මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්


කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි.  එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික සාමාජිකාවන් පිළිබඳව දනන් තුළ ඇත්තේ ද ඒ හා සම භක්ත්‍යාදරයකි. ඒ අතරේ ත් “නිහාල් අංගහවත්ත” යන නාමයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ “සඳැල්ල” අංගහවත්ත නම් ඔහු සමග යෙදුණු කෙටි පිළිසඳරෙහි සංක්ෂිප්ත සටහනයි.

ප්‍ර නිහාල් අංගහවත්ත කියන්න ද? නිහාල් එක්සලන්ට් කියන්න ද?

මගේ සැබෑ නාමය නිහාල් අංගහවත්ත. එදා ඉඳන් මං ගැන දන්න, ආශ්‍රය කරන අය මාව ආමන්ත්‍රණය කරන්නෙ ඒ නමින්.  ඒත් මෑත කාලීනව මාව දැන කියා ගත් අයගෙන් සාතිශය බහුතරයක් හඳුන්වන්නෙ නිහාල් එක්සලන්ට් කියල තමයි.

ඔබට මේ ගීත ගායන හැකියාව සහජයෙන්ම ලැබුණු දෙයක් ද? එහෙමත් නැතිනම් ඔබ ප්‍රගුණ කරගත් දෙයක් ද?
මගේ පාසල ශාන්ත අන්තෝනි විද්‍යාලය.පාසල් යන කාලයේ පටන්ම මට ආසාවක් ඇති වුණා ගීත ගායනයට වගේම, සංගීතය විෂයයක් වශයෙන් හදාරන්න. ඉතින් මම උසස් පෙළ දක්වාම සංගීත කටයුතුවල නිරත වුණා. ඒ කාලය තුළ දී සෙක්සර්ෆෝන් වාදනය කිරීමේ විශේෂ නිපුණත්වයක් තිබූ ගුරුවරු කිහිප දෙනෙකු ගෙන්ම සංගීතය හැදෑරීමට මට හැකියාව ලැබුණා.

ප්‍ර පාසල් සමය නිමා වූ පසු ඔබ ඔබේ ජීවන වෘත්තියේ දිශානතිය ලෙස  තෝරා ගත්තෙත් සංගීතයම හැඩයි ?

ඇත්තෙන්ම ඔව්. පාසල් කාලයෙන් පසුවත් මම පළමු තැන ලබා දුන්නේ මගේ සංගීත දිවියට. වසර දහයක් පමණ නාවික කටයුතු වල රැකියාවක නිරත වීමේදී ත්, දේශීය විදේශීය දෙකොටසම සංගීතයෙන් පිනවන්නට මට අවස්ථාව  ලැබුණා. යළි මව් රටට පැමිණි පසු සංගීත පංති පැවැත්වීමත්, සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යාමත් සිදු කළා. 

ප්‍ර ඔබ නිර්මාණය කළ ස්වීයමය වූ  නිර්මාණ තිබේද?

ඔව්. යුධ සමය තුළ මා අතින් නිර්මාණය වූ ගීතයක් තමයි “සෙබළෙකු වී ඉපදී ලක් දෙරණේ” ගීතය. එම ගීතය යුධ සමය තුළ අතිශය ජනප්‍රිය  වුණා.  එම ගීතයෙන් යුධ බිමේ සිට යුධ වැදුණු රණවිරුවන් විෂයෙහි දැවැන්ත අභිප්‍රේරණයක් ජනනය කෙරුණා යැයි එකළ අසන්නට ලැබුණා.     යුධ ජයග්‍රහණය සිදුවූ අවස්ථාවේ දී අපත් ඊට අපේ මට්ටමින් බිංදුමාත්‍රයකින් හෝ දායක වුණා නේ දැයි සිතා අපත් යම් සතුටක් වින්දා. එම ගීතයේ පද රචනා කළේ  ඔබතුමියත් නියෝජනය කරන ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ  සඳුන් ගමගේ මහත්මා. තනුව, සංගීතය හා ගායනය කියන ඔක්කොම මගෙන්. ඉන්පසුව එතුමා අතින්ම ලියැවුණු මේ “මගේ රටයි” ගීතය කළා. එම ගීතය මේ දිනවල ඉතා ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා.

ප්‍ර මේ මගේ රටයි ගීතය මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන බැව් හැබෑවක්. ඊට හේතු වූ කිසියම් සුවිශේෂීතාවක් ඔබ දකිනවා ද?

මේ ගීතය ඇත්තටම සම්පත් දායක සංයෝජනයක්. මට හැඟෙන විදියට ජන හදවත් ආකර්ෂණය කර ගන්න ගීතයට හැකිවුණේ ඒ හින්දා. මේ මගේ රටයි ගීතයේ වොයිස් රෙකෝඩින් රංගන සංගීත් විසින් ද, පදරචනය සඳුන් ගමගේ විසින් ද, කැමරාකරණය ධනුෂ්ක සංජීව  විසින් ද සංගීත අධ්‍යකෂණය මා විසින් ද සිදුකළා. මේ වනවිට  මෙම ගීතය නැරඹුම් වාර ලක්ෂ දෙකකට ආසන්න මට්ටමකට ළං වෙමින් පවතිනවා.එය ඉතාමත් සුවිශේෂී කාරණාවක්.

ප්‍ර ඔබ මෙතෙක් ආ සංගීත ගමන තුළ ඔබව දිරිමත් කළ විශේෂ කෙනෙකු සිටිනවාද?

මා  කුඩා කාලයේදී සංගීතයට ප්‍රියතාවක් දක්වන විට එයට අතදීමට කවුරුන්වත් හිටියෙ නැහැ.නමුත් මගේ  අම්මා මට බොහෝ උදව් කළා. මුලින්ම මගේ අතට ගිටාරයක් ගෙනත් දුන්නේත් ඇයයි.එයත් සිදුකළේ ඇගේ කරාබු දෙක උගසට තියලයි. එදා ඇය මට ලබා දුන්නු ඒ දිරිමත් කිරීම තමයි මේ වෙන තෙක් මාව ශක්තිමත් කළේ.

ප්‍ර ඔබ අඛණ්ඩවම සංගීතයේ නියැළී සිටිනවා ද? මේ දිනවල වැඩ කටයුතු කොහොම ද?

මම  නිට්ටඹුව ප්‍රදේශයේ “නිහාල් එක්සලන්ට්” නමින් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යනවා. එළිමහන් වේදිකා ප්‍රසංග, විවාහ උත්සව අවස්ථා, ප්‍රිය සම්භාෂණ යනාදියට අපි සහභාගී වෙනවා. නිරන්තරයෙන් සතතාභ්‍යාස කරමින් ස්වීයවූ නව ගීත නිර්මාණය කණ්ඩායම් හැඟීමෙන් සිදුකිරීමේ අපේක්ෂාවෙන් ද සිටිනවා.

මධූෂා ඩිල්ෂානි