වයඹ පළාතේ පළමු ජනපදය


පුරාවිද්‍යාත්මක ගවේෂණ අනුව ලංකාවේ ආදි මානවයා බලංගොඩ මානවයා පමණක් නොව පාහියංගල කැනීම් අනුව වසර 45,000 ට පෙර ආදි මානවයන් දුනු හී භාවිත කරමින් සතුන් දඩයම් කර ජීවත් වූ බවට ද සාධක හමුවිය.   


අපේ වංශ කථාවල සඳහන් වන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවස එනම් බුද්ධ කාලයේ දී තථාගතයන් වහන්සේ තෙවරක් වැඩම කරන අවදියේ මහියංගනයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ද කඳුකරයේ මෙන්ම නැගෙනහිර පළාත්වල නාග ගෝත්‍රිකයින්ද උතුරු පෙදෙස්වල දේව ගෝත්‍රිකයින්ද වාසය කළ බවකි.   


විධිමත් රාජ්‍ය තන්ත්‍රයක් ඇති වීමට පෙර එනම් දේවානම්පියතිස්ස යුගයට පෙර ගෝත්‍රික පාලනයේ විකාශනයක් ලෙසට ප්‍රාදේශීය නායකයින්ගේ වෙන් වූ පාලන ක්‍රමයක් පැවතුනි. මුළු දිවයිනම එක්සත් වූ විධිමත් ඒකීය රාජ්‍යයක් බවට සංවිධානය වූයේ මිහිඳු මාහිමියන්ගේ වැඩම කිරීමෙන් අනතුරුවය. උන්වහන්සේගේ උපදෙස් අනුව දෙවන පෑතිස් රජු ක්‍රියාකාරී වූ හෙයින්, ජනපද රාශියක් ඇති වුණි. විජය කුමරු පැමිණීමෙන් පසු අතීතයේ දී අනුරාධ ඇමැති අනුරාධ ගම ද උපතිස්ස ඇමැති උතුරු ප්‍රදේශයේ උපතිස්ස ගම ද අනෙක් ඇමැතිවරු දෙදෙනා උරුවේලා ජනපදය විජිත ගමද පිහිටු වූහ. 

 
එම ආදි පාලන ක්‍රමය අක්‍රියව පැවති සමයේ සංඝමිත්තා රහත් මෙහෙණිය සමග ආර්ය කුමාරවරු පැමිණ මෙරට පදිංචි වූහ.   


i බෝධිගුප්ත කුමරු   
ii සුමිත්ත කුමරු   
iii වන්‍ද්‍ර ගුප්ත කුමරු   
iv දේව ගුප්ත කුමරු   
v ධර්‍ම ගුප්ත කුමරු   
vi සූර්ය ගුප්ත කුමරු   
vii ගෞතම ගුප්ත කුමරු   
viii ජුතින්ධර කුමරු   


මිහිදු හිමියන්ගේ උපදෙස් පිළිගත් දෙවන පෑතිස් රජු බෝධි පූජා වේ තනතුරුවල පිහිටවූ බෝධිගුප්ත කුමරු හා සුමිත්ත කුමරු අනුරාධපුර නගරය ආසන්නයේ පදිංචි කරවන ලදී. මෙම කුමාරවරුන්ගෙන් තිදෙනෙක්ම වයඹ පළාත්වලට පත් කෙරුණි. චන්ද්‍රගුප්ත කුමරුට මලය රාජ තනතුර ලැබුණු නිසා සතර කෝරලය හා උඩපොලේ වාසය කළ බවට සාධක දක්නට ලැබේ.   


ධර්මගුප්ත කුමරුට සිටු තනතුර ලැබුණු අතර මැටියගනේ මෞර්ය ජනපදය පිහිටුවන ලදී. මෙතෙක් ඉතිහාස ගවේශකයින්ට හමු නොවූ. මධුවාපිදොණ නම් වූ පළමු ජනපදය මීවැවේ පිහිටුවන ලද්දේ 8 වැනි පුතින්ධරගුප්ත මෞර්ය වංශික කුමාරයා විසිනි.   


මීවැව විත්ති පොත හමුවන තුරු මෙම ජනපදය පිළිබඳවත් මෙහි ඇති වූ බෞද්ධ පුනරුදය පිළිබඳවත් තොරතුරු කිසිවක් සොයාගැනීමට පහසු වූයේ නැත. බෝධි වංශයේ සඳහන් වී තිබුණේ ඔහුට ලැබී තිබුණු බෝධි ආරක්ෂක තනතුර පිළිබඳව පමණි. ඔහුට පැවරී තිබුන මධුවාපිදොණි ජනපදය පිළිබඳව සඳහනක් නොතිබුණි.   


විත්ති පොත - මෙම ග්‍රන්ථය, පැරණි සටහන් අනුගමනය කරමින් ජුතින්ධර ගුප්ත කුමරුගේ පරපුර විකාශනය වූ ආකාරයත් විහාරයේ ආරම්භය මෙන්ම සේලන්තර මූලයේ භික්ෂූන් වහන්සේලාගේ ව්‍යාප්තිය විස්තර කරලීම සඳහා ක්‍රි.ව. 1543-1562 දක්වා මීවැව විහාරයේ අධිපති ධූරය ඉසිලූ අනොමදස්සි නම් හිමියන් විසින් පැපිලිය පිරිවෙණේ ත්‍රිපිටක ග්‍රන්ථ රචනා කරමින් සිටියදී රචනා කර තිබේ. පෟතුගීසි ආක්‍රමණය නිසා බියපත් වූ සුනෙත්‍රා මහා දේවි පිරිවෙණේ තෙරවරු රචනා කළ පුස්තකොල පොත් සඟවා තැබීම සඳහා ක්‍රි.ව 1552 දී පුස්කොල පොත් 1524 මිනිසුන් 16 දෙනකු ලවා සොයාගෙන තැන්පත් කරන්නේ මීවැව විහාර කඳුගැටයේ ගල් ගුහාවකය. එම පොත් අතර මෙම විත්ති පොත ද තිබුණි. වේයන් කා විනාශ වී තිබුණ අත්පිටපත නැවත ලියන ලද්දේ සන්දහන්ගම සිද්ධාර්ථ ක්‍රි.ව. 1819 වර්ෂයේදීය.   


මෙම විත්ති පොතෙන් ඉදිරිපත් කරන ඉතිහාසය ශිලා ලේඛනවලින් මෙන්ම අනෙක් මූලාශ්‍රයන්ගෙන් සත්‍ය බව තහවුරු වේ. ඒ අනුව මීවැව ජනදය ඇතිකරලන්නේ දෙවැනි පෑතිස් රජු මූලික වීමෙනි. ජුතින්ධර ගුප්ත කුමරුට මධුවාපිදෝණිය හෙවත් මීවැව නින්දගමක් ලෙසට පවරා රජතුමන්ගේ සොහොයුරියක වූ තිස්ස දේවියගේ දිටයණිය වූ විනිතා කුමරියද සරණ කරදෙයි.   


ඔවුන්ට අවට ගම්වූ, පැන්තැනිගොඩ, වැලමිටියාව, හුරුක්ගමුව ආදී ගම්වර පිරිනමා තිබේ. මෙහිදී තම දියණිය විවාහ කර දුන් තිස්සා දේවිය පැන්තැනිගොඩ ගමේ පදිංචි වෙයි. එනිසාම චූලභාග රහතන් වහන්සේ වැඩසිටි ගල්ලෙන් ශූද්ධ පවිත්‍ර කරවා ලෙන් විහාරද සාදවා දෙතිස් ඵලරුඛ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවයි. ඒ අනුව ජුතින්ධර ගුප්ත කුමරු පදිංචි වූ මීවැවට පෙර පැන්තැනිගොඩ වර්තමාන රාජමහා විහාරය ඉදිකරන ලද බව පැහැදිලි වේ. පැරණි මීවැව සොලස කිරියක් වූ කෙත්යායේ කෙළවර බටහිර අන්තයේ පිහිටා තිබේ.   
මීවැව ජනපදය හා විහාරස්ථානය කෙමෙන් වර්ධනය වන්නේ අනුරාධපුර රජවරුන්ගේ හා කෝට්ටේ සීතාවක රජවරුන්ගේ අනුග්‍රහයෙනි. එහි පරිහානිය සිදුවන්නේද පළමුවැනි රාජසිංහ රජුගේ බාධා කිරීම් අනුවය. මීවැව ආලෝක පබ්බත විහාරය ඉදිවන්නේ රහතන් වහන්සේ නමක් නිසාය. රුන්න කූට වර්තමාන රුවන්ගිරි කන්දේ වැඩ සිටි චුල්ල පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මීවැව ගමට පිඬු සිගා වඩින විට මීවැව ගමේ වැවට වැටී තිබුණ ඇත් කුණක් දැක පටික්කූල සඤ්ඤා වඩා අර්හත්වයට පත්වූ හෙයින්, උන්වහන්සේට වන සෙනසුනක් සම්පාදනය කොට පූජා කරන ලද්දේ   


පුතින්බර ගුප්ත කුමරුගේ පරපු​රේ සුමන ගුප්ත නම් කුමරු විසිනි. පසුව මහා සිව රජුගේ පුත් සුවණ්ණපිණ්ඩික හෙවත් සූරතිස්ස රජු කුරුණෑගල ඇත්කඳ විහාරය කරවා මීවැව ග්‍රාමයට පැමිණ වැවක් බැඳ අමුණක් ද කරවා මධුවාපි දනව්ව ලෙසට ප්‍රසිද්ධ කර කලුගමුව, ගිනිපෙන්ද, ගණේගොඩ, හාල්යාලේගෙදර, බඹරුගම, කෝට්ටපිටිය, යහගම් ජනපදයට අයත් කරවන ලදී.   


ඒ අනුව දෙවන පෑතිස් රාජ්‍ය සමයට වඩා විශාල අය බදු ප්‍රමාණයක් “සූරතිස්ස” රාජ්‍යයට ලැබෙන්නට ඇත. අනතුරුව 7 වන සියවස මහසෙන් රජු මහ වැව් 17ක් හා කුඩා වැව් 17 කරවා, මීවැව ජනපදයට පැමිණ මධුපණ්ඩික වැව කැඩී නටඹුන්ව තිබුණ හෙයින් වෑකන්ද බඳවා ප්‍රතිසංස්කරණය කොට රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් බව දැනගෙන පර්වතය මුදුනේ චෛත්‍යයක් ඉදිකර සංඝයාට සක්මන් මළු සාදවා සෙලගුමඩ නමින් විහාරයක් ඉදිකර සඟ සතු කර පූජා කරන ලදී. ගොඩින් මඩින් සොළස කිරියක් පූජා කර ශිලා ලේඛනයක් ද පිහිටුවන ලදී.   


මේ අතර කලුදෑලියා වැව සමීපයේ සෙලගුමඩ නම් විහාරයක් කරවා ගොඩින් මඩින් සතර කිරියක් පුජා කරන ලදී. මඩුවාපි ග්‍රාමයේ මෞර්ය වංශ උපගුප්ත සෙනෙරත් තුමාට හෙවත් (නිල්ගත් බුද් නමින් හැඳින්වූ) ඔහුට ප්‍රදානයක් කළ බවට දුන් අත්නානි කනුව පැන්තැනිගොඩ සෑමලුවේ දක්නට ලැබේ. මෙයින් පසුව රාජ අනුග්‍රහයක් හා ජනපදයේ ස්වරූපය පැහැදිලි වන්නේ දඹදෙණි​ රාජධානිය ඇති කළ 3 වන විජයබාහු රාජ්‍ය සමයෙහිය. රාජ්‍ය වර්ෂ 1222 වනවිට කාලිංග මාඝ විසිහතර දහසක සෙබළ පිරිසක් සමග දඹදෙණි රාජධානියේ නැගෙනහිර කඩවත වූ මීවැවෙන් පිවිසීමට ඉඩ නොදී පරාජය කරන ලද්දේ එවකට මීවැව ජනපද ප්‍රධානී වූ මෞර්ය වංශික ශ්‍රී බෝධි රක්‍ෂක ජුතින්බර කාරියසේකර ප්‍රභූවරයායි.


ලබන සතියට...

 

 

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
පහළ දොලොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක
පන්නල සුමේධ හිමි