සිනමාවේ මට ලැබෙන අවස්ථා අඩුයි - නිරෝෂන් විජේසිංහ


මේ දිනවල ලෝකෙ පුරා තිරගත වෙන වාලම්පුරි හෙවත් හීන හතහමාරක් සිනමා නිර්මාණයේ කස්තුරි, එහෙම නැත්තම් සැබෑ ජීවිතයේ නිරෝෂන් විජේසිංහ කියන්නේ පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය වැඩිපුර දිනා ගත් දක්ෂ රංගන ශිල්පියෙක්. හැබැයි මේ දවස්වල නම් ඔහු ගැන ගොඩක් අය කතා වෙන්නේ රිදී තිරයේ එන කස්තුරි චරිතය නිසායි. ඉතින් මෙවර සඳැල්ල කතාබහ ඔහු සමඟයි.

ප්‍ර අලුතින් එකතු වුණ චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියලම අපි කතාව පටන් ගමු.

චිත්‍රපටියෙ නම වාලම්පුරි. ලක්මාල් ධර්මරත්නගේ සිනමා නිර්මාණයක්. මේ දවස්වල ඉතින් වාලම්පුරි චිත්‍රපටය බොහොම සාර්ථකව ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම තිරගත වෙනවා. විශේෂම කාරණය ඉතින් ඒක තමයි. 

ප්‍ර වාලම්පුරි නිර්මාණයේ ඔබේ චරිතය වෙනදට වඩා ගොඩක් වෙනස්?

ඇත්තටම ඔව්,මේ නිර්මාණයේ මගෙ චරිතය කස්තුරි. කස්තුරි කියන්නේ කවුද කියලා කිව්වොත් බලය තියෙන පාලකයෙකුගෙ ළඟම ඉන්න හිතවතෙක් කියලා කියන්න පුළුවන්. බලවතාගේ සම්පූර්ණ වැඩ කරන හෙංචයියා කියලා කියන්නත් පුළුවන්. අදත් එහෙම අය ඉන්නවනේ. කස්තුරි කියන්නෙත් එහෙම චරිතයක්. තමන්ට බලය නැති වුණත් අනුන්ගේ බලය හරි පාවිච්චි කරලා උපරිම විදිහට බලය විඳින, පේනවට වඩා ගොඩක් නපුරු දුෂ්ට චරිතයක්. මම රඟපාපු අනිත් චරිතවලට වඩා ඒක ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අය චිත්‍රපටිය බලලත් මට කිව්ව දෙයක් තමයි ඒක මගෙන් බලාපොරොත්තු වුණේ නැති චරිතයක් කියලා. මෙච්චර කාලෙකට මගෙන් දැක්කේ නැති වෙනස්ම විදිහේ චරිතයක් මගෙන් මතුකරන්න ලකාට වාලම්පුරි හරහා පුළුවන් වුණා. ඒ වගේම කස්තුරි කියන චරිතයට මටත් සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මට මේ වෙන කොට ලැබෙන ප්‍රතිචාරවලින් මට ඒක හොඳටම ඔප්පු වෙලා තියෙන නිසා. ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ අයගෙනුත් මට ලොකු ප්‍රතිචාර  ලැබුණා. ඇත්තටම ටෙලි නාට්‍යත් එක්ක බැලුවම සිනමාවේ මට හමුවෙන අවස්ථා ගොඩක් අඩුයි. ඒත් ලැබෙන අවස්ථාවලට මම උපරිම සාධාරණයක් කරනවා. ඒවගේම මට වාලම්පුරි චිත්‍රපටිය ඇත්තටම ගොඩක් වටිනවා. 

ප්‍ර වෙනස් චරිතයක් නිසා මුහුණ දුන්න අභියෝගත් වැඩි ඇති. 

මෙහෙමයි මම හිතන විදිහට මගේ අභියෝගය වෙන්නෙත් වෙනස් චරිත හොයාගෙන රඟපාන එකම තමයි. මොකද මම අවුරුදු විසි ගණන්වල ඉඳන්ම තමයි ක්ෂේත්‍රයෙන් ලැබෙන ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්නේ. අවුරුදු තිස් ගණන්වලදි මට වයස අවුරුදු හැට ගණන්වල විශ්‍රාම ගියපු තාත්තා කෙනෙක්ගෙ චරිතයක් කරන්න වුණා. එක්තරා අවධියක මට ඒ වගේ අභියෝග සහගත වැඩම තමයි ලැබුණේ. ඒ අභියෝගවලට මමත් ඇත්තටම කැමතියි. මොකද ඒ අභියෝගය නිසා මට මගේ ගමන වෙනත් මානයන්වලට හරවා ගන්න පුළුවන් වුණා. ඉදිරියටත් ඒ විදිහටම වෙයි. වෙනස් විදිහෙ චරිත අභියෝගයක් වුණත් ඒ හරහා තමයි චරිතාංග නළුවෙක් වෙන්නත් අවස්ථාව ලැබුණේ. ඉතින් එහෙම බලද්දි මම හරි ආසයි අභියෝගවලට මුහුණ දෙන්න. කස්තුරි කියන්නෙත් ඒ වගේ එක අභියෝගයක් තමයි. ලකා වගේ දක්ෂයෙක් එක්ක මට ඒ වගේ චිත්‍රපටියකට එකතු වෙලා වැඩ කරන්න ලැබුණු එකම මට ලොකු අභියෝගයක් වුණා. ඒත් ඒක සාර්ථක වීමත් එක්ක මම හිතනවා මට තවත් අභියෝගවලට මුහුණ දෙන්න ශක්තිය ලැබුණා කියලා.

ප්‍ර මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර  ලැබෙන්නේ? 

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරෙ ඇත්තටම ගොඩක් අය කියන්නේ මගෙන් ඒ වගේ චරිතයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලා. මම කරන් හිටපු චරිතත් එක්ක ඒ වගේ චරිතයක් මම බලාපොරොත්තු වුණෙත් නැහැ. ඉතින් ඒ චරිත මාව වෙනම තැනකට ගෙනියලා තියෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ලකා වගේ අති දක්ෂයෙක්ගේ නිර්මාණයක රඟපාන්න ලැබීම ගැනත් මට ගොඩක් සතුටුයි.  

ප්‍ර ඔබ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍යවලනේ. මේ දවස්වල ඔබ රංගනයෙන්  දායක වෙන ටෙලි නාට්‍යය ගැනත් මතක් කළොත්?

ගොඩක් ටෙලිනාට්‍ය යනවා. එකක් කියන එක අසාධාරණයි. ඒ අතර හිරි පොද වැස්ස, රොන් සොයා ඒ වගේ තව නාට්‍ය ගණනාවක් යනවා. තව වීදුරු තිර කියලා නිර්මාණයක ඉන්නවා. වීදුරු තිර ගැන කිව්වොත් ඒක ඇත්තටම හරිම ලස්සන සංකල්පයක්. කතාව ශලනි තාරකාගේ සංකල්පයක් අනුව තමයි නිර්මාණය වුණේ. මේකේ විශේෂත්වය තමා මේකේ කතාංග තියෙන්නෙ තිහයි.  මුල මැද අග සාර්ථකව කරපු නිර්මාණයක් තමයි වීදුරු තිර කියන්නේ. ශාන් ජයරත්න තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ලංකාවට ගොඩක් වෙනස් කතාවක්. වීදුරු තිර කිව්වහම ඒකේ අදහස නමේම තියෙනවනේ. හැමෝම දන්න රහසක් ගැන තමයි අපි කතා කරන්නේ. වීදුරු තිර නිර්මාණයේ මම සුපුරුදු විදිහට කරන්නෙ තාත්තගෙ චරිතය. හැබැයි වෙනස්ම විදිහේ අසාමාන්‍ය ප්‍රශ්නෙකට මුහුණ දෙන තාත්තා කෙනෙක්ගේ චරිතයක් කිව්වොත් හරි.

ප්‍ර රඟපාපු චරිතවලින් නිරෝෂන්ට වැඩිපුරම මතක? 

මම සාමාන්‍යයෙන් මට හම්බෙන හැම චරිතෙකටම උපරිම සාධාරණයක් කරනවා. හැබැයි මට වගේම ලංකාවටම මතක හිටින චරිතයකට මොකක්ද කළේ කියලා  ඇහුවොත් අමා ටෙලි නාට්‍යයේ හෙන්රි කියන චරිතය. ඒක තමයි මං හිතන්න ඕන කෙනෙකුට මතක. මොකද ඒක මගේ තරුණ කාලෙ මම රඟපාපු තාත්තා කෙනෙකගේ චරිතයක්. ඉතින් ඒ චරිතය ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක්වුණ විශේෂයෙන්ම මමත් හරි කැමති තාත්තගෙ චරිතයක්.

ප්‍ර අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?

ඔව්, කිසි අඩුවක් නැතුව මට වෙනදා විදිහටම ආරාධනා ලැබෙනවා. වෙලාව තියෙන විදිහ බලලා මට කරන්න පුළුවන් වැඩ මම භාරගන්නවා. ඊට අමතරව ටෙලි නාට්‍යත් සුපුරුදු විදියට කරගෙන යනවා. ඒ වගේම ඉන්දික ධර්මතිලක පටන් ගන්නවා වැඩ දෙකක් හෙට අනිද්දට. ඒකෙත් වැඩ කරනවා. ඊට අමතරව වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යත් එක්ක ලංකාව වටේ වගේම ලෝකෙ වටෙත් යනවා.  

ප්‍ර ගොඩක්ම කාර්යබහුල වේදිකාවේද? ටෙලි නාට්‍යයත් එක්කද? නැත්තම් රිදී තිරයෙද?

ගොඩක් කාර්‍යබහුල වෙලා තියෙන්නේ ටෙලි නාට්‍ය සහ වේදිකාවත් එක්ක. සිනමාවට ලොකූවට ආරාධනා ලැබෙන්නෙ නැහැ. හැබැයි ඉදිරියෙදි වැඩකරන්න අවස්ථා දෙක තුනක් ලැබිලා තියෙනවා. ඒත් ටෙලි නාට්‍යයට, වේදිකාවට තරම් කාර්යබහුලත්වයක් රිදී තිරය එක්ක නැහැ. 

ප්‍ර රංගනයට අමතරව මොනවද කරන්නේ ?

මම රංගනයට අමතරව Prestige කියලා Hair products ලංකාවට ගේන පොඩි ව්‍යාපාරයක් කරනවා. මම‍යි තව සමන් වීරසිංහ කියලා සහෝදරයෙකුයි එක්ක තමයි වැඩේ කරන්නේ. රංගනයට බාධාවක් නැතිවෙන විදිහට ඉතින් ඒ ව්‍යාපාරයත් සාර්ථකව කරගෙන යනවා. 

ප්‍ර පවුලේ අයවත් අපි මතක් කරමු.

මගේ බිරිඳ චමිලා ප්‍රියදර්ශනී, දුව වර්ෂා අක්ෂරී, පුතා ප්‍රසන්න අභිලාෂ්. දුවත් මේ වෙනකොට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම ඒක ලොකු සතුටක්.  දූව සින්දු කියනවා. සිරස වොයිස් වැඩසටහනටත් ඇය සම්බන්ධ වුණා. දුව ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම තමයි සංගීතය කළේ. හෙට අනිද්දට දුවගේ අලුත් සින්දුවකුත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

ප්‍ර පහුගිය දවස්වල දුව එක්ක කියපු සින්දුවකුත් වයරල් වුණා නේද?  ඉදිරියෙදිත් ඇයව නිර්මාණවලින් දැකගන්න ලැබෙයිද?

මම හිතන්නේ ඒක දුවගේ වාසනාවට වුණ වැඩක්. මොකද ඒක අපි හිතපුවත් නැතිව වුණ දෙයක්. අපි නිකන් අවුරුදු උත්සවයට සිංදුවක් කියමු කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් මොකක් හරි දෙයක් නිසා ඒක දවසක් යන්නත් කලින් ගොඩක් අය බලලා තිබුණා. රංගනය ගැන කිව්වොත් මුලින් දුවත් රඟපෑවා. රවින්ද්‍ර විජේරත්නගේ රුවන් මාළිගා කියලා කතාවක. පස්සේ ඉතින් දුව අඳුරගත්තා එයාට දක්ෂතාව තියෙන්නේ ගායනයට කියලා. ඉතින් එයා දැන් ඒ පැත්තෙන් ඉදිරියට යනවා. දුවට රඟපාන්නත් පුළුවන්. හැබැයි ඇය ගොඩක් කැමති සින්දු කියන්න. ඉතින් මම ඒ පැත්තෙන් දුවට ඉදිරියට යන්න උදව් කරනවා. එන්න තියෙන දුවගේ සිංදුවේ විෂුවල් එකේ ඉන්නෙත් දුවම තමයි. මම තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. 

ප්‍ර ඉදිරි සැලසුම් කොහොමද?

ක්ෂේත්‍රයේ ඉන්න ගමන් මගෙ ව්‍යාපාර කටයුතුත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒකට මම මගේ මාර්ගය හදාගෙන යනවා.

කෞශල්‍යා ලක්ෂානි