හරිම කෙනා දැන් මුණගැහිලා තියෙන්නෙ


නයෝමි තක්ෂිලා කියන්නේ  වේදිකාව තුළින් පුංචි තිරය ජයගත් නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ වූ චරිත හරහා පුංචි තිරයට ගොඩවෙන ඇය ගැනයි මේ කතාබහ.

ප්‍ර කොහොමද  අවුරුදු?

සතුටින් ගෙවිලා ගියා. මොන වැඩේ තිබුණත් කොච්චර කාර්යබහුල වුණත් සිංහල අවුරුද්දට නම් ගෙදර ඉන්නවා තරම් මගේ හිත නිවෙන තැනක් තවත් නැහැ. මේ පාර අවුරුද්ද ගෙවුණෙත් ගමේ තමයි.  

ප්‍ර මේ දවස්වල කලා කටයුතු?

මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන රාග ටෙලි නාට්‍යයේ සහ R.A.T කියලා ටෙලි නාට්‍යය දෙකක වැඩ කරගෙන යනවා. ඊට අමතරව අලුත් නිර්මාණයක රූපගතකිරිම් පටන් ගත්තා පසුගිය සතියේ . ඊට අමතරව වේදිකා නාට්‍යයක වැඩ කරගෙන යනවා.  

වයස යනවා කියලා නම් කසාද බඳින්න ඕන කියන මෝඩ තීරණවල මම නැහැ. මොකද ඒ තීරණේ අපි ගන්න ඕන ජීවිත කාලයටම හරි යන විදිහට.

ප්‍ර රාග ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

රාග කියන්නේ ශිවගුරුනාදන් මහත්මාගේ අධ්‍යක්ෂණයක්. ළමා නිවාසෙක හැදෙන ගැහැනු ළමයෙකුගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඇය අවුරුදු 18 න්  පස්සේ ස්පා එකක රැකියාවක් කරනවා. සමාජයට ලොකු කතාවක් කියන නිර්මාණයක් මේක. ඒ වගේම  බොහෝ  හැලහැප්පීම් එක්ක යන චරිතයක්. නම් ගණනාවකින් ඒ චරිතය හඳුන්වනවා. ඒ නිසා මට එක නමකින් ඒ චරිතය හඳුන්වන්න අමාරුයි. මේ චරිතය වෙනුවෙන් මම ළමා නිවාසවලට ගිහින් ඒ  දරුවන්ගේ හැඟීම් ජීවන රටාවන් ගැන අත්දැකීමක් ගත්තා. ඇත්තටම මේ නාට්‍යයේ රූපගතකිරිම් කරෙන්නේ ස්පාවල ස්පා ගර්ල්ස්ලා එක්ක මම කතා කරලා  ඒ අයගේ අත්දැකීම් අරන් තමයි මගේ චරිතය ගොඩ නඟාගත්තේ.  

මට ලැබිලා තියෙන්නේම අභියෝගාත්මක චරිත. පෙම්වතියගේ චරිතය වුණත් ඒකේ ප්‍රේක්ෂකයාට දෙන්න දෙයක් තිබුණා . කොහොම වුණත් මට ලැබුණ හැම චරිතයකම යම් කිසි දෙයක් කරන්න පුළුවන් චරිත හැමදාම ලැබුණා. ඒකට මම හැමදාම මට චරිත ලියපු පිටපත් රචකයින්ට වගේම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත් අධ්‍යක්ෂවරුන්ට ස්තූති කරනවා.

ප්‍ර ජීවිතේ ලැබුණ නිර්මාණ අතුරින් සිනමාව නයෝමිගෙන් මග ඇරුණේ කොහොමද?

හේතුව මොකද්ද කියන්න මම දන්නෙ නැහැ. මගේ මූණ ටීවි එකේ දැක්ක ප්‍රමාණය වැඩියි.  ටෙලි නාට්‍ය වලට එන්න කලින් මම මියුසික් වීඩියෝ සියයකට වඩා පෙනි ඉඳලා තියෙනවා. ඒවාත් එක්ක මාව ටෙලි නාට්‍ය වලටම කොටු වුණා වගේ එකක් වුණා. ඒ වගේම මම චරිත භාරගනිද්දිත් මට කළ හැකි සීමාව ඇතුළේ විතරයි  චරිත තෝරගන්නේ. ඒ නිසා වෙන්න ඇති මට චිත්‍රපට ක්ෂේත්‍රය අතපත ගාන්න ලැබුණේ හරිම අඩුවෙන්.

ප්‍ර මොන දේ කරත් නයෝමි කියන්නේ වේදිකාවට නැතුවම බැරි චරිතයක්. මේ දවස් වල වේදිකාවේ මොකද වෙන්නේ.?

ඇත්තම කතාව නම් මටත් මොන දේ කරත් වේදිකාව නම් අතෑරලා ඉන්න බෑ . එක නාට්‍යයක් ඉවර වෙන්න මම තව නාට්‍යකට සම්බන්ධ වෙනවා. මේ දිනවලත් චාලක රණසූරිය අයියාගේ වේදිකා නාට්‍යක් භාර අරගෙන තියෙනවා.  

ප්‍ර මීට අවුරුදු 11 විතර කලින්  මීදුම් අම්මා  ටෙලි නාට්‍යයෙන් පටන් ගත්ත ගමන ගැන අද මොකද හිතෙන්නේ?

2012  දි  තමයි මම කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට එන්නේ. පුංචි කාලේ ඉඳලා රඟපාන්න හරිම ආසයි . ඒත් අනුරාධපුර නෙල්ලිකුලම වගේ දුෂ්කර ගමක ඉපදුන මට කවදාවත් ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා හිතුවෙම නැහැ. උසස්පෙළට වෙනකම් මට නාට්‍ය ගුරුවරයෙක් හිටියේ නැහැ. නැටුම්  ගුරුවරියක් හිටියේ අට වසරට වෙනකම් විතරයි. කලාව කියන එක පරිසරයකවත් නැති මම කොළඹට ඇවිල්ලා තනියම ජීවත් වෙලා දේවල් ගොඩනගාගෙන අද වෙනකොට හදාගෙන ඉන්න තැන ගැන මම මගෙ ගැනම ආඩම්බර වෙනවා. මොකද මම මාව දරාගත්තාට.  ඩ්‍රාමා ස්කූල් එක ඇතුළෙදි වේදිකා‍ නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබීම තමයි මගේ රංගන ශිල්පිනියක් වීමේ හීනෙට පාර කැපුවේ.  වේදිකාවේ කෙටි නාට්‍ය දිගු නාට්‍ය වල මට රඟපාන්න ලැබුණා. ඒ දේවල් හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ අතරේ අකිල සපුමල් අයියාගේ වේදිකා නාට්‍යයක  හොඳම නිළිය වුණා. ඔහොම ඉන්නකොට හසුන් සමීර අයියා මම රඟපාන වේදිකා නාට්‍යයක් දැකලා තමයි මීදුම් අම්මා ටෙලි නාට්‍යයට කතා කරන්නේ. කවදාවත් කැමරාවක් ඉදිරියේ රඟපාලා නොතිබුණ මාව කැමරා ඉදිරියට යන්න  බය නැති කළේ මාලනී ෆොන්සේකා මහත්මිය.

ප්‍ර ඇත්තටම එදා උපාධිය අරන් ගමට ගියානම්

එහෙනම් මම මුලින්ම විවාහ වෙයි. ඊට පස්සේ ගමේ ඉස්කෝලේ  ගුරුවරියක් විදිහට වැඩ කරාවි. ජීවිතේ හැමදේම වෙන්නේ හොඳකට කියලා තමයි මම නිතරම හිතන්නේ. මගේ ජීවිතේ දේවල් සිද්ධ වුණෙත් නොවුණෙත් හොඳට කියලා මම හැමදාම හිතනවා. අම්මායි තාත්තායි මම රඟපානවට මුලදි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයාලාගේ එකම හීනය වුණේ මම උපාධිය සම්පූර්ණ කරලා ගුරුවරියක්  වෙනවා දකින්න. රඟපාන්න ගියාම අම්මත් හිතුවා මම උපාධිය මඟ අතාරිවි කියලා. මම මොන වැඩේ කරත්  කොළඹට ආපු මූලිකම කාරණය අතෑරියේ නැහැ.  උපාධිය මේ වනවිට අවසන්. ගුරු වෘත්තියට ගියේ නැහැ කියා උපාධිය අපතේ ගියා කියලා මම හිතන්නේ නැහැ.

ප්‍ර ඉතින් .. පිළිවෙළක් වෙන්න  දැන්ම අදහසක් නැද්ද?  

වයස යනවා කියලා නම් කසාද බඳින්න ඕන කියන මෝඩ තීරණ වල මම නැහැ. මොකද ඒ තීරණේ අපි ගන්න ඕන ජීවිත කාලයටම හරි යන විදිහට. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක්. හරිම කෙනා දැන් මුණගැහිලා තියෙන්නේ. එ්ත් විවාහය සුදුසු කාලය එනකම් ඉන්නවා.  

ප්‍ර කොහොමද නයෝමිගෙ නිල් මානෙල් මල් ව්‍යාපාරය සරුද ?

නිල් මානෙල් මල් කියන්නේ අපිට අපේ ජීවිතේ වගේ. ඉස්සර ඉඳලාම අපිම වැවට ගිහින් නෙළුම් මල් කඩලා චෛත්‍යයෙ හදාල උඩ මළුවට පූජා කරනවා. කුඹුරු වැඩ වලට, නෙළුම් මල් කඩන්න ඒවා පුංචි කාලේ ඉඳලාම මට  හොඳට පුරුදුයි.  මුලින්ම අම්මා ගෙදර වත්තේ පොඩි ප්‍රමාණයක නිල් මානෙල් වගා කළේ අපිට පූජා කරන්න. ඊට පස්සේ නිල්මානෙල් මල් ආයතන වලින් ගන්නවා කියලා දැනගත්තාට පස්සේ අම්මා ටිකක් වැඩිපුර වගා කරන්න ගත්තා. ඊට පස්සේ අපිට හොඳ ඉල්ලුමක් තිබුණා.  ඒ විදිහට අම්මායි තාත්තායි නෙළුම් මල් වගාව ව්‍යාපාරයක් විදිහටම කළා.

රටවල් කිහිපයකටත් අපි නිල් මානෙල් යැව්වා. මේ වෙනකොට මමත් අම්මලාගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. දැනට අක්කර දහයක නිල් මානෙල් වගා කරලා තියෙනවා.  මේ වෙද්දි ආයතන කිහිපයකට වගේම වන්දනාකරුවන්ට  මල් ලබා දෙනවා. ගොඩාක් වෙලාවට මම ගමේ ගියාම නිල්මානෙල් මල් චෛත්‍ය හදලා පූජා කරනවා. අපිටම හිටවපු පැළ වලින් , අපිම මල් කඩලා, චෛත්‍යක් හදලා පූජා කළාම හිතට හරිම සහනයක් දැනෙනවා.

නදිශා අතුකෝරළ