ජයග්‍රහණය යනු දක්ෂතාව අතික්‍රමණය කරමින් ඉලක්ක සහගතව සතතාභ්‍යාස කරමින් මුදාහරින දිගු කාලීන උත්සාහයක සහ කැපවීමක අවසන් ඵලය බවට සැකයක් නැත.
“ෂාමෙන් සමීර”යනු - ඒ අයුරින්, තමන්ගේ තිරසාර අරමුණ වෙනුවෙන් උපරිමයෙන් කැපවුණ පරමාදර්ශී තරුණයෙකි. අසමසම හඬ පෞරුෂය සමග කැටි කෙරුණු කථිකත්වය මත පදනම්ව - මෙරටට දිස්ත්‍රික් 82 විසින් පිරිනමන ලද ශූරතා හතරෙන් Humorous , Evaluation සහ Table Topic ශූරතා තුනම දිනාගත් එකම ශ්‍රී ලාංකික ටෝස්ට්මාස්ටර්(Toastmaster) බවට පත්වීමට සමත් වූයේ ඔහුය.“සඳැල්ල” කතාබහකට ඔහු එකතු කරගන්නේ සතුටකිනි.
මුලින්ම කියන්න ඕනේ Toastmasters International යනු ලාභ නොලබන අධ්‍යාපනික සංවිධානයක් වන අතර එය සන්නිවේදනය, ප්‍රසිද්ධ කථා කිරීම සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට මිනිසුන්ට උපකාර කිරීමේ අරමුණින් ලොව පුරා ක්‍රියාත්මක සංවිධානයක් බව. ෂාමෙන් කියන්නේ මේ වන විටත් ටෝස්ට්මාස්ටර්(Toastmasters) කථන තරග රැසකින් ජයග්‍රහණය කර ඇති අයෙක්. ඊට අමතරව ඔහු දැනට AIA ඉන්ෂුවරන්ස් ආයතනයේ ව්‍යාපාර සැලසුම්කරණයේ අංශ ප්‍රධානී විදිහට කටයුතු කරනවා. දැනට තිස්තුන් හැවිරිදි වියේ පසුවන ඔහු මෙතරම් අඩු වයසකදි තමන්ගේ වෘත්තීය ජීවිතය වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබීමටත් මුල් වූ පියවර පිළිබඳව මතකය අවදි කර සිටියේ මෙලෙසින්.
“ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. 2010 දි උසස් පෙළට වාණිජ විෂය ධාරාවේ රාජකීය විද්‍යාලයෙන් හොඳම ලකුණු ලබාගත්තට පස්සෙ මම මගේ උසස් අධ්‍යාපනයට කොළඹ විශ්වවිද්‍යාලය තෝර ගන්නවා. එහිදී මම ව්‍යාපාර කළමනාකරණ උපාධියක් හදාරලා පළමු පෙළ සාමාර්ථයක් ලබා ගන්නවා. 2013 දී, මම CIMA TOP-CIMA විභාගයේදී ශ්‍රී ලංකාවේ 1 වන ස්ථානයට සහ ගෝලීය වශයෙන් 6 වන ස්ථානයත් ලබාගන්නවා. ඊට අමතරව මම මගේ පශ්චාත් උපාධිය බ්‍රිතාන්‍යයේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. කැම්පස් එකේ ඉන්න අවසාන කාලෙදි වගේ තමයි මම ටෝස්ට් මාස්ටර්ස් එක්ක එකතු වෙන්නේ. ඒ 2015 අවුරුද්දෙ දි. ඒකට මම බැඳෙන්න ලොකු හේතුවක් තිබ්බා. මොකද ඒ වෙන කොට මට අධ්‍යාපන සුදුසුකම් තිබ්බට මට තේරෙනවා අධ්‍යාපන සුදුසුකම්වලින් විතරක්ම ජීවිතය ජයගන්න බැහැ කියන කාරණය. විශේෂයෙන්ම මට තේරුම් යනවා නායකත්ව සහ කථික කුසලතාත් ප්‍රයෝජනවත් කියලා. ඒ සමග තමයි මම එකතු වෙලා එතනදි තරගවලට සහභාගි වෙන්නේ”
ඔහු 2017 - Humorous Speech Contest Championship, 2023 - Evaluation Speech Contest Championship සහ 2025 - Table Topic Speech Championship දිනාගැනීමට සමත් වෙනවා. මෙම නවතම ජයග්‍රහණයත් සමග දිස්ත්‍රික් 82 විසින් පිරිනමන ලද ශූරතා හතරෙන් මෙම ශූරතා තුනම දිනාගත් එකම ශ්‍රී ලාංකික ටෝස්ට්මාස්ටර් බවට ෂාමෙන් පත්වෙනවා. වසර 10 පුරාවට ඔහු ගමන් කළ මේ ගමන සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ මෙවැනි බලාපොරොත්තුවක්
“මගේ බලාපොරොත්තුව තියෙන්නේ හතර වෙනි එකත් කොහොම හරි ජයග්‍රහණය කරලා ලංකාව වෙනුවෙන් ඒ වාර්තාව තියන්න. මොකද හතරක් දිනපු ලාංකිකයෙක් නැහැ"
මෙවන් ජයග්‍රහණ ලැබුවත් ඕනෑම මාර්ගයකදි අපිට බාධාවන් මෙන්ම අභියෝගත් මුණ ගැහෙනවා. තමන් ලබපු සියලු ජයග්‍රහණ පිළිබඳව ෂාමෙන් නිහතමානීව සතුටු වුවත් මේ මාර්ගය තුළ ඔහු මුහුණ දී ඇති අභියෝග ද රැසකි.
“තරග කරද්දි ලංකාවෙ විතරක් ගත්තත් ටෝස්ට්මාස්ටර්ස්ලා හාරදාහක් විතර ඉන්නවා. ඒ අතර අවුරුදු ගාණක් තරග වදින අයත් ඉන්නවා. එතනදි කැපී පෙනිලා දිනුම ගැනීම ම ලොකු අභියෝගයක්. ඒකට මගෙ දැනුමෙන් විතරක් යන්න බැහැ. ඒකට උපදේශකයෙක් හොයා ගෙන සහය ගන්න ඕනේ. 2015 දිත් තරග කළාට මට 2016 දී තමයි ලංකාව නියෝජනය කරලා යන පළවෙනි තරගය දිනන්න ලැබෙන්නේ. මේ තරගවලදි විවිධ මට්ටම් තියෙනවා. ඒ අනුව Club, Area සහ Division එක තිබෙනවා. ඒකත් දිනුවට පස්සේ Semi Final එක තියෙන්නේ ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රාන්තෙ. ඒත් තරගෙ දිනන්න මට ඉන්දියාවෙ යන්න සල්ලි නැති නිසා මම තරගෙ ඇතෑරලා දෙවෙනියා වුණ කෙනාට යන්න කියනවා. හැබැයි දෙවැනියව නියෝජනය කළ Toastmasters Club එක මට මුදල් දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ වෙද්දි මම කලින් රටින් එළියට ගිහිල්ලා තිබ්බෙත් නැහැ. ඒ හැමෝගෙම උදව් ඇතුව ගිහින් තරග කළත් මට Semi Final දිනාගන්න ලැබෙන්නේ නැහැ. එහෙම බාධක මැද ගිහින් තරගයෙන් පරාජය වුණාම පහසු නැහැ. මොකද වෙන ආධාර යටතේ ගිහින් පැරදුණාම හිතට දැනෙනවා වැඩියි. හැබැයි මම ඒක පසුබෑමක් කර ගන්නෙ නැතුව ඊළඟ අවුරුද්දෙදි නැවත ඒ තරගයට සහභාගි වුණා. එහිදී මට ජයගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මම තරග කරපු කාණ්ඩයෙන් ලංකාවට 2017 දී මට ජයග්‍රහණය ගේන්න පුළුවන් වුණා. ටෝස්ට්මාස්ටර්ස් (Toastmasters) තරග කාණඩ හතරක් තියෙනවා. මම එකක් අවසන් කළාට පස්සේ මගේ දෙවෙනි තරගෙට උත්සාහ කරනවා. කොවිඩ් නිසා කාලයක් තරග නවත්වනවා. මම 2019 දී Table Topic සහ Evaluation Speech කියන තරග දෙකටම ඉන්දියාවෙ ගිහින් තරග කළා. Table Topic තරගයෙදි ඒ වෙලාවට තමයි මාතෘකාව කියන්නේ. වේදිකාවෙ මම හිටපු තැනේ හැටියට මට මාතෘකාව ඇහුණෙ නැහැ. එතනදි මම ලොකු අපහසුතාවකට ලක්වුණා. 2500 ක් විතර ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා ඇයි මම මාතෘකාවට කතා කරන්නෙ නැත්තෙ කියලා. ඒ අවස්ථාවෙන් පස්සේ අවුරුදු දෙකක් විතර මම ඒ තරගෙට මුහුණ දුන්නෙ නැහැ. Evaluation Speech Contest කියන එකට විතරයි තරග කළේ. 2023 දි මම මගේ දෙවෙනි තරගෙ ජයග්‍රහණය කරනවා. ඒකත් එක්ක Toastmasters International එකකට වඩා දිනපු සීමිත පිරිසට මමත් අයිති වෙනවා. හැබැයි මම දැක්කා කළින් අවුරුදු දෙකේ මම තරග නොකළට මාත් එක්ක තරග කරපු අනිත් අය උත්සාහ කරනවා. ඒ අයගෙ මට්ටම වැඩි දියුණු කරගන්නවා. ඒ සිදුවීමත් එක්ක පැරදුම අවසානෙ නෙවෙයි කියලා හිතලා මම නැවත තරග කරලා 2025 තරගෙන් Table Topic දිනුම ගන්නවා. ඒ සිදුවීමෙන් මම තේරුම් ගන්නවා පැරදුම දිනුමට මග පෙන්නනවා කියලා”
අධ්‍යාපනයට අමතරව අමතර දක්ෂතා ද ජීවිතේට වැදගත් බව පවසන ඔහු Serendib Toastmasters Club හි 2018/19 දී සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. එසේම ටෝස්ට්මාස්ටර්ස් සමාජයකට ලැබිය හැකි ඉහළම සම්මානය වන ගෝල්ඩන් ගැවල් සම්මානය දිනාගැනීමට ඔහු සමාජය මෙහෙයවලා තිබෙනවා. මෙතරම් දක්ෂතා ඇති ඔහුගේ පාසල් කාලය පිළිබඳව ද අප විමසා සිටියා. එහිදී අපට ඔහුගෙන් ලැබුණේ මෙවන් පිළිතුරක්.
“පාසල් කාලේ මම කිසිම තරගෙකට ගිහින් කිසිම ජයග්‍රහණයක් අරන් නැහැ. විශ්වවිද්‍යාලේ අවසාන අවුරුද්දෙ ඉද්දි මේකට එන්න හේතුව වුණේත් සම්මුඛ පරීක්ෂණයකට යද්දි අධ්‍යාපනයට අමතරව මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා. එතකොට මම කිසිම දෙයක් කරලා තිබ්බෙ නැහැ. ඒ නිසා තමයි මම මෙතනට යන්නෙ. මගෙ අනිත් කුසලතා දියුණු කර ගන්න ඕනේ කියන නිසා. ඒ නිසා මගෙ හැංගුණ කුසලතා ගොඩක් එළියට ගන්න පුළුවන් වුණා. අඩු වයසකදි මම ගොඩක් කථික අවස්ථා ගත්තා. මම ඒ වෙන කොට සේවය කරපු LB Finance ආයතනයෙන් මට අවුරුදු 27 දි ඩොලර් මිලියන තුනක ආයෝජනයක් ඉදිරිපත් කරන්න ලැබෙනවා. ඒ අවස්ථාව මට ලැබුණේ ඒ වෙද්දි මම මගෙ හැකියාව ඔප්පු කරලා තිබුණු නිසා. ඒ වගේම අඩු වයසකින් තමයි මම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන AIA ඉන්ෂූවරන්ස් එකට එකතු වෙන්නේ. එහිදීත් මට ලොකු ගමනක් යන්න ලැබෙනවා.”
ඔහු තමන්ගේ ගමනට ශක්තියක් වූ තම පවුලෙ අයව ද මෙහිදී ආදරෙන් මතක් කළා.
“මට ඉන්නෙ අම්මයි, මල්ලියි. අම්මා මට ලොකූ හයියක්. හැම වෙලාවෙම මමත් අම්මා දීපු උපදෙස් පිළිපදිනවා. අම්මා මගේ ජීවිතේ ලොකු ආදර්ශයක්. මොකද මොන බාධා ආවත් අධිෂ්ඨානයෙන් වැඩ කළොත් හැමදේම සාර්ථක වෙනවා කියලා මම දැන ගත්තෙ අම්ම ගෙන්. ඒ වගේම මගෙ බිරිඳ ආචාර්ය බුද්ධිමා සුභසිංහ. ඇය මට විශාල ශක්තියක්. ඇයත් ටෝස්ට්මාස්ටර් (Toastmaster) කෙනෙක්. 2017 දි මම දිනපු වෙලාවෙ ඉඳන් අද වෙනකල් ඇය මගේ ළඟ ඉන්නවා. ඇත්තටම ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.”
ඔහු තම වෘත්තියෙන් ලද අත්දැකීම් තරගයේ සාර්ථකත්වයටත්, තරගයෙන් ඉගෙන ගත් දේ වෘත්තීය ජීවිතේට යොදාගැනීමත් තුළින් අද වන විට විශාල දුරක් පැමිණ තිබෙනවා. මේ සියලු කාර්යයන් මැද ඔහු තමා සතු දැනුම ඊළඟ පරම්පරාවට ලබාදීමටද කටයුතු කිරීම විශේෂත්වයක්. සෑම විටම කථිකයන් සහ නායකයින් දිරිමත් කිරීමට බලාපොරොත්තු වන ඔහු ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම ප්‍රසිද්ධ කථන වැඩමුළු සහ පුහුණු සැසි පවත්වන්නේ ඒ නිසයි. ඉතින් ඔහු දැනුමෙන් පමණක් ජීවිතය ජයගත නොහැකි බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටහා ගෙන ඉදිරි පරම්පරාවටත් වටහා දෙන දක්ෂ කථිකයෙක්.
කෞශල්‍යා ලක්ෂානි