සිනමාවේ දේවි කුසුමාසන රූපවාහිනියේ මාව මතකද


‘මාව මතකද’ නාට්‍යයේ රඟපෑමට මට ආරාධනා කළේ දිනේෂ් හග්ගල්ල. මීට පෙර සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු මට හමුවී තිබෙනවා. මේ නාට්‍ය ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි. ඒ පළමු නිර්මාණයට අති සාර්ථක වෙලා තියෙන බව මගේ හැඟීමයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි. පිය සෙනෙහස සහ අහිමි වූ ආදරයක් ගැන තේමා වී තිබෙනවා. මව් සෙනෙහස සොයන දියණියකගේ කතාව වගේම එක එක විදිහට ආදරය ගලා යන ලස්සන කතාවක්. 

මේ විදිහට කියන්නේ උදාරි වර්ණකුලසූරියයි. අද සඳැල්ල කතා බහ හැඩ කරන්නේ සුන්දර ඇයයි. 

ප්‍ර උදාරි, ඔබ රංගනයට ආවේ සිනමාවෙන්, සිනමා ක්ෂේත්‍රයේදී කොච්චර කාර්යබහුල වුණත්, ටෙලි නාට්‍ය රංගනයට වැඩිපුර කැමතියි වගේ පෙනෙන්නේ ?

සිනමාවෙන් ආ නිළියක වුණත් සිනමා කර්මාන්තයට විතරක් ඇල්මක් දක්වනවා කියන්න බැහැ. මාව වැඩි දෙනෙක් හඳුනා ගන්නේ පුංචි තිරයෙන්. ඒ නිසා මට මගේ පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ටෙලි නිර්මාණවල රඟපෑම මගේ යුතුකමක්. මේ අංශ දෙකම හරියට මට මගේ ඇස් දෙක වගෙයි. සිනමාවටයි. ටෙලි තිරයටයි. එක වගේ ආදරෙයි. ඒ නිසා සිනමාවේ කොච්චර කාර්ය බහුල වුණත් ටෙලි නිර්මාණවලට එක් වෙනවා. හැබැයි මෙගා ටෙලි නාට්‍යවලට එක්වීම නම් අඩුයි. දුව විදෙස්ගතවෙලා සිටින නිසා මට නිතරම ඇය බලන්න යන්න වෙනවා. ඒ හින්දා මෙගා ටෙලි නාට්‍යවලට දායක වෙන්නේ නැහැ. මේ දිනවල සතියේ දිනවල රාත්‍රී 7.00ට විකාශනය වන දිනේෂ් හග්ගල්ලගේ මාව මතක ද? ටෙලි නාට්‍යයෙන් මේ දිනවල මගේ රඟපෑම් දැක ගන්න පුළුවනි. සිනමාවේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දේවි කුසුමාසන ෆිල්ම් එකේ දේවි කුසුමාසන ලෙස මාව දැක ගන්න පුළුවනි. මාව මතක ද ටෙලි නාට්‍යයේ දසුන් පතිරණ එක්ක මට රඟපාන්න ලැබුණේ ප්‍රථම වතාවට. මේ නාට්‍ය මේ විදිහට රඟපෑවට.

ප්‍ර උදාරි නිතරම ලංකාවේ නැහැනේ, අද ලන්ඩන් නම් හෙට නිව් යෝර්ක් ඊළඟට බලද්දී තවත් රටක? ට්‍රැවල් කරන්න එච්චරටම ආස ද?

මගේ අම්මා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මගේ දයාබර සැමියා සහ දුව ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ. තාත්තා හිටියෙත් ඇමරිකාවේ. අසනීප තත්ත්වය නිසා ලංකාවට ඇවිත් දැන් මා එක්ක ජීවත් වෙන්නේ තාත්තා. මම වැඩියෙන්ම ආස කරන්නේ ලෝකයේ ගියේ නැති තැනකට පවුලේ අය එක්ක සංචාරය කරන්න. කොහොමටත් සංචාරයට මම හරි ආසයි. නිවාඩු ලැබෙන විදිහට පවුලේ අය එක්ක ලෝකයේ නොදුටු තැන් බලන්න යනවා. විශේෂයෙන්ම දුවගේ පාසල් නිවාඩු කාලයේ දී ඒ විදිහට සංචාරය කරනවා. 

ප්‍ර සංචාරය කරද්දී ගුවන් ගමනේ යෙදෙද්දි ගමනාන්තය දක්වා යද්දි මොන වගේ දේ ගැනද කල්පනා කරන්නේ රසික පිරිස් එහෙමත් හමුවෙනව ද?

ශ්‍රී ලංකන් එයාර්ලයින් යානයක යද්දී බොහෝ දෙනෙක් හමුවෙනවා. සිංගප්පූරු එහෙම වෙද්දී අපේ ලංකාවේ අය වැඩිපුර හමුවෙනවා. ඒ අය එක්ක සුහදව කතා බහ කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මඬුල්ලත් හරිම හොඳයි. 

එයාලගෙන් ලැබෙන විශේෂ ගෞරව ආදරයට මම හිස නමා ආචාර කරනවා. අපේ ගුවන් සේවයේ සේවා ඉතා හොඳයි. බොහොම ගරුත්වය රැකගෙන සේවය සපයන පිරිසක් ඉන්නේ. වෙනත් ගුවන් සේවාවල දිගු ගමනාන්තවල යෙදෙන විට මම කරන්නේ ෆිල්ම්ස් නරඹන එක. අපේ සිංහල ෆිල්ම් එහෙම තියෙනව නම් නරඹනවා. ඒවායේ ආහාරපාන රස විඳින්නත් ආසයි. 

ප්‍ර උදාරිගේ ලස්සන රූපය එදා වගේමයි කියලයි හැමෝම කියන්නේ? වයසට යන්නේ නැහැලු? මොකක්ද එහි 
රහස ?

මට බියුටි සීක්‍රට් එකක් නැහැ. ස්වභාවයෙන් ලැබුණු පෙනුම පරිස්සම් කර ගන්න තමයි එදා ඉඳලම මගේ කැමැත්ත. සම පැහැපත් කර ගන්නය කියලා ෆේෂල් කරන්නේ නැහැ. සමට ආසාත්මිකතා වේවි කියන බය මට තියෙනවා. ව්‍යායාම් කරනවා. සිරුරට ගුණදායික ආහාරපාන ගන්නවා. මම දැන් හතළිහට කිට්ටු කරලා. අවුරුදු 37යි. වයස යද්දි පරිණත වෙද්දී සිරුරට අවශ්‍ය විටමින් වර්ග නිවැරදි විදිහට ගැනීම හොඳයි. හැබැයි ඒ සියල්ල ස්වභාවික දේ නම් හොඳයි. ඔක්​කෝටමත් වඩා හිත සතුටින් සිටීම තමයි. වඩා හොඳ. ආධ්‍යාත්මික වශයෙන් අපි නිස්කලංක වෙන්න ඕනෑ. ඇතුළාන්තය පිරිසිදු නම්? පිටතින් ඒ පෙනුම පවා ලස්සන වන බව මගේ හැඟීමයි. වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන තරමට ඒවා අපට බලපානේනේ අයහපත් විදිහට. ඉතින් හිත පිරිසිදුව සතුටින් තියෙනව නම් බාහිර පෙනුමත් ලස්සන වෙනවා. 

ප්‍ර උදාරි සංචාරය කළ රටවල් අතරින් ඉන්න හිතෙන ආසම රට? 

මේ දක්වා ගිය රටවල් අතරින් මම දැකපු පිරිසිදුම රට සිංගප්පූරුව. පසුගිය දාහත් වසර පුරාවට මම ජීවත් වෙන්නේ එහේ. හැබැයි ඒ නිසා කියනවා නෙවෙයි. 

නගර අලංකාරය සහ පිරිසිදුකම ඉහළින්ම ඇති රටක්.  මෑත කාලයේදී මම ගියේ ලෝකයේ උතුරු කොනේ මිනිස්සු ජීවත් වන අන්තිම රට වන ස්වෙල්බර්ඩ් (Svalbard) වලට. ඒක අධික ශීතාධික රටක්. මිනිස්සු අඩුයි. මිනිස්සු. ඉපදෙන්නත් තහනම්, මැරෙන්නන් තහනම් රටක් කියලයි සමහරු ඒ රට හඳුන්වන්නේ. කොහොම වුණත් ඒ රට හරිම නිස්කලංකයි. දරු ප්‍රසූතියට ඒ රටේ මව්වරු යන්නේ නෝර්වේවලට. වයෝවෘද්ධ අයට එහේ වාසය කරන්න අසීරුයි. හදිසි ප්‍රතිකාර සඳහා ක්‍රියා මාර්ග ගන්න බැරි නිසා. මුළු රටටම එක යුනිවර්සිටි එකක් සහ එක සුපර්මාකට් එකක් විතරයි තියෙන්නේ. ශීත සෘතුවේදී පැය 24ම කළුවරයි. ගිම්හානයේ දී දවසම එළියයි. හැබැයි ශීතලයි. ඒ රටට හැර ෆින්ලන්තයට ආසයි. එහි සැන්ටා ක්ලෝස් විලේජ් එකට ගියා. එතැනටත් මම ආසයි. ඒ ඒ කාලවලදී රට රටවලට ගියාම, පොදුවේ ගත්තාම මම සිංගප්පූරුවට ආසයි. 

ප්‍ර ඒ විදිහට ලෝකේ වටේ යද්දී, ලංකාව ගැන උදාරිට ඇති වූ හැඟීම්.

අපේ රටේ හදන්න තියෙන සහ වෙනස් විය යුතු අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වුණාට ලෝකයේ කොහේ ගිහින් ආවත් ලංකාවේ ඉන්න තමයි මම ආසම. මම හිතන්නේ හැමෝම වගේ එහෙම වෙන්න ඇති. හැබැයි අපේ රටේ හදාගන්න පුළුවන් අඩුපාඩු තියෙනවා. අපි උත්සාහ කළොත් ඒවා හදාගන්න පුළුවනි. අපේ රටේ පරිපාලනය හරියට කළොත් මේ ලෝකයේ වටිනාම රටක් කරන්න පුළුවනි. එහෙම වුණොත් ලෝකයේ අනර්ඝම රට අපේ රට බවට පත්වේවි. 

ප්‍ර ලංකාවේ උදාරි කැමතිම තැන්?

ලෝකයේ විවිධ තැන්වල වගේම මම ලංකාවෙත් නිතර ඇවිදින කෙනෙක්. ෂූටිං නැති දිනවල සංචාරය කරනවා. උදේ යාපනයට ගිහින් එදාම ආපහු ඇවිත් තියෙනවා. ලංකාවේ මම යන්න වැඩිපුරම ආස කරන්නේ හෝර්ටන් තැන්න සහ රිවර්ස්ටන් වලට. මම ජීවිතේ විඳින්න ආස නිස්කලංක පරිසරවල. 

ප්‍ර ‘මාව මතකද?’ චරිතය ගැනත් කියමු? 

මෙහි ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ දසුන් පතිරණ සහ මම. ඔහුගෙන් මගේ චරිතයට ලැබෙන දායකත්වය ඉහළයි. අපි දෙන්නා එකට රඟපාන පළමු අවස්ථාව. ඔහු රඟපෑම අතින් විශිෂ්ට ශිල්පියෙක්. අධ්‍යක්ෂවරයා මාව හැසිරවීම සහ දසුන් ඇතුළු අනෙකුත් ශිල්පීන්ගේ දායකත්වය සහ සහයෝගය නිසා මට මගේ චරිතය හොඳින් කරන්න අවකාශය ලැබී තිබෙනවා කියලා මම හිතනවා. 

ප්‍ර උදාරි කියන්නේ හොඳ මවක්ද? හොඳ ගෘහණියක්ද? හොඳ දියණියක්ද?

උදාරි කියන්නේ හොඳ දියණියක්. මගේ අම්මා තාත්තා මා ගැන ආඩම්බර වෙන බව මම දන්නවා. අනෙක් පැත්තට මගේ දුව මා ගැන ආඩම්‍බර වෙනවා. ඒ නිසා මම හොඳ මවක් කියලා මම හිතනවා. බිරිඳක ලෙසත් මම නිතරම සැමියගේ අදහස්වලට එයාට ගරු කරන කෙනෙක්. ඒ සියල්ලටත් වඩා මම හොඳ ශ්‍රී ලාංකීය ගැහැනියක් කියලා මම හිතනවා. 

සඳුන් ගමගේ