ඉන්දික හේවාවිතාරණ
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. අලිඇතුන් රක්ෂිත ප්‍රදේශ අතර ගමන් කරන්නේ අලි මංකඩවල් හරහා බවත් ඒවා අවහිර වීම නිසා අලිඇතුන් ගම්වැදීම සිදුවන බවත් එම සංගමයේ සභාපති හේමන්ත විතානගේ සඳහන් කළේය.
ගෙවීගිය වසර කිහිපය සැලකීමේදී වසරකට හෙක්ටයාර් 8,000කට ආසන්න කැලෑ භූමි හෙළිපෙහෙළි කර විවිධ වගා හෝ අවිධිමත් සංවර්ධන කටයුතු සිදුකර තිබෙන බවද ඔහු පැවසීය.
වන සතුන්ට ආහාර සොයා ගැනීමේ ගැටලුවක් ඇති වී තිබෙන නිසා වගා බිම්වලට වැඩිවශයෙන් වන සතුන් පැමිණෙන බවද හෙතෙම පැවසීය. බොහෝ වගා ප්‍රදේශවලට අලි ඇතුන් ඇතුළු වනසතුන් පැමිණෙන බවට ඇතැම් පිරිස් චෝදනා කළත් සැබෑ ලෙසම සිදුවී තිබෙන්නේ අලිඇතුන් ඇතුළු වනසතුන් තමන්ගේ භූමිවල ජිවත් වීම බව ඔහු සඳහන් කළේය.
වගාවන්ට හානි කරන වන සතුන් පලවා හැරීමට බව පවසමින් ඇතැම් ප්‍රදේශවල නීති විරෝධී ආකාරයට වන සතුන් පලවා හැරීම් කරන බවත් මෙම ක්‍රියා නවතා දැමීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවත් හේමන්ත විතානගේ පැවසීය.
ඔහු වැඩි දුරටත් මෙසේද කීය.
“වන සතුන් වෙනත් ස්ථානවලට රැගෙන යනවා නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. අලි පන්නා දැමීමට කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් අලි පන්නා දමනවා.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අලි ඇතුන් වෙනුවෙන් හෙක්ටයාර් තිස් දහසක් වෙන් කළ යුතු වුවත් එම භූමියට ඉඩම් ප්‍රමාණය ගැසට් කිරීමේදී අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළත් කර තිබෙන්නේ හෙක්ටයාර් 23,746 ක ප්‍රමාණයක්.
එසේ සිදුකර හම්බන්තොට අලි ඇතුන්ගෙන් කරදර තිබෙන බව පවසා උඩවලවට අලි ඇතුන් පන්නා දැමීමට යෝජනා කරන අය ඉන්නවා. එහෙත් නවීන තාක්ෂණික ක්‍රමවලට අනුව කුඩා ඉඩක් තුළ වැඩි දියුණු කළ බීජ වගා කර විශාල අස්වැන්නක් ලබා ගත හැකියි.
එසේ වගා කටයුතු කළ හොත් වන සතුන්ගෙන් සිදුවන හානි අඩු වෙනවා. වන සතුන්ට ජිවත්වීම සඳහා භූමි ඉතිරිවනවා.”