මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි


බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක   ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් මගෙහි සැලකිය යුතු දුරක් ගොස් සිටින - හිරිමල් යොවුන් වියේ පසුවෙන පාසල් දැරියක ගැනයි “සඳැල්ලේ” මේ සටහන. ඉතිං මෙවර Youth Peak පිටුව ඈ වෙනුවෙනුයි.

 

ප්‍ර මුලින්ම ඔබ ගැන හැඳින්වුවොත්?

මම ගීත්මී මයුරංගී. මම තාම ඉගෙන ගනිමින් ඉන්නවා. මේ සැරේ තමයි සාමාන්‍ය පෙළ විභාගය කළේ.  විභාග කටයුතු නිසා පසුගිය කාලේ සංගීත කටයුතු වලින් ඈත් වෙලා හිටියේ. ඒ නිසා Show එහෙම භාර ගත්තේ නැහැ. දැන් නැවතත් ඒ දේවල් පටන් ගන්න සූදානමින් ඉන්නවා. මගේ ගම මාතර. නමුත් දැනට  ඉන්නේ බදුල්ලේ . මගේ පවුලේ අම්මයි, තාත්තායි, නංගී, මමයි තමයි ඉන්නේ.

ප්‍ර මේ වනවිට සිදු කරන වැඩ කටයුතු මොනව ද?

මේ වෙද්දී එක් ආයතනයක් සමග ගීත 16ක ඇල්බම් එකක් කරමින් යනවා. ඒකෙන් ගීත 10ක වැඩ අවසන් වෙලා තියෙනවා. ඒ සියලුම ගීත නිර්මාණය කරන්නේ ප්‍රියන්ත නාවලගේ මහතා විසින්. ඒ වගේම සියලුම ගීත රචනා කරන්නේ ෂෙහාන් ගලහිටියාව මහත්මයා සහ ආරාධනා ඒකනායක මහත්මිය විසින්. ඉතින් ඒ වගේ ලංකාවේ සිටින අති දක්ෂ ප්‍රවීණයන් ගේ සහාය මට ලැබීම මං ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙස මම දකිනවා.

ප්‍ර ඔබට පුංචි කාලෙ ඉඳන් තිබුණේ මොන වගේ හීනයක් ද?

ඔව් ඒක ඇත්තටම කියන්න ඕන. මට පොඩි කාලේ ඉඳන්ම තිබුණ හීනයක් තමයි ගායිකාවක් වෙන එක. මම පොඩි කාලේ ඉඳන්ම ගීත ගායනා කරනවා. මගේ හැකියාව මුලින්ම හඳුන ගත්තේ මගේ අම්මා.  මාව ගායිකාවක් කරන්න මටත් වඩා වුවමනාවක් තිබුණේ  මගේ අම්මට. එයා නිතරම අහන්නේ ශෂිකා මහත්මිය ගේ ගීත. ඉතිං නිතරම මට ඇහෙන්නේත් ඇයගෙ ගීත. චූටි කාලේ ඉඳන්ම මම මුමුනන්නේ ඒ ගීත තමයි. ඒ නිසාම වෙන්න ඇති මං ආසම ගායිකාවත් ශෂිකා නිසංසලා. 

ඇගේ ගීතවලට තමයි මම ගොඩක්ම ආස කරන්නේ. තව ඇයගේ ඒ චාම්බව සංවරකම ඒ ඇඳුම් අඳින විදිය ඒ දේවල්වලට මම ගොඩාක් ආස කරනවා.

ප්‍ර ඔබට මේ තැනට එන්න උදව් කළේ කවුද?

මම මේ තැනට එන්නේ අහම්බෙන්. මම චූටි කාළේ ඉඳන් ගෙදර ගීත ගායනා කරනවා. මගේ ෆේස්බුක් එකේ වීඩියෝ දානවා. එහෙම තමයි හිටියේ. මීට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදර අය තාත්තගේ යාළුවෝ කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යනවා. එතනදි මම ගීතයක් ගායනා කරන වීඩියෝ එකක් ෆේස්බුක් දාලා ඒ වීඩියෝ එක වයිරල් වෙනවා. එතනදි තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්නේ. ඒ වීඩියෝ එක දැකලා ලංකාවේ වගේම පිටරට ඉන්න නැන්දලා, මාමලා, අයියලා අක්කලා ගොඩාක් අය මට කතා කළා. සුභ පැතුවා. පස්සේ මගේ මාමා කෙනෙක් මාර්ගයෙන් TV ආයතනයක වැඩසටහනකට ආරාධනා ලැබෙනවා. එතැන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ. එතනින් එහාට මට ගොඩාක්  TV ප්‍රෝග්‍රෑම්වලින් ආරාධනා ලැබෙනවා. මට මේ ගමන එන්න උදව් උපකාර කළ හැමදෙනාටම හැමදාමත් මම ආදරෙයි.

ප්‍ර අපි දුටුවා පසුගිය දින වල චාමර වීරසිංහ  සහ ශෂිකා නිසංසලා  ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙහි ඔබට සුභ පතලා ඔබ ගැන හැඳින්වීමක් කරලා තියනවා. ඒ ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ ?

මම හිතන්නේ අපි මොන දේ කළත් තරගකාරීත්වයත් එක්ක යන ගමනක් මේක. නමුත් මට නම් එහෙම කා එක්කවත් තරගයක් නැහැ. මොකද ශෂිකා නිසංසලා කියන හදවතේ ගායිකාව වෙන්න කාටවත් බැහැ.  නමුත් උත්සාහ කරන්න පුළුවන් . අපිට සංගීතය ගත්තම ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. මම ආසයි ඉන්දියාව වගේ රටකට ගිහින්  ඒ පිළිබඳව ඉගෙන ගන්න.  මට චාමර වීරසිංහ ප්‍රවීණ ගායන ශිල්පියත් විෂ් කරලා දාලා තිබුණා. මමත් එයාගෙ ගමේම තමයි.  එයා අපේ ගමට අල්ලපු ගමේ. ඉතිං මගේ ගීත අහන මට ආදරය කරන නැන්දලා මාමලා අයියලා අක්කලා ඒ වගේම සංගීත සංදර්ශන වලට ගියාම මට ආමන්ත්‍රණය කරනවා පුංචි නිසංසලාවිය කියලා. මට ගොඩාක් සතුටුයි. ලොකු ආඩම්බරයක් තියනවා. නමුත් මං නැවතත් කියන්නේ මටවත් වෙන කෙනෙක්ටවත් ශෂිකා මහත්මිය වෙන්න බෑ.

සුදර්ශනී කෝණාර