සෙන් බුදු දහමෙන් ජීවිතයට පාඩමක්


සෙන් බුදු දහම  මහායාන බුදුසමයට අයත් සම්ප්‍රදායක් ලෙස හඳුනාගත හැකි සෙන් දහම පරමාර්ථ සත්‍යය අවබෝධ කිරීමට මං පාදන ඉගැන්වීමකි. පරමාර්ථ සත්‍යය අවබෝධය යනු නිර්වාණය අවබෝධ කිරීම යි. ථෙරවාද හා මහායාන දෙකෙහි ම අවසාන අරමුණ නිවන් දැකීම වන අතර එය මේ ආත්මයේ හෝ අන් ආත්ම භවයක දී හෝ සිදුවිය යුත්තක් සේ බෞද්ධයෝ කල්පනා කරති. එහෙත් සෙන් ආගමිකයන්ගේ මූලික අරමුණ වන්නේ මේ ආත්මයේදී ම පරමාර්ථ සත්‍යය අවබෝධ කරගැනීමයි.  

සෙන් යන නාමය ජපන් වචනයකි. ජපන් බසට එය එක් වී ඇත්තේ චීන බසෙහි එන චාන් යන වචනය ආශ්‍රයෙනි. එම වචනය චීන බසට එකතු වී ඇත්තේ සංස්කෘත භාෂාවෙහි එන ධ්‍යාන යන යෙදුම ආශ්‍රයෙනි. එහි සාමාන්‍ය සිංහල අර්ථය දැහැන් නොහොත් භාවනාව යන්නයි. බුදු දහම ඉන්දියාවේ සිට චීනයට ව්‍යාප්ත වූ පසු ධ්‍යාන යන වචනයට පුළුල් අර්ථයක් ගැබ් වී තිබේ. ධ්‍යාන යන වචනය භාවනාවේ එක් අංගයක් වශයෙන් ඉන්දියාවේ ව්‍යවහාර කළත් චීනයේදී සමස්ත භාවනාවම ධ්‍යාන විෂයෙහි අන්තර්ගතවී ඇති බවක් දක්නට ලැබේ. චීනයට ගෙනගිය බුදු දහමේ ප්‍රධානම අංගය වශයෙන් හඳුන්වන්නේ භාවනාවයි. මෙම චාන් ආගමික ඉගැන්වීම් ජපානයට ගිය විට එය සෙන් බවට පත්විය. සෙන් බුදු දහමේ මූලික ලක්ෂණයකි ධර්ම ග්‍රන්ථ භාවිතා නොකිරීම. චීනයේ ධර්ම ග්‍රන්ථ සම්පූර්ණයෙන් ඉවත් කළ අතර ජපානයේදී සෙන් ආගම අංශ දෙකක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කර ගනී. ඒ රින්සයි සෙන් හා ඩෝගන් සෙන් වශයෙනි කොටසක් ධර්ම ග්‍රන්ථ භාවිත කළ අතර අනෙක් කොටස ධර්ම ග්‍රන්ථ ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය.  


බුදු දහම චීනයට ගෙන ගිය පසු බුදු දහමේ දාර්ශනික හා තාර්කික අංශයට දැඩි රුචිකත්වයක් දැක්වූ අතර ආධ්‍යාත්මික අංශයට එතරම් නැඹුරු නොවී ලෞකික ජීවිතයට නැඹුරු වී ඇති බවක් පෙනේ. මේ නිසා චීනයේ භික්ෂු සමාජය, මූලික භික්ෂු සමාජයේ ස්වරූපයෙන් වෙන්වී තිබේ. චීන භික්ෂුව සමාජීය ක්‍රියාවන්හි නිරත වූ අතර ධර්මය වෙත කෙටි කාලීන නැඹුරුවක් දැක්විය.  


සෙන් බුදු දහමේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි අල්ප වචන භාවිතය. භික්ෂුන් වහන්සේලා වචනය අවම වශයෙන් භාවිතා කළ අතර ධර්ම දේශනා ඉතා කෙටි විය. සෙන් බුදු දහම වචන භාවිතයට විරුද්ධ නොවේ. ඔවුන් විරුද්ධ වන්නේ වචන භාවිත කිරීම නිසා ඇතිවන සංකල්ප නිර්මාණයටයි. සෙන් දහමේ ලක්ෂණය නම් වචන ආශ්‍රයෙන් සංකල්ප තනා ගැනීමෙන් වැළකී කල්පනා ලෝකය නිර්මාණය කිරීමෙන් දුරුවී සිටීමයි.  
සෙන් බෞද්ධ සම්ප්‍රදාය ඇති වන්නේ මහායානයේ ශාඛාවක් ලෙසය. නමුත් එය වෙනත් මහායාන සම්ප්‍රදායන්ට වඩා ඉතාමත් වෙනස්ය. සෙන් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ඉන්දියානු ජාතික භික්ෂුන් වන බෝධි ධර්ම සහ චීන ජාතික භික්ෂුවක් වන දාසු හුයිකේ විසිනි. සෙන් සම්ප්‍රදායේ සූත්‍ර සහ අභිධර්ම කරුණුවලට වඩා වැඩි තැනක් ලැබෙන්නෙ ව්‍යවහාරයටයි භාවනාව, ස්වයං විනය, අල්පේච්ඡතාව වැනි දෑ සෙන් සම්ප්‍රදායේ ඉහළින් සැලකීමට ලක්වේ. එමෙන්ම පොත පතින් කරුණු හැදෑරීම සෙන් සම්ප්‍රදායේ බැහැර කරන බව දක්නට ලැබේ. ඒ වෙනුවට මුල් තැන දී ඇත්තේ ගුරු-ගෝල සම්බන්ධයටයි. සෙන් සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් තුනක් අද ජපානයේ දක්නට ලැබේ.  


සෙන් බුදු දහමෙහි ඉතා කෙටි සංවාදවලින් පිරි කතා පුවත් රැසක් අන්තර්ගත වේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ආශ්‍රයෙන් දාර්ශනික අවබෝධ ලබාගැනීමට උත්සාහ දරයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතය යන්නට පර්යාය වදනකි සෙන්’ යන්න. මෙම දහම මිනිසාගේ ආධ්‍යාත්මික අංශය මෙන්ම සංස්කෘතික අංශය වෙතට ද යොමු වූ අවධානයක් ඇති ඉගැන්වීමකි. මෙම සෙන් බොදු කතා තුළ විශේ‍ෂයෙන්ම ප්‍රායෝගික ජීවිතයට වැදගත් කරුණු රාශියක් අන්තර්ගත වන බව දක්නට ඇත. ජීවිතයේ පැරදීම් හමුවේ දිනුමක් සොයා යන්නටත් අයහපතෙන් මිදී යහපත භජනය කිරීමටත් හිත් වේදනා, නින්දා අපහාස හඬා වැටීම් හමුවේ සැනසීම සොයා යන්නටත් මග කියන කතා රාශියක් අපට දැක ගත හැකිය. ඒ අතර අපේ ජීවිතයට එකතු කරගත හැකි ආදර්ශ උපදේශ හැදියාවන් යහපත් ආකල්ප මොනවාදැයි තෝරාගත් කතා කිහිපයක් ඇසුරින් විමසා බලමු.  


තම බිරිඳට පමණක් ආශිර්වාද කළ සූත්‍ර සජ්ඣායනය  


එක්තරා ​ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි නම් තෙරුණු

කෙනෙකුගෙන් ඉල්ලා සිටියේය. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙසේ විමසුවේය. මෙයින් මගේ බිරිඳට පින් ලැබේවි කියා ඔබ වහන්සේ සිතනවාද?  


ඔබේ බිරිඳට විතරක් නෙවෙයි මේ පිරිත් සජ්ඣායනයෙන් සියලුම සචේතනික සත්ත්වයන්ට පින් ලැබෙනවා. තෙරුන්ගේ පිළිතුර වුණා.  


ඔබ වහන්සේ කීවාම සියලුම සචේතන සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා. ඒක මගේ හිතට හරි මදිකමක්. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් අනෙක් අය මේ පින් අරන් ශක්තිමත් වුණොත් එය එයාට අවාසියක් වේවි. මේකෙන් ලැබෙන වාසිය එයාට විතරයි ලැබෙන්න ඕනෑ. එනිසා කරුණාකර ඇයට විතරක් පිරිත් ටිකක් කියන්න යැයි ගොවියා ඉල්ලා සිටියේය. තෙරණුවෝ ඔහුට පහදා දුන්නා බෞද්ධයාගේ අභිලාෂය විය යුත්තේ කිසිම වෙනසක් නැතිව සෑම සචේතනික සත්ත්වයකුට ම එක සේ පින් පැමිණවීම බව.  
ඒක ඉතා හොඳයි. ඒත් ඒක පුංචි වෙනසක් කරන්න බැරිද මං වෙනුවෙන්. මගේ අසල්වැසියා මට හරියට හිරිහැර කරනවා. ඒ හින්දා මේ සියලුම සචේතනික සත්ත්වයන් අතරින් එයා විතරක්වත් අයින් කරන්න බැරිද ගොවියා අවසන් වශයෙන් ඉල්ලුවේය.  


වත්මන් සමාජයෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන ප්‍රශ්නයක් මේ කතා පුවතින් කියැවේ. බොහෝ තැන්වල තම අසල්වාසීහු තරහකාරයෝ ය. ඇතැම් විට එයට හේතුව අනෙකාගේ දියුණුව දකින්නට ඇති අකමැත්තයි. නොඑසේනම් තමන්ට නොතිබෙන දේවල් අසල්වාසීන්ට තිබීමයි. නැතිනම් අනෙකා හොඳින් කා බී සතුටින් ජීවත් වීම දකින්නට අකමැතිවීමයි. කෙටියෙන්ම පැවසුවහොත් මුදිතා ගුණය නොමැතිවීමයි. ඉඩමේ මායිමේ ගසට දෙපිරිසම උරුමකම් කියති. කෝලහල ඇතිකර ගනිති. නඩු කියති. දිවි ඇති තෙක් තරගකාරයෝ ලෙස දිවි ගෙවති. අසල්වැසියා යනු තම දුකේ දී සැපේ දී ළඟින්ම සිටිනා මිතුරාය. තමාට දුකක් කරදරයක් සිදුවූ විට පිහිටට සිටිනා ළඟම නෑයෝ ඔවුහුය. ඒ නිසා අසල්වාසීන්ට ප්‍රේම කළ යුතුය. එවිට යහපතක් මිසක් අයහපතක් සිදු නොවනු ඇත.