ඉන්දියාව අත්පත් කරගත් මූගල් මෙහෙයුම 7
ඔෟරංසෙබ් රාජ්‍යත්වයට පත් වූයේ තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කරමිනි. ෂා ජහාන් මිය ගියේ ක්‍රි.ව. 1666 දී ය. මිය යන තෙක් ම ඔහු ඔෟරංසෙබ්ගේ සිරකරුවෙක් විය. තම පියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔහු කිසි දිනෙක පියා බලන්නට ගියේ ද නැත. අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගත් ඔහු තම සොහොයුරන් දඩයම් කිරීම ඇරඹීය.
ඖරංසෙබ් ආලම්ගීර් (සර්ව ලෝක අධිපති) යන වදන තම නමට එක් කර ගත්තේය. ක්‍රි.ව. 1658 දී රාජ්‍යත්වයට පත් ඔෟරංසෙබ් ක්‍රි.ව. 1707 දක්වා පනස් වසරක් රජ කළේය. ඔහුගේ පාලන සමයේ මූගල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත වී තිබිණි. එවැනි විශාල අධිරාජ්‍යයක් ඉන් පෙර ඉන්දියාවේ බිහි නොවූ අතර ප්‍රමාණයෙන් එය නන්ද, මෞර්ය හා දිල්ලි සුල්තාන් රාජ්‍යය ද ඉක්මවා තිබිණි. ඖරංසෙබ් ඉස්ලාම් ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනයේ නිරත විය.
ඔහුගේ පාලන සමය කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය. ඉන් පළමු වැන්න ක්‍රි.ව. 1658 සිට 1681 දක්වා අතර උතුරු ඉන්දියාවේ ගත කළ කාලයයි. දෙවැන්න ක්‍රි.ව. 1682 සිට ක්‍රි.ව.1702 දක්වා ඩෙකානයේ ගත කළ කාලයයි. උතුරු ඉන්දියාවේ ගත කළ සමයේ ඊසාන හා වයඹදිග ප්‍රාන්තවල හා රාජ්පුත්හි මූගල් යුද්ධ පැවතිණි. ඊසාන ප්‍රාන්තයේ ජමින්දාරයන්ට, විශේෂයෙන් ඇසෑම් හා අරකන්හි ජමින්දාරයන්ට දඬුවම් කිරීමේ අරමුණින් ඖරංසෙබ්, මීර් ජුම්ලා බෙංගාලයේ පාලකයා ලෙස පත් කළේය. ක්‍රි.ව. 1612 වන විට මූගල් අධිරාජ්‍යයේ සීමාව බටහිර ඇසෑමයේ ගෝල්පරා හා කාම්රූප් දක්වා පැතිර තිබිණි.
ඖරංසෙබ් රාජ්‍ය පාලනය ගෙන ගියේ තමනට පෙර රාජ්‍ය කළ තම මුතුන් මිත්තන්ට වෙනස් ආකාරයකිනි. මූගල් අධිරාජ්‍යයේ වැසියන්ගෙන් වැඩි පිරිසක් හින්දූන් වුවද ඔහු ඉස්ලාමීය නීති දැඩි කොට සුන්නි මුස්ලිම් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පියවර ගති. දාර් උල් හර්බි නොහොත් ඉස්ලාමීය නොවන රටවල් දාර් උල් ඉස්ලාම් හෙවත් ඉස්ලාමික රාජ්‍යය බවට පත් කිරීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ ප්‍රතිපත්ති හින්දූන්ගේ සිත් තැවුලට පාදක විය. මුස්ලිම් වෙළෙඳුන්ට අඩු වෙළෙඳ බද්දක් ද හින්දූන්ට එමෙන් දෙගුණයක බද්දක් ද පැනවීමට ඔහු ක්‍රියා කළේය. පසුව මුස්ලිම්වරුන්ට පනවන ලද බද්ද අහෝසි කළේය. ඔහු හින්දූන් මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස සැලකූ අතර ඔවුන්ගේ පාසල් හා කෝවිල් විනාශ කර දැමීමට ප්‍රාන්ත පාලකයන්ට ආඥා නිකුත් කළේය. සියලු ලිපිකරුවන් හා ගණකාධිකාරිවරුන් වශයෙන් සේවය කළ හැකි වූයේ ඉස්ලාම් ජනයාට පමණකි. අක්බාර් විසින් අවලංගු කර තිබූ ඇතැම් බදු යළි පනවන ලදී.
ඔහුගේ අණපනත්වලින් හින්දූන් පමණක් නොව ෂියා මුස්ලිම්වරු හා බෝරාවරු ද පීඩාවට පත්වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඖරංසෙබ්ගේ පාලනයට එරෙහිව හින්දූන් කැරලි ගැසීමය. ක්‍රි.ව. 1669 දී මථුරාවේ ජෝත්වරු, ගෝක්ලා නම් සමින්දාර්වරයකුගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇතිකොට එහි මූගල් පාලකයා ඝාතනය කළහ. මින් කෝපයට පත් ඖරංසෙබ් ගෝක්ලා මරා දමා ඔහුගේ පවුල බලහත්කාරයෙන් ඉස්ලාම් භක්තියට හැරවීය.
ඖරංසෙබ් ඩෙකානයේ සිටි සමයේ එහි ප්‍රාන්ත පාලකයකු වූ සිවාජි මෝගල් බලයට එරෙහිව මරාථීන් එක්සත් කරමින් සිටියේය. එය ඖරංබ්සෙබ්ට හිසරදයක්ව පැවතිණි. මූගල් අධිරාජ්‍යයේ විනාශයේ ආරම්භය සනිටුහන් කරන ලද්දේ සිවාජි විසිනි. සිවාජි මෝගල්වරු ඩෙකානයේ බලය තහවුරු කර ගැනීම වළක්වනු සඳහා ඔවුන් හා මුලින්ම සටන් කළ ෂාජි බොන්ස්ලේගේ දෙවැනි පුත්‍රයා විය. නායකයකු වශයෙන් කැපී පෙනුණු සිවාජි රාජ්‍යයේ සියලු නායකයන් තමා වෙත නතු කර ගැනීමට සමත් විය.
මරාථ දේශය කඳුවලින් වටවූ රාජ්‍යයකි. ඩෙකානය ඉස්ලාමීය අධිරාජ්‍යයේ දිග්විජයට යටත් වීමෙන් පසු ඖරංසෙබ් සිවාජි තමා වෙත නතු කර ගැනීමට උත්සාහ කළේය. ඔහුට නොනැමුණු සිවාජි, ඩෙකානයේ මූගල්වරුන්ගේ පාලනයට නතුව තිබූ නිරිත දිග ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළේය. එවක ඖරංසෙබ් බීජාපූර් රාජ්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කර තිබිණි. සිවාජි නිරිත දිග ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම බිජාපූරයට වාසි සහගත විය. ඖරංසෙබ් මූගල් හමුදාවක් යවා ඔහු පරාජය කළේය. එහෙත් සිවාජි අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මරාථීහු බිජාපූරයේ මූගල් කඳවුර කොල්ල කෑහ. ක්‍රි.ව. 1668 දී සිවාජි මූගල්වරුන් සමග සමගි සන්ධානයකට එළැඹුණේය.
මරාථීහු ක්‍රි.ව. 1690දී මූගල් සේනාධිපතියකු වූ රස්ටම් කාන් පරාජය කොට අත්අඩංගුවට ගත්හ. ඖරංසෙබ් පන්හලාව මරාථීන්ගෙන් පැහැර ගැනීමට දරන ලද ප්‍රයත්නය ද ව්‍යර්ථ විය. නිර්භීත මරාථි සෙනෙවියන් දෙදෙනකු වූ ශාන්තජී ඝෝර්පදේ හා දනාජි යාදෙව්ගෙන් මූගල් පාලනයට එල්ල වූයේ දැඩි පීඩනයකි. ඔවුනට එරෙහිව කිසිදු මූගල් ප්‍රාන්ත පාලකයෙක් නැඟී සිටින්නට බිය විය. ඖරංසෙබ් ඩෙකානයේ දිගටම රැඳී සිටිමින් මරාථීන් මර්දනය කිරීමට වෑයම් කළේය. එහෙත් එය ඔහුටම පාරාවළල්ලක් විය.
සිවාජිගේ මරණයෙන් පසු මරාථ දේශයේ පාලකයා වූයේ ඔහුගේ පුත් සම්භුජි ය. ඔහු ද තම පියා මෙන් මූගල්වරුන් හා සටන් කළේය. කල් ගතවත්ම සම්භුජී හා මරාථ නායකයන් අතර භේද ඇතිවන්නට විය. මරාථ නායකයන්ගෙන් ඇතැම්හු සම්භුජී අතහැර ඖරංසෙබ් හා එක්වන්නට කැමැත්ත පළ කළහ. මෙය මූගල්වරුන්ට වාසි සහගත වූ අතර මූගල් හමුදාව මරාථ දේශයට පහර දී සම්භුජී සිරබාරයට ගත්හ. ඔහු දරුණු වධ හිංසාවට ලක් කළ ඖරංසෙබ් පසුව ඝාතනය කළේය. ඉන් මාස කිහිපයකට පසු මරාථයේ අගනුවර වූ රයිගාරය මූගල්වරුන් අතට පත් විය. ඉන් නොනැවතුණු ඖරංසෙබ් තාන්ජෝරය හා තිරුචිපල්ලි ද අත්පත් කර ගත්හ.සම්භුජී හා ඔහුගේ ඥාතීන් විශාල පිරිසක් ඖරංසෙබ් විසින් විනාශ කරනු ලැබිණි. ඉතිරි වූයේ ඔහුගේ සොහොයුරු රාජාරාම් පමණකි. ඔහු මරාථ නායකයන් කිහිප දෙනෙක් හා එක්ව තම රාජ්‍යය මූගල්වරුන්ගෙන් ගලවා ගැනීම සඳහා සටන් කළහ. මේ වන විට ඖරංසෙබ් මහලු වියට පත්ව සිටියේය. ඔහුගේ පුතුන් සිහසුන අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරතව සිටියේය. එහෙයින් ඖරංසෙබ් රාජාරාම් සමඟ සටන් කිරීම සඳහා යුද පෙරමුණට ගියේය. ක්‍රි.ව. 1700 දී රාජාරාම් මරණයට පත් වුවද මරාථ නායකයෝ නොකඩවා සටන් කරන්නට වූහ. ඖරංසෙබ් දැඩිව වෙහෙසට පත් වී සිටියේය. ක්‍රි.ව. 1705 දී අහමද් නගර් බලා පිටත් වූයේ සුළු විවේකයක් ලබනු පිණිසය. ඔහුට යළි සටන් බිමට පැමිණිය නොහැකි විය. මරාථීන් නොකඩවා ප්‍රහාර එල්ල කරන්නට විය. ක්‍රි.ව. 1707 දී ඖරංසෙබ් මරණයට පත් විය.
අඩ සියවසකට ආසන්න කාලයක් මූගල් අධිරාජ්‍යයේ පාලකයා වූ ඖරංසෙබ් අවසන් මූගල් මහා අධිරාජයා විය. දැඩි ඉස්ලාම් භක්තිකයකු වූ ඔහු කුරානය අකුරටම පිළිපැද්දෙකි. ඉඳුරන් පිනවීමට එතරම් රුචි නොවීය. ඇතැම් අවස්ථාවල ඔහු අදූරදර්ශී විය. රාජ්‍ය බලය ආගමික අවශ්‍යතා මතම පදනම් වීම හේතුවෙන් ඔහු බොහෝ ගැටලුවලට මුහුණ පෑවේය. ඔහුගේ විශාලතම දුර්වලතාව වූයේ සියල්ලන් සැක කිරීමය. ඔහු විසින් පනවන ලද බදු හේතුවෙන් ඔහු වටා සිටි ජනයා ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වන්නට විය. සාමය කඩ වූ අතර කැරලි කෝලාහල වර්ධනය විය. රටේ ධනය වැඩි වශයෙන් වැය වූයේ ඒවා මැඬ පැවැත්වීම සඳහාය. විශාල යුද සේනාවක් නඩත්තු කිරීමට ඔහුට සිදු වූ අතර ඒ සඳහා ද ධනය වෙන් කරන්නට සිදු විය. මරාථින් සමඟ නිතර යුද වැදීම මත මහත් වූ විනාශයක් සිදු වූ අතර මූගල් අධිරාජ්‍යයේ පරිහානිය ද එයින්ම ඇති විය.
ඖරංසෙබ්ගේ මරණින් පසු රාජ්‍ය පාලනය සඳහා ඔහුගේ පුතුන් අතර සටන් ඇති විය. තම රාජ්‍යය පුතුන් අතර සමසේ බෙදී යන ලෙස අවසන් කැමැත්තේ සඳහන් කර තිබුණ ද එය නොතැකූ කුමාරවරු එකිනෙකා හා සටන් කළහ. ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වූ මුවසාම් (ෂා අලාම්) කුමරු කාබුල්හි පාලනය ගෙන ගිය අතර දෙවැනි පුත්‍රයා වූ අසාම් සහ තෙවැන්නා වූ කාම් බක්ෂ් කුමාරවරු ඩෙකානයේ බලය පවත්වාගෙන ගියහ. සමස්ත රාජ්‍යයේම බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන් අතර විශාල බලඅරගලයක් පැවැතියේය. විශාල සේනාවක් ද රැගෙන අග්‍රාවට පැමිණි සා අලාම් හා අනෙක් කුමාරවරුන් අතර බිහිසුණු සටන් ඇති විය. අවසානයේ ඔහු තම සොහොයුරන් ඝාතනය කොට බලය අත්පත් කර ගැනීමට සමත් විය.
ඖරංසෙබ්ගේ මරණයෙන් පසු මූගල් රාජ්‍යය පිරිහෙන්නට විය. එහෙත් ක්‍රි.ව. 1857 පමණ වන තෙක් බාබුර්ගේ පෙළපතට අයත් රජවරු අග්‍රාහි හා දිල්ලියේ පාලනය ගෙන ගියහ. එහෙත් ඔවුනට අධිරාජ්‍යයක් නොමැති විය. ක්‍රි.ව. 1526 දී ආරම්භ කෙරුණු මූගල් අධිරාජ්‍යය ක්‍රි.ව. 1857දී අවසන් විය.
අවසානයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා