ධනවලට 
නොගෙවූ මිලියන 53කුත් 
ගෙවන්න වෙලා 
- කංචන විජේසේකර 

 


 
මේ එල්ල වෙන චෝදනා ගැන අප බනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසීමට උත්සාහ ගත්තත් ඇමැතිවරයා ප්‍රතිචාර දැක්වූයේ නැත. කෙසේ වෙතත් මේ ගැන පසුගිය 18 වැනිද‌ා පාර්ලිමේන්තුවේදී අදහස් දැක් වූ ඇමැතිවරයා පවසා සිටියේ මෙවැන්නකි. 
 
දිවයින පුරා සියලු‍ම ඉන්ධන හල්වලට ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් 18 වැනිද‌ා සවස් වෙන විට බෙදා හරින බවය. ඉන්ධන පිරහුම්හල් 1190ක් සක්‍රීයව පවතින බවත් ඒ සියල්ලටම ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් ඉදිරි සති කිහිපය සඳහා ද ලබා දෙන බවය. නමුත් පෙට්‍රල් සම්බන්ධයෙන් ගැටලු‍වක් තිබෙන බවත් පෙට්‍රල් තිබෙන්නේ එක් දිනක් සඳහා බවත් ඇමතිවරයා පිළිගත්තේය. මාර්තු 28 සිට අපේ මුහුදු සීමාවේ පෙට්‍රල් නැවක් ඇති බවත් රටේ පවතින මූල්‍ය අර්බුදය එක්ක එම නැව්වලට ගෙවීමට ඩොලර් නැති බවද ඇමැතිවරයා පිළිගත්තේය. එසේම එම නැවට මීට මාස කිහිපයකට පෙර එනම් ජනවාරි මාසයේ කළ සැපයුමක් වෙනුවෙන් ඩොලර් මිලියන 53ක මුදලක්ද ගෙවීමට ඇති බවද ඇමැතිවරයා පිළිගත්තේය. එම ඩොලර් මිලියන 53ක මුදල ණයවර ලිපි මගින් ගෙවීමට සැලැසුම් කළත් බැංකු පද්ධතිය හරහා එය කළ නොහැකි විය. එනිසා එම මුදල සහ වත්මන් මුදල යන දෙකටම ගෙවීම් කරන තෙක් පෙට්‍රල් ටික නිදහස් කිරීමට අදාළ සමාගම එකඟ නොවූ බවද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. ඒ අනුව මහ බැංකුව විසින් නිශ්චිත ගෙවීම් කාලසටහනක් අනුව අගෝස්තු මස සිට දින 15කින් පැරැණි මුදල් ගෙවීමට ලිබිත පොරොන්දුවක් වුණා. එම පොරොන්දුව මත මුදල ගෙවූ පසු ඉන්ධන ටික නිදහස් කරගන්න හැකි බව එම සමාගම අපට පොරොන්දු වුණා. ඒ නිසා අද (18) වෙන විටත් එම මුදල් සොයාගෙන නෑ. මුදල් ලබා ගැනීමට ලේබනයක්ද කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒ අනුව මුදල් සොයාගෙන ඉන්ධන නැව නිදහස් කර ගන්න අපි සුදානම් වෙනවා. ඒ නිසයි අපි පහුගිය දින කිහිපයේදී ඉල්ලීමක් කළේ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කියා. මේක හංගන්න දෙයක් නොවන බවද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. 
 
• තෙල් සංස්ථාවේ සභාපතිගෙන් උත්තර නෑ 
 
මේ ගැන තොරතුරු විමසීමට අප ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතාගේ ජංගම දුරකතනයට (0718880***) අවස්ථා බොහොමයකදී කතා කළත් ඉන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. 
 
• ඉන්ධන ගැන පැමිණිලි ලැබුණම පරීක්ෂාවට  ලක් කරනවා  - පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙකු කියයි 
 
බෙදා හරින බාල ඉන්ධන ගැන පරීක්ෂාවක් කරන්නේ ද යන්න ගැන පාරිභෝගික අධිකාරියෙන් ද අපි විමසීමක් කළෙමු. එහිදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ ලැබෙන පැමිණිලි මත වැටලීම් සහ පරීක්ෂා කිරීම් කරන බවය. අහඹු ලෙස හෝ පැමිණිලි මත ලබා ගන්නා ඉන්ධන සාම්පල ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය වෙත හෝ ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනය වෙත ලබා දී පරීක්ෂා කොට වාර්තා ලබා ගැනීමෙන් පසු ඉන්ධන ප්‍රමිතිය ගැන නිගමනයකට එන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය. 
 
• වගකීම් දරන්න ඕනැ අය  වගකීම් පැහැර හරිනවා  - තුෂාන් ගුණවර්ධන 
 
මේ ගැන අදහස් දැක්වූ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසා සිටියේ මේ සඳහා පාරිභෝගික අධිකාරියට, කාර්මික තාක්ෂණ ආයතනයට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සිය ව්‍යවස්ථාවෙන්ම වෙන්වූ නෛතික බලයක් ඉන්ධනවල ප්‍රමිතිය බැලීමට ඇති බවය. එසේම තෙල් සංස්ථාවද ඉදිරියට පැමිණ අහඹු තෙල් සාම්පල පරීක්ෂාවක් කොට තෙල්වල ප්‍රමිතිය සහ ගුණාත්මක බව ගැන ජනතාවට කිව යුතු බවද තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. නමුත් මේ එකදු අයෙක්වත් මේ වෙලාවේ එවැනි කාර්යයක් කරන බවක් වගකීමක් ගන්න බවක් පෙනෙන්නට නැතැයි තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 
 
 
• තොග පර්යන්තයත් නිහඩයි
 
මේ දිනවල බෙදා හරින ඉන්ධන ප්‍රමිතියෙන් යුක්තද නැද්ද කියන කාරණය දැන ගැනීමට ලංකා බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජෙනරාල් එම්. ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා සම්බන්ධ කර ගැනීමට අපි උත්සහ කළෙමු. නමුත් සොයිසා මහතා සම්බන්ධ කරගත නොහැකි විය. ඉන් පසු අප එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුගෙන් තොරතුරු විමසුවද ඔහු කියා සිටියේ සභාපතිවරයාගෙන්ම තොරතුරු දැන ගන්නා ලෙසය. ඒ අනුව අප එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගෙන් සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංකයක් ඉල්ලු‍ විට සභාපතිවරයාගේ පුද්ගලික ලේකම්වරියගේ දුරකතන අංකය වූ 0718349*** අංකය ලබා දුන්නේය. එම අංකයට බොහෝ අවස්ථාවක් අප සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඊට ප්‍රතිචාර ලැබුණේ නැත.
 
 
 
ඉන්ධන පිරහුම්හල්වලට එන ඉන්ධන ටැංකිවලට ගොඩ බෑ පසු බෙදා හරින්න පමා වෙන්නේ ඇයි ද යන්න ගැන අප පෞද්ගලික පිරවුම් හලකින් ද විමසා සිටියෙමු. එහිදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එන ඉන්ධනවල ජලය සහ තෙල් මණ්ඩි ඇතිද යන්න බැලීමට පැය කිහිපයක් තැබිය යුතු බවය. එම පරීක්ෂාවලින් පසු ඉන්ධනවල ගැටලු‍වක් නැත්නම් ඉන්ධන නිකුත් කිරීම අරඹන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය. 
මේ ගැන නිසි පරීක්ෂාවක් කරන්නේ ද යන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සහ කාර්මික තාක්ෂණික ආයතනයෙන් ද විමසීමක් කළත් කිසිම අයෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
 
 
සටහන :
ප්‍රගීත් සම්පත් කරුණාතිලක