’මා’ සමගින් හෙෂාන් පුංචි තිරයේ


ප්‍ර හේෂාන් ‘මා’ ටෙලි නිර්මාණය තුළින් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා නේද මේ දිනවල?

ඔව් ඇත්තටම ‘මා’ කියන්නෙ මට ලැබුණු ලොකු රංගන අවස්ථාවක් කියලා තමයි මම හිතන්නෙ. කෙටියෙන්ම කිව්වොත් මට අයිති දේවල්වලට මම මාත් එක්කම සටන් කරන කතාව තමයි මා. ඒකට හේතු තියෙනවා. මොකද මම රංගනය අතහැරලා තිබුණෙ. මම පසුගිය කාලේ අසනීප වෙලා හිටියා කොන්දෙ පොඩි ඉන්ජරි එකක් නිසා. එතැනින් පසුව නැවතත් මම රංගනයට එන්න හිතුවෙ නැහැ. නමුත් මට මේ ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න හිතුණෙ නැහැ. ඒ නිසා භාරගත්තා.

ප්‍ර ප්‍රතික්ෂේප කරන්න හිතුණෙ නැත්තෙ ඇයි?

ඇත්තටම කලාකරුවෙක් යම්කිසි කාලසීමාවක් ක්ෂේත්‍රය තුළ දකින්න  නොලැබුණාම ප්‍රේක්ෂකයන්ට ඔවුන්ව අමතක වෙනවනෙ. ඒක  මෙහි තියෙන සාමාන්‍ය ස්වභාවය. නමුත් විශේෂයෙන්ම මට මේ ගැන කියන්න ඕනෑ  පසුගිය කාලෙ මම දකින්න නොසිටියත් මට ආදරේ කරපු මාව අල්ලගෙන හිටපු නැවත මාව මේ ක්ෂේත්‍රය තුළ දකින්න ඕනෑ වුණු පිරිසක් හිටියා. බොහොම ආදරණීය පිරිසක්. ඉතින් ඒ අය මාව රංගනයට ගොඩක් උනන්දු කළා. ඒවත් එක්ක ඉතින් මට හිතුණා කොහොමත් තව එක නිර්මාණයකට හරි සම්බන්ධ වෙන්නම.

ප්‍ර ඇයි හෙෂාන්ට ප්‍රේක්ෂකයො  ඒතරම් ආදරේ කරනවා ඇත්තේ?

මම හැමදාම කියන දෙයක් තමයි අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරය, ජනප්‍රියත්වය කවදාවත් අවභාවිතා කරන්න හොඳ නැහැ කියන දේ. මම එහෙම කරන්නෙ නැහැ. එයට හොඳ උදාහරණයක් තමයි කිසිම දවසක මම සමාජ මාධ්‍ය ඔස්සේ හෝ කිසිම තැනක දේශපාලනය  වගේ දේවල් එහෙම කතා කරන්නෙ නැහැ. මම හිතන විදියට හැඟෙන විදියට ඒක නුසුදුසුයි. මොකද අපිට ආදරේ කරන්නෙ එක්තරා ආගමක, පක්ෂයක අය නෙමෙයිනෙ. සමස්තයමනෙ. ඒ නිසා හැමදේ  ගැනම මම නම් ගොඩක් හිතනවා. මම මේ වෙද්දි කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 14 වෙනවා. ඒ වසර 14 ඇතුළත මම හැමදේම මේන්ටේන් කළා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයොත් ඒ ගැන කියලා තියෙනවා. මම කලාකරුවෙකු විදියට හැමවෙලේම හිතන්නෙ අපිට ලැබිලා තියෙන හොඳම  සම්මානය තමයි ප්‍රේක්ෂක ආදරය. ඒ නිසා ඒ ආදරය නැතිකරගන්න මම කොහොමත් කැමති නැහැ. ඔවුන් මං ගැන මවාගෙන තියෙන ප්‍රතිරූපය ඒ විදියටම රැකගෙන  ඉන්න තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නෙ. 

ප්‍ර නැවතත් හෙෂාන්ගේ රංගනය පැත්තට හැරුණොත් ‘මා’ හි චරිත රංගනය ලොකු අභියෝගයක් වෙන්න ඇති නේද?

අනිවාර් යෙන්ම ඔව්. මොකද මේ තුළ මම ද්විත්ව චරිතයක්නෙ. කරන්නෙ. ඒ චරිත දෙක  තේජාන් සහ මිනෙත්. එහි තේජාන් චරිතය තමයි ප්‍රධාන චරිතය වෙන්නෙ. ඉතින් මේ චරිත ස්වභාවයන් එකිනෙකට වෙනස් නිසා ලොකු වෙහෙසක් දරන්නත් සිදුවෙනවා. නමුත් අධ්‍යක්ෂවරයාගෙ පිටපත් රචකයාගේ දක්ෂතාවය මත මේ රංගනය කරගෙන යනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක ඉතින් රංගනයේ සාර්ථකත්වය අත්විඳිනවා කියන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ  මෙහි තවත් කතා කරන්නම ඕන චරිතයක් තමයි මෙහි මේකප් ආටිස්ට් මනුකව, ඒ වගේම  නිෂ්පාදක ප්‍රදීප් නිශාන්ත මහත්මයාවත් සිහිපත් කරන්නම ඕනෑ. ඒ හැමදෙනාම නිසා තමයි ‘‘‘මා’’ අද ඉදිරියටම ඇවිල්ලා තියෙන්නෙ.

ප්‍ර මේ චරිතය හෙෂාන්ට භාරදෙද්දි මොකද හිතුණෙ?

මේ චරිතය වෙනුවෙන් මාව යෝජනා කරල තිබුණේ  මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා. ඔහු මට මේ වෙනුවෙන් ආරාධනා කරද්දි මම විදෙස්ගතවෙලා හිටියෙ. ඉතින් ඔහු  මට කතා කරලා මේ චරිත රංගනය ගැනත් කියලා, තවත් යෝජනාවක් මට ගෙනාවා. ඒ තමයි මම රංගනයට අමතරව ෆැෂන් ඩිසයින් කරනවනෙ. ඔහු මට කිව්වා මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවත් එක්කම මේ වෙනුවෙන් මගේ ඇඳුම් නිර්මාණ යොදාගන්න කියලා මගේ නිර්මාණ දැනුම මේ නිර්මාණය වෙනුවෙන් පාවිච්චි කරන්න කිව්වා. ඒ ගැනත් හිතලා තමයි මම ‘‘මා’’  ටෙලි නිර්මාණය ඉතාම සතුටින් භාරගත්තෙ. 

ඉතින් අද වෙද්දි ‘‘මා’’ ටෙලි නිර්මාණයේ 99.9% මගේ ඇඳුම් නිර්මාණය වෙන්නෙ. ‘‘warning by HM’’ කියන මගේ Brand එක හරහා. ඒ විදියට බලද්දී මේ නාට්‍ය මගේ ජීවිතේ ලොකු  වෙනසක් ඇති කළා කියන්න පුළුවන්. මොකද මේ නාට්‍යයට මගේ රංගනය, ඇඳුම් නිර්මාණය, ඇඳුම් හැම පැත්තම එකතු කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රංගන ශිල්පීන්ට ඔවුන්ගේ ඇඳුම් නිර්මාණයන් තමන්ටම කරගැනීමේ අවස්ථා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ලබා දෙන්නෙ නැහැනෙ. නමුත් මහේෂ් මහත්මයා මට ඒ අවස්ථාව ලබා දුන්නා මගේ දක්ෂතා තේරුම් අරගෙන. ඉතාම ගෞරවයෙන් ඒ ගැන සිහිපත් කරන්න ඕනෑ. ඔහු වගේම මෙහි අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාරත් සිහිපත් කරන්නම ඕනෑ.

ප්‍ර හෙෂාන් රංගනයට පෙර නිරූපණයට සහ නිවේදනයට සම්බන්ධ වෙලා හිටියා නේද?

ඔව්, මම නිරූපණයට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නෙ. ඒ හරහා තමයි මට පෞද්ගලික නාළිකාවක මුලින්ම නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නෙ. කොහොම හරි මම නාළිකා 3ක පමණ නිවේදන කටයුතු කළා. 
පසුව වෙළඳ දැන්වීම්වලටත් සම්බන්ධ වුණා., මියුයික් වීඩියෝ කළා. ඒ වගේම රිදී තිරයටත්  සම්බන්ධ වුණා. වෙළෙඳ දැන්වීම් තමයි ගොඩක් කළේ. ඒ ආපු ගමන තමයි මේ අවුරුදු 14ක් තුළ තියෙන්නෙ. ඇත්තටම මම නිර්මාණ ගොඩක් එකට භාරගන්නෙත් නැහැ. බොහොම හෙමින් යන ගමනක් මගේ තියෙන්නෙ. මම හැමදාම කියන්නෙ දුර ගමනක් යන එක නෙමෙයි  හරි දේ, හරි ගමනක් හරි විදියට යන එක. මොකද වැරදි ගමනක් ඉක්මනට ගිහින් වැඩක් නැහැනෙ. ඉතින් හිමින් ඒ ආපු ගමන තමයි මේ.

ප්‍ර මේ ගමනට පවුලෙන් ලැබෙන සහය කොහොමද?

මගේ පවුලෙ අයගෙන් ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. අම්මා, තාත්තා, අක්කා, අයියා තමයි මගේ පවුලෙ ඉන්නෙ. නමුත් දැන් අයියයි අක්කයි විවාහකයි. එයාලට දරුවොත් ඉන්නවා. එයාලා ඉන්නෙ ඉතාලියෙ. නමුත් ඉතින් මගේ රංගනයන් එහෙම නරඹනවා. ඒවා ගැන කතා කරනවා. එයාලා මට ඇඳුම්, සපත්තු වගේ රංගනයට අවශ්‍ය ගොඩක් දේවල් එවනවා. ඒ පැත්තෙනුත් ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම අම්මයි, තාත්තයි, අම්මා ඉතින් මම කන බොන ඒවා තවමත් හදලා දීලා හැමදේටම ලොකු ශක්තියක් වෙලා ආදරෙන් ළඟින් ඉන්නවා. ඒ ශක්තිය එක්ක තමයි මේ ගමන යන්නෙ.

ප්‍ර පවුලෙ අයට අමතරව ආදරෙන් ළඟ ඉන්න කෙනෙක් නැද්ද?

ඇත්තටම තවම එහෙම කෙනෙක් නැහැ. මම කලා වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ නිසා එහෙම කෙනෙක් ලැබුණත් ඒ පාර්ශ්වයට මාව එපා වෙයි. ඒ නිසා මාව සහ මේ ක්ෂේත්‍රය තේරුම් ගන්න පුළුවන් සහකාරියක් ලැබුණොත් ඉදිරියෙදී ඒ  ගැන සලකලා බලන්න පුළුවන් වෙයි. 

ධනූ විජේරත්න

සුමුදු හේවාපතිරණ