ඉන්දු - පාකිස්ථාන යුද්ධය නවත්වන්න ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවල් දෙපාර්ශ්වයෙන් ඉල්ලයි


IPL තාවකාලිකව නතර වෙයි 

ලුසිත ජයමාන්න

ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන්ගේ සහාය හැමවිටම හිමිවෙන්නේ ඉන්දියාවට බවය. කෙසේ නමුත් ඉන්දු පාකිස්ථාන අර්බුදය ඇමෙරිකාවට අදාළ දෙයක් නොවන බව ඇමෙරිකන් උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් පවසා ඇත.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ, පාකිස්ථාන හමුදාව, ඉන්දියාවේ සහ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ, හමුදා කඳවුරු තුනකට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය. 

ඒ, ඊට පැය කීපයක පෙර, ඉන්දියාව පාකිස්ථානයේ ඉලක්කවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලට පිළිතුරු දෙමින් යැයි පැවැසිණ. පාකිස්ථාන හමුදාව පැවසුවේ, තම ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දියානු ඩ්‍රෝන යානා 25 ක් පහර දී බිම දැමූ බවය.

ඉන්දියාවත් පාකිස්ථානයත් මේ අයුරින් කෙහෙවලු‍ පටලවාගත්තේ, ඉන්දු කාශ්මීරයේ පෙහෙල්ගම් පළාතේ  දී පසුගිය 22 වැනිදා ඉන්දීය සංචාරකයන් 25 දෙනකු ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් විසින් අමු අමුවේ ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. එම ඝාතන සිදු කළ ත්‍රස්තවාදීන්ට පාකිස්ථාන රජයේත්, හමුදාවේත්, එරට ‘අයි.එස්.’ බුද්ධි අංශයේත් සහාය හිමිවෙන බවට ඉන්දියාව චෝදනා නගයි.

පසුගිය 8 වැනිදා පාකිස්ථාන හමුදාව, ජම්මු කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයකට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක්  එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස් තවත් 57 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණ. 

මියගිය සිවිල් වැසියන් අතර කාන්තාවන් තිදෙනකු සහ ළමයින් පස් දෙනකු සිටින බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් පැවැසීය. ‘සින්දූර්’ මෙහෙයුම යටතේ, පසුගිය 7 වැනිදා අලු‍යම් කාලයේ, ඉන්දියාව පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාරවලින් තම වැසියන් 31 දෙනකු මියගිය බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පැවැසීය. ඒ, ජාතිය අමතමිනි. 

ඉන්දියාව පැවැසුවේ ඔවුන් පාකිස්ථාන ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවත්, මරණ සංඛ්‍යාව 60ක් බවත්ය. ‘සින්දූර්’ මෙහෙයුම සඳහා ඉන්දීය ගුවන් හමුදාව යොදා ගත්තේ, ප්‍රංශයෙන් ලැබුණු ‘රෆායෙල්’ වර්ගයේ අති නවීන ප්‍රහාරක ජෙට් යානාය. මේ අතර, ඉන්දීය හමුදාව ආරම්භ කළ ‘සින්දූර් මෙහෙයුම’ ට එරට ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ගේ පූර්ණ සහාය හිමිවී ඇත. 

ඉන්දියාවේ විපක්ෂ නායකයා ලෙස සැලකෙන, කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසා ඇත්තේ, ඉන්දීය හමුදාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් ආඩම්බර වෙන බවය. සෙසු විපක්ෂ නායකයන් වන තේජස්වි යාදව් සහ ප්‍රියංකා චතුර්වේදී ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ, ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය නොතිබිය යුතු දෙයක් බවත් ඉන්දීය නිර්භීත සොල්දාදුවන් සහ ඉන්දීය හමුදාව ගැන තමන් ආඩම්බර වෙන බවත්ය.

මේ අතර අවසන් අදියරේ පැවති ඉන්දීය ප්‍රෙමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සතියක කාලයකට නතර කිරීමටද ඉන්දීය ක්‍රිකට් බලධරයන් පසුගිය සිකුරාදා කටයුතු කළහ. 

(බීබීසී ඇසුරිනි)