මොංගෝලියාවේ පැරණි බෞද්ධ ආරාම


ලෝකෙන් ටිකක් 

ගන්දන්ටෙග්චින්ටෙන් ආරාමය

 

එඬේර ගෝත්‍ර කීපයකටම අයත් ජන සමූහයක් ජීවත් වන මොන්ගෝලියාවේ ජනතාවගේ පාරම්පරික සම්ප්‍රදාය හා ජීවන රටාව හැඩගැස්වූ එරට ප්‍රධාන ආගම වන බුදුදහමට දීර්ඝ හා අද්විතීය ඉතිහාසයක් ඇත. බුදුදහම මොන්ගෝලියාවට පළමුවෙන්ම හඳුන්වාදී ඇත්තේ අවුරුදු දෙදහස් ගණනකට පෙර ඉන්දියාවේ සිට සේද මාවත ඔස්සේ පැමිණි වෙළෙඳුන් හා සංචාරකයන් විසිනි. බුදුදහම උච්චස්ථානයක පැවැති මුල්සියවස්වල මොන්ගෝලියාවේ බෞද්ධ ආරාම සංකීර්ණ 700 කට වඩා පැවැති අතර, වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව 100,000 කට වඩා වැඩි වූ බව වාර්තාවේ. වර්තමානයේ බෞද්ධ ආරාම 130 ක් පමණ ඇති අතර භික්ෂූන් වහන්සේලා 5000 ක් පමණ ආගමික කටයුතුවල නියැලෙමින් සිටිති.  


මොන්ගෝලියාවේ පැරණි බෞද්ධ ආරාම ආරම්භවූ ආකාරය සොයා බැලීමේදී ලෝක ඉතිහාසයේ දෙවැනි විශාලතම අධිරාජ්‍යයා ගොඩනැගූ ජෙන්ජිස් ඛාන් අධිරාජයා ගැන සඳහන් කළ යුතුය. බටහිර දිගින් පෝලන්තය දක්වාත්, යුරේෂියාවෙන් විශාල කොටසකුත්, මැද පෙරදිග ලැවන්ඩ් ප්‍රදේශයත්, චීනයේ විශාල කොටසකුත් ඇතුළුව වර්ග සැතපුම් මිලියන 13.71 ක ප්‍රදේශයක් පුරා ඔහුගේ අධිරාජ්‍යය ව්‍යාප්ත වී තිබුණි. ජෙන්ජිස් ඛාන් ටෙන්ග්‍රිස් ආගම (Tengrism මධ්‍යම ආසියාවේ හා යුරේෂියන් තණබිම්වල ජීවත්වන භූතාත්මයන් හා මියගිය මුතුන් මිත්තන් අදහන ආගමකි.) ඇදහූවකු වුවද ඔහුගේ අධිරාජ්‍යයට අයත් සියලුම රටවල ජනතාවට තම තමන්ගේ ආගම ඇදහීමට නිදහස දී තිබුණි. සෙන් බෞද්ධ භික්ෂුවක වූ හයියුන් (Haiyun) හා ටාවෝ වාදියකු වූ Qiu chuji සමග සමීප සබඳතා පවත්වා ඇති අතර ඔවුන්ගේ අනාශාසනාද ලබාගෙන ඇත. බෞද්ධ භික්ෂූන් සමග ඔහුගේ පැවැති සම්බන්ධතාව මොන්ගෝලියාවේ බුදුදහම ව්‍යාප්තවීමට හේතුවී තිබේ.  


ජෙන්ජිස් ඛාන්ගෙන් පසුව බලයට පැමිණි ඔහුගේ මුණුපුරකු වූ අබ්තායි සේන් ඛාන් අධිරාජයා 1585 දී මොන්ගෝලියාවේ ප්‍රථම ආරාමය වූ අර්ඩෙන් සූ (Erdene Zuu) ආරාමය ගොඩනැගීමට උපදෙස් දී ඇත. මෙම ආරාමය මොන්ගෝලියාවේ අගනුවර වන උලාන් බාතර් (Ulaanbaatar) නගරයට කිලෝ මීටර් 434 ක් ඈතින් කාර්කෝරින් නගරයට කි.මී. 2 ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇත. ආරාමය ගොඩනැගීම සඳහා මොන්ගෝලියාවේ පැරණි අගනුවර වූ කරකෝරම් හි නටබුන්ව තිබූ කළුගල් යොදාගෙන ඇත.  
අර්ඩෙන්සු ආරාමය ටිබෙට් බුදුදහමට සම්බන්ධ ආරාමයකි. තුන්වෙනි දලයි ලාමා සමග කරන ලද කතිකාවතකින් පසු ටිබෙට් බුදුදහම මොන්ගෝලියාවේ රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ආරාමය වටා තාප්පයක් ඉදිකර ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායට අනුව ස්ථුප 108 ක් ගොඩ නැගීමට මුලදී සැලසුම් කර තිබුණද පසුකාලයේ පැවැති කැරලි කෝලාහල හා කොමියුනිස්ට් පාලනයේ පැවැති දැඩි බෞද්ධ මර්දනකාරී පිළිවෙත් නිසා සම්පූර්ණ කර ගැනීමට හැකි වී නැත. විහාරයේ වහල චීන සම්ප්‍රදායට අනුව කොළ පැහැ උළුවලින් සෙවිලි කර ඇත. 1688 දී ඩුන්ගාස් හා කල්කා ගෝත්‍ර දෙක අතර වූ සටන්වලින් මෙම ආරාමයටද විශාල හානි සිදුවිය. ආරාමයේ තිබූ ලී පවා කැරළිකරුවන් විසින් ගලවාගෙන ගොස් තිබුණි. 18 වැනි සියවසේදී ආරාමය නැවත ගොඩනගා ඇති අතර 1872 වනවිට විහාර මන්දිර 62ක් ගොඩනගා භික්ෂූන් 1000 නමකට වාසය කළ හැකි ලෙස විශාල කර ඇත.  

 

අර්ඩෙන් සූ ආරාමය

 

1921 දී මොන්ගෝලියාව කොමියුනිස්ට් පාලනයට නතුවූ අතර 1939 දී සෝවියට් කොමියුනිස්ට් නායක ජෝෂප් ස්ටාලින් විසින් මොන්ගෝලියාවේ පිහිටි සියලුම බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දමන ලෙස මොන්ගෝලියාවේ කොමියුනිස්ට් පාලකයා වූ කෝලුජින් ​චොයිබල්සාන්ට නියෝග කර ඇත. මෙම නියෝගය අනුව සිය ගණන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර ඇති අතර භික්ෂූන් වහන්සේලා 15,000 කට වඩා ඝාතනය කර තිබේ. බුදුදහම ඇදහීම සම්පූර්ණයෙන්ම තහනම් කළ අතර සමහර භික්ෂූන් කොමියුනිස්ට් පාලකයන්ගේ කම්කරුවන් ලෙසද සමහර භික්ෂූන් කොමියුනිස්ට් හමුදාවටද බලහත්කාරයෙන් බඳවා ගෙන ඇත.  
මෙම ආරාම සංකීර්ණයේ කුඩා විහාර මන්දිර තුනක් සහ ස්තූප සහිත ප්‍රාකාරය පමණක් විනාශ නොවී තිබුණි. කොමියුනිස්ට් පාලනයේ තිබූ ආගමික මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධතා මතුවිය. මේ නිසා 1944 දී ජෝෂප් ස්ටාලින් විසින් මෙම ආරාමය නැවත පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස චොයිබල්සාන්ට උපදෙස් දී ඇත. ඒ අනුව මෙම ආරාමය ජාත්‍යන්තර සංචාරකයන්ට පමණක් විවෘත වූ අතර එය ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කිරීම සඳහා පමණක් සීමා විය. මෙය එවකට ඇමෙරිකාවේ උප ජනාධිපතිව සිටි හෙන්රි වොලස්ට කොමියුනිස්ට් පාලනය යටතේ ආගමික නිදහස සුරැකෙන බව හුවාදැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් විය. 1947 දී මෙහි විහාර මන්දිර කෞතුකාගාර බවට පත්කිරීමට කොමියුනිස්ට් පාලනය කටයුතු කළේය. 1990 දී මොන්ගෝලියාවේ කොමියුනිස්ට් බලය බිඳ වැටුණු අතර ආරාමය ප්‍රතිසංස්කරණය කර නැවත පවත්වාගෙන යාමට ලාමා වරුනට හැකිවිය. මොන්ගෝලියාවේ ඇති විශාලතම ආරාම තුනෙන් එකක් වන අර්ඩෙන්සු ආරාමය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට පත් කර ඇත.  
ටවුකොන් (Tovkhon) බෞද්ධ ආරාමය මධ්‍යම මොන්ගෝලියාවේ Ovorkhangai හා Orkhangai පළාත්වලට මායිම්ව කාර්කොයින් නගරයට කි.මී. 47ක් දුරින් පිහිටා ඇත. චීන මොන්ගෝලියානු හා ටිබෙට් ආභාසයන්ට අනුව 1648 දී ආරාමය ගොඩනගා ඇත්තේ එවකට 14 වැනි වියෙහි පසුවූ ප්‍රථම ජෙබ්සුන්ඩම්බා කුතුක්ටු ලෙස හැඳින් වූ මොන්ගෝලියාවේ ආධ්‍යාත්මික නායක සන්ධසාර් හිමියන්ගේ අනුග්‍රහය යටතේය. ටිබෙට් රටේදී අධ්‍යාපනය ලැබූ මූර්තිශිල්පය පින්තාරු කිරීම හා සංගීතය ප්‍රගුණකළ සනබසාර් හිමියන් 1653 දී ආපසු මොන්ගෝලියාවට පැමිණි පසු ප්‍රධාන ගොඩනැගිලි ඉදිකර ඇති අතර ඔහුගේ ශිල්පීය ඥානයද ඒ සඳහා උපයෝගී කරගෙන ඇත. 1688 දී Oiral මොන්ගෝලීය ගෝත්‍රිකයින් නැගෙනහිර Khalkha​ ගෝත්‍රිකයන්ට විරුද්ධව කළ සටන්වලදී මෙම ආරාමයද විනාශ කර ඇත. 1773 දී ආරාමය ප්‍රතිසංස්කරණය කළද 1930 දී කොමියුනිස්ට් පාලකයන් විසින් නැවත විනාශ කර දමන ලදී. 1990 දී කොමියුනිස්ට් බලය බිඳ වැටීමෙන් පසු 1992 දී ආරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර 1947 වනවිට නව ගොඩනැගිලි කීපයක්ද ඉදිකිරීමට හැකිවී ඇත.  


අමර්බයාස්ගලන් (Amarbayasgalan) ආරාමය 1727 දී කින් රජ පෙළපතේ එන්ක් අම්ගලන් ඛාන් (Enkh Amgalan Khan) අධිරාජ්‍යයා විසින් මොන්ගෝලියාවේ ටිබෙට් බෞද්ධ ආධ්‍යාත්මික නායක සනබසාර් හිමියන්ට ගෞරව කිරීමක් වශයෙන් උලාන්බාතර් අගනුවරට කි.මී. 350 ක් දුරින් බුරෙන්කාන් කන්ද පාමුල සෙලන්හි නදිය අසල පිහිටි ඉවෙන් නිම්නයේ ගොඩනගා ඇත. චීන මොන්ගෝලියානු හා ටිබෙට් සම්ප්‍රදායන්ට අනුව ආරාමය ඉදිකර ඇත. ආරාමය ඉතා අලංකාර ලෙස නිම කිරීමට රිදී කිලෝ ග්‍රෑම් 3730 ක් භාවිත කර ඇති අතර මොන්ගෝලියාවේ පිහිටි තුන්වෙනි විශාලතම ආරාම සංකීර්ණය වේ. බුදු දහම උච්ඡස්ථානයක පැවැති සමයේ ආරාමය සතුව විහාර මන්දිර 50 කට වඩා තිබී ඇති අතර 6,000 කට වඩා භික්ෂූන් වහන්සේලා වාසය කර ඇති බව වාර්තාවේ.

  
විවිධ විලාසිතා අනුව ඉදිකළ විහාර මන්දිරවල ඉතා උසස් කලාත්මක සුසංයමයක් දක්නට ඇත. මෙම ආරාමය බීජිං හි පිහිටි Yangzheng මාලිගයට සමාන වන බව පැවසේ. ආරාමය සමමිතික රටාවකට ගොඩනගා ඇති අතර ඒවා මීටර් 207ක් දිග මීටර් 175ක් පළල ප්‍රාකාරයක් ඉදිකර ඇත. 1937 දී මෙහි වාසය කළ සියලුම භික්ෂූන් කොමියුස්ට් පාලකයන් විසින් ඝාතනය කර ඇති අතර ආරාමයද විනාශ කර ඇත. ගොඩනැගිලිවල මැද කොටස පමණක් විනාශ නොවී පැවතුනි. ආරාමය සතුව තිබූ ඉතා වටිනා කලාත්මක භාණ්‍ඩ, ප්‍රතිමා හා බෞද්ධ ග්‍රන්ථ කොමියුනිස්ට් පාලකයන් විසින් කොල්ලකන ලදී. ආරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු 1988 දී ආරම්භ කර ඇත. ඒ සඳහා මූල්‍යමය දායකත්වය යුනෙස්කෝ සංවිධානය හා බැතිමතුන් ලබාදී ඇත. මුල් අවදියේදී ආරාමය සතුව විහාර මන්දිර 40 ක් තිබී ඇති නමුත් වර්තමානයේ දක්නට ඇත්තේ විහාර මන්දිර 28 ක් පමණි. අරාම සංකීර්ණය සමගම ධර්මයට හා පරිසරයට විශිෂ්‍ට ලෙස අනුගතවන අයුරින් ඉදිකර ඇත.
ආරාමයේ ප්‍රධාන විහාර මන්දිරය මීටර් 32 ක් දිගින් හා පළලින් යුක්තය. වහලෙන් එකතුවන වැසි ජලය කුළුණු හතරක් ඇතුළින් ගලායන ලෙස නිර්මාණය කර ඇත. 1944 සිට රජයේ රැකවරණය යටතේ පවතින මෙම ආරාමය අවට වාසය කරන එඬේර ගෝත්‍රික ජනතාවගේ ශ්‍රේෂ්‍ඨ ආගමික හා ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.  


දර්ශන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භූගෝල විද්‍යාව, කලාව, විද්‍යාව, සංගීතය හා තාරකා විද්‍යාව පිළිබඳ පෞරාණික ඥානය හා සංස්කෘතික උරුමය පිළිබඳ ලියැවුණ මුල් පිටපත් මෙම ආරාමය සතුව පවතී.  

 

 

ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක  
විස්තර හා ඡායාරූප අන්තර්ජාලයෙනි.