සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා


මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ  රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන් ඇසුවොත්? මම සාධාරණයේදී බොහොම සාධාරණයි. අසාධාරණයේදී ඒ වෙනුවෙන් සටන් කරන කෙනෙක්.  හොඳට හොඳයි-නරකට නරකයි කිව්වොත් හරි. ඒ වගේම මම හරිම ආදරණීය චරිතයක්. 

ජීවිතේ මම වැඩියෙන්ම කැමති, පොඩි ළමුන් එක්ක කාලය ගත කරන්න. ඒ වගේම සතුන්ට හරිම ආදරේ කරන කෙනෙක්. ගෙදර බල්ලන් පහළොවක් විතර හිටියා. බළලුන් කීප දෙනෙක්ම හිටියා. එක එක පාට ගිරවුන් තාත්තා මට ගෙනැත් දීලා තිබුණා. මම සතෙකුට ආදරෙයි කියලා කියන-කියන වෙලාවට තාත්තා මට ඒ සතුන් ගෙනැත් දීලා තිබුණා. ඉබ්බෝ, හා පැටවි පවා මට හිටියා. මම නිසා අපේ ගෙදර සත්තු වත්තක් වගේ තිබුණෙ. අද මම නුවර ඉඳලා කොළඹ පදිංචි වෙලා හිටියත්, මම ඉන්න තැන ගිරවෙක් හදනවා. මම කෑම කෑවේ නැතත් එයාට වෙලාවට කෑම ටික දෙනවා. අහිංසක හිත් තියෙන ඒ සතුන් එක්ක ගනු දෙනු කරන්න මම ආසයි. 

ඒකයි මම කුඩා දරුවන් සහ අහිංසක සතුන් එක්ක කාලය වැඩිපුර ගෙවන්න කැමති. ඒ පරිසරයේ සිටීම මට ගෙන දෙන්නෙ ලොකු සතුටක්, ඒ වගේම සැහැල්ලුවක්. ඒ වගේම මගේ අම්මට සහ තාත්තාට මෙන්ම මගේ පවුලේ  අයට ආදරය කරන කෙනෙක්. වසන්ත කුමාරවිල සර් එක්ක කළ මගේ පළවැනි ෆිල්ම් එක තමයි සෝණා. ඒකෙ මම රඟපාන්නෙ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. ඒක මට වෙනස්ම අත්දැකීමක්. මේ ෆිල්ම් එක ප්‍රේක්ෂකයින්ට ලස්සන අත්දැකීමක් ලබා දේවි. ඉතින් සෝණා නරඹන්න කියලා මම හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.

සඳුන් ගමගේ