පාර්ලිමේන්තුවෙන් විරෝධයක්


සුජිත් හේවාජුලිගේ 
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරී තනතුරු පිරවීම කෙරුණේ දැනට සේවය කරන නිලධාරීන් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.
මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති. පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට මෙසේ බඳවා ගැනීමට යන බව  පැවසෙන්නේ රජයේ පරිපාලන සේවයෙනි. පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම ආර්ථික ගැටලු‍ සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තාවේ. මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.