රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය දැන් දමිළ සිනමාවේ ද බැබළෙන්නට පටන් ගෙනය. ඒ ඇගේ කුලුඳුල් දමිළ සිනමා පටය අධිරන් නිසාවෙනි. ඒ කලා තරුව නමින් මිෂෙල් දිල්හාරා ය. මෙවර සැඳැල්ලෙන් ඈ සමඟ කළ සොඳුරු කතාබහයි මේ;
ප්‍ර මිෂෙල් මේ දවස්වල කාර්ය බහුලයි වගේ?
මේ දිනවල නාට්‍ය දෙකක රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව අධිරන් චිත්‍රපටයේ ෆිල්ම් රිවීව් එකට ලැස්ති වෙනවා. ඒ හැරුණු කොට පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් පාසල් මට්ටමින් සහ විශ්වවිද්‍යාල මට්ටමින් කරගෙන යනවා. මේ දේවල් නිසා තමයි ටිකක් කාර්යබහුල.
ප්‍ර කියන්නකෝ රිදී තිරයේ ඔබ රඟන අලුත්ම නිර්මාණය ගැන?
මගේ අලුත්ම චිත්‍රපටය අධිරන්. මේක මම රංගනයෙන් දායක වන පළවෙනි දමිළ චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ තිනේෂ් කනගරාජම් සර්. Adrian Production ආයතනයේ නිෂ්පාදනයක්. මේකට මාත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ සුදර්ශන් රවීන්ද්‍රන්. ඉතින් ගොඩක් සතුටුයි මේ චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම සම්බන්ධයෙන්. මෙහි පුර්ව ප්‍රචාරක පටය නිකුත්කිරීමේ කටයුතු පසුගිය දිනක සිද්ධ වුණා. දැන් චිත්‍රපටය එළිදැක්වීමේ කටයුතුවලට අපි සූදානම් වෙමින් ඉන්නවා.
ප්‍ර කොහොමද මේ චරිතයට ආරාධනාව ලැබෙන්නේ?
මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට ආරාධනාව ලැබෙන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් හරහා. ඔහු මගේ සහය නළුවා. ඔහු මට කතා කරලා කීවේ ලස්සන දමිළ චිත්‍රපටයක් තියෙනවා ඒකේ කවී කියන චරිතයට මාව තෝරගෙන තියෙන්නේ ඒකට කැමති ද කියලා. ඊට පස්සේ චරිතය ගැන පැහැදිලි කරලා, අධ්‍යක්ෂකතුමා සමඟත් කතා කරලා, ඒකේ තිර පිටපතත් කියවලා බලලා ඒක ලස්සන කතාවක් කියලා තේරුණු නිසා වගේම ඒක මට වෙනසක් නිසා මම ඒ ආරාධනාව පිළිගත්තා. ඇත්තටම මාව තෝරාගැනීම ගැන ඒ හැමදෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්න ඕන.
ප්‍ර එහි විශේෂ වැඩකටයුත්තක් පසුගිය දිනෙක සිදු වුණා නේද?
පසුගිය 22 දින අධිරන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ කටයුතු සිදු කෙරුණා. එම උත්සවය පැවැත්වුණේ PVR සිනමා ශාලාවේ. ඒ අවස්ථාවට චිත්‍රපටය වෙනුවෙන් මහන්සි වුණ හැමදෙනාම වගේ සම්බන්ධ වෙලා හිටියා . එදා ගොඩක් සතුටු දවසක්.
ප්‍ර මේක වෙනස් අත්දැකීමක් වෙන්න ඇති ඉතින් ඒ ගැනත් මතක් කරමු?
ඔව්, වෙනස්ම අත්දැකීමක් වුණා. මේක මගේ පළවෙනි දමිළ චිත්‍රපටය වගේම මම දමිළ ගැහැනු ළමයෙකුගේ චරිතයකට පණ පොවන පළමු අවස්ථාව. ඉතින් මට ඒ භාෂාවත් ඉගෙනගන්න වුණා චිත්‍රපටයට දායක වෙද්දී. ඉතින් දමිළ දෙබස් කියන එකත් ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා. දමිළ ගැහැණු ළමයෙකුගේ ඉරියව් හැගීම් ප්‍රකාශන ගැන මට ලොකු අධ්‍යයනයක් කරන්න වුණා. අභියෝගයක් වුණත් මම මේ නිර්මාණයට එක්වුණේ හරිම කැමැත්තෙන්. මොකද මේක වෙනස් වැඩක් කියන දේ මට දැනුණා. ඒ වගේම තමයි මුළු කෘ එකම මට මේ නිර්මාණය සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් හරිම ආසාවෙන් රඟපාපු ලස්සන නිර්මාණයක්.
ප්‍ර පුංචි තිරයේ වැඩ කටයුතු ගැනත් කියන්න?
දැනට සිරස නාළිකාවේ විකාශනය වන රස රහසක් සහ හිරු නාළිකාවේ විකාශනය වන රොන් සොයා කියන ටෙලි නිර්මාණ දෙකේ රූගත කිරීම් කරගෙන යනවා. මේ දේවල් තමයි අනෙක් කලා කටයුතු. නමුත් විශේෂත්වය තමා මේ නිර්මණ දෙක පරිසර දෙකක සිද්ධ වෙන්නේ. ඒ වෙනසත් විඳිමින් කලා කටයුතු කරගෙන යනවා.
ප්‍ර ඔබ පරිසර තානාපතිනියක් විදිහට කටයුතු කළා. දැන් ඒ සමාජ ක්‍රියාකාරී වැඩ කරන්නේ නැද්ද?
ලෝකයේ ලොකුම පාරිසරික සංවිධානය වන ... නෙට් වර්ක් සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩකරන්න මට අවස්ථාව ලැබෙනවා 2020 වසරේදී. එදා සිට අද වෙනකම් පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘති 218ක් පමණ මට කරගන්නට හැකි වුණා. මේ වසරේදීත් එවැනි ව්‍යාපෘති 07ක් පමණ විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කරගෙන ගියා. ඉදිරියටත් ඒ දේවල් ඒ විදිහටම කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි මම අන්තර්ජාතික වශයෙනුත් විශ්වවිද්‍යාලවල මේ සම්බන්ධ දේශන පවත්වනවා.
ප්‍ර ඔබත් මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ නිර්දේශිත නාමයක් වුණා. ඒ ගැන තියන බලාපොරොත්තුව කොහොමද ?
කලාකරුවන් වෙනුවෙන් මෙවැනි සම්මාන උලෙළක් පැවැත්වීම ගැන හරිම සතුටුයි. ඒ උලෙළත් වගේම රයිගම් ටෙලි සම්මාන උලෙළේ මගේ නමත් නිර්දේශිත නාමයක් කළාට ඒ ආයතනයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මම ඒ නිර්දේශිත කලාකරුවන් සියලු දෙනාටම හදවතින්ම සුභපතනවා.
නිළියක් සම්මානනීය වීම, සම්මාන රැස් කිරීම ගැන ඔබේ අදහස මොකද්ද ?
මම විශ්වාස කරන විදිහට රංගන ශිල්පියකුගේ හෝ ශිල්පිනියෙකුගේ ස්ථාවරත්වයට සම්මාන බලපානවා. ඉතින් සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ මගේ චරිතයට ලැබුණු රයිගම්, සුමති සහ රාජ්‍ය සම්මාන ත්‍රිත්වය නිසා මට විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඉතින් මම හිතනවා සම්මාන කලා කරුවෙකුගේ අනාගතයට හරිම වැදගත් සාධකයක් කියලා.
ඔබේ මේ කලාවේ ගමන් මගට සමීපතමයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මම රංගනයට මුල්ම අඩිය තැබූදා ඉඳන්ම මගේ හෙවණැල්ල වගේ හිටියේ මගේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි ඇතුළු මගේ පවුල. ඉතින් අදටත් මගේ ශක්තිය ඒ අය. මට අවශ්‍ය මඟ පෙන්වීම් එක්කම මාව රංගනයෙන් ඉදිරියට යවන්න ලොකු ශක්තියක්, ධෛර්යයක් දෙන්නේ ඒ අය.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ අනාගත බලාපොරොත්තු අතර ඉහළින්ම තියෙන්නේ හොඳ රංගන ශිල්පිනියක් වීම කියන දේ. ඒක වැඩිදුරටත් විස්තර කරනවා නම් රට ඇතුළේ වගේම අන්තර්ජාතිකවත් පිළිගත්ත රංගන ශිල්පිනියක් වීම තමයි මගේ ලොකුම සිහිනය.
දුලක්ෂි ලියනගේ